ඔබේ ගැටලු අප වෙත එවන්න

ඔබේ ගැටලු අප වෙත එවන්න (වෛද්‍ය ගැටලු, ආරෝග්‍යා, ලේක්හවුස්, කොළඹ 10)

ඔසප් චක්‍රය අක්‍රමවත් නිසා අනාගතයට ගැටලුවක් වේවිද?

ගම්පහ - රිෆායා

වෛද්‍ය නිලධාරිනී

ඩී.එල්. ක්‍රිශාන්ති ජීවනී

ආයුර්වේද රෝහල

බොරැල්ල

ගැටලුව

මාගේ වයස අවුරුදු 32කි. මම අධික ස්ථුලතාවයෙන් යුත් කාන්තාවකි. අවිවාහක වන මා හට ඔසප් වීම සිදු වන්නේ ද නිසියාකාරව නොවේ යැයි මට දැනේ. සමහර මාසවල එය දින 7,8 දක්වා ඔසප් වීම දීර්ඝව පවතී. බඩ රිදුම අධිකව දැනේ. ක්ලාන්තය, වමනය ද දැනේ. පසුව ඊළඟ මස එය සිදුවන්නේ නියම දින කිහිපයක් වෙනස්වයි. එය කලින් හෝ පසුව සිදු වේ. ඔසප් චක්‍රය හරියටම සිදු නොවන නිසා මා තුළ බියක් හට ගෙන ඇත්තේ අනාගතයේදී මට මේ තත්ත්වය මත විවිධ ගැටලුවලට මුහුණ පාන්න වේ යැයි ඇති බිය නිසයි. මේ ගැන පහදා දෙන්න.

පිළිතුර

ඔබ සඳහන් කල තොරතුරු අනුව ඔබට හෝමෝන නිසිලෙස ක්‍රියා නොකරන බව හැඟේ. මේ හෝමෝන වෙනස්වීම් නිසා ශරීරයේ විවිධ වෙනස්කම් හට ගැනිය හැකියි. ඒ අනුව මාසිකව සිදුවන ඔසප් වීම ක්‍රමානුකූලව සිදු නොවීම ද ඉන් එකකි. ඊට අමතරව තවත් බොහෝ දේ සිදුවිය හැකියි. හොමෝනවල ක්‍රියාකාරීත්වය නිසි අයුරින් සිදු කිරීමට සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වී මේ රෝග තත්ත්වය ගැන පවසා ප්‍රතිකාර ලබා ගත යුතුයි.

කහින විට දෙදරා යන ශබ්දයක් නැඟෙනවා

මතුගම - සුභාෂිනී

විශේෂඥ වෛද්‍ය

මංගලා මහලේකම

ආයුර්වේද රෝහල

බොරැල්ල

ගැටලුව

දිගුකලක් තිස්සේ පවතින කැස්ස අඩුවන්නේ නැත. කිහිපවරක් මේ සඳහා ප්‍රතිකාර ලැබුවත් සුවයක් නැත. දැන් මගේ වයස අවුරුදු 28ක් වන අතර නිදි වැරීම ද වැඩියෙන් සිදු වේ. මා තවමත් ඉගෙනීමේ කටයුතු කරන බැවින් රාත්‍රියට පාඩම් කටයුතු සඳහා වෙහෙස වන අවස්ථා ඇත. සෙම්ප්‍රතිශ්‍යාව නැත.

නමුත් කැස්ස ශබ්දයට දෙදරා යන ලෙස පවතී. මේ නිසා මට හරිම අපහසුතාවක් දැනේ. සෙම පිටවන්නේ ද නැත. මේ කුමන රෝග තත්ත්වයක් ද? මේ දැඩි අපහසුතාවෙන් පෙළෙන මට පිහිට වන්න.

පිළිතුර

සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව සෑදී දින 2, 3 කින් පසුව කැස්ස ඇති වේ. එසේම දුම්, දූවිලි හෝ පිටත ඇති බාහිර ද්‍රව්‍යයක් ඇතුල්වීම නිසාත් කැස්ස ඇතිවිය හැකියි. සමහරුන් කිසිම රෝග තත්ත්වයක් නැතුවද පුරුද්දක් ලෙස කරයි.

කෙසේ වෙතත් ඔබගේ තත්ත්වය ඊට වෙනස්, ඔබ රාත්‍රියට නිදි වැරීම කරයි. පාඩම් කටයුතු නිසා වෙහෙසෙන්නට වෙයි. ආහාර ගැනීම ද අතපසු වීම සිදුවිය හැකියි. මේ හේතු නිසා ශරීරය දුර්වල වී ප්‍රතිශක්තිකරණය අඩුවිය හැකියි. සාමාන්‍යයෙන් කැස්ස සති 2ට වඩා තිබීම ද සුදුසු නැත. මේවා සැලකිල්ලට ගෙන ඔබ වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාරයක් ලබාගත හැකියි.

බඩ කොරවෙනවා මල පිටවන්නේ නැහැ

වැල්ලම්පිටියේ - ගීතා

විශේෂඥ වෛද්‍ය

මුදිතා නානායක්කාර

දිස්ත්‍රික් ආයුර්වේද රෝහල

ගාල්ල

ගැටලුව

වෛද්‍යතුමනි, මගේ වයස අවුරුදු 46කි. එක් දරු මවකි. යටිබඩ වේදනාවක් තිබෙන නමුත් හොඳින් වාතය පිටවන විට සුවයක් දැනේ. නමුත් ඊළඟ ආහාරවේල් ගැනීමෙන් පසු නැවතත් යටිබඩ වේදනාව (කොරවන ගතිය) පැමිණේ. මෙය මම ගණනට නොගත්තත් බැරෑරුම් තත්ත්වයක්ද? දිනපතාම මට මල පිට වන්නේ ද නැත. බඩ රිදී එය නැවත යථා තත්ත්වයට පත් වේ. මේ ගැන පහදා දෙන්න.

පිළිතුර

ඔබගේ යටිබඩ වේදනාවට විවිධ හේතු බලපානු ලබයි. ඒ අදාළ තොරතුරු ඔබගේ පැනයේ සඳහන් වී නොමැත. මාසික ඔසප් වීම නිසිලෙස සිදුවනවා ද? නැතිනම් එය මේ වනවිට නතරවී ද වැනි කරුණු ගැන අවධානයට යොමු කළ යුතුයි. එසේම මුත්‍රා පිටවීම නිසිලෙස සිදුවන්නේ ද, එසේ නැතිනම් මුත්‍රා අමාරුවක් තිබේද යන්න ගැන දැන ගැනීම අත්‍යවශ්‍යයි. මන්ද යත් යටිබඩේ වේදනාවට මේවා බලපාන බැවිනි. කෙසේ වෙතත් මලපහ නොවීමට නම් හේතුව වතුර පානය නොකිරීමයි. මේ සඳහා ඔබ කළ යුත්තේ වැඩිපුර වතුර පානය කිරීම හා අළුත් එළවළු ආහාරයට ගැනීමයි. කෙඳි බහුල එළවළු හා පලතුරු ලබා ගැනීම නිසා මල හොඳින් බුරුල් වේ. තවදුරටත් රෝගය පිළිබඳ නිසි උපදෙස් ලබා ගැනීම හා අවශ්‍ය නම් ප්‍රතිකාරවලට සුදුසු වෛද්‍යවරයෙකු හමුවන්න.

හිස්හොරිවලට ප්‍රතිකාරයක් කියන්න

කොස්ගම - අනුපමා

වෛද්‍ය

රුවිනි පී‍්‍රතිකා මෙන්ඩිස්

ආයුර්වේද පර්යේෂණායතනය

නාවින්න - මහරගම

ගැටලුව

මගේ වයස අවුරුදු 28වන අතර අවිවාහක වේ. මට හිස්හොරි හරිම කරදරයක් වී ඇත. නිතරම හිස කැසීම ද නිසා ඇතිවන්නේ දැඩි අපහසුතාවයකි. මේ සඳහා ප්‍රතිකාර කළත් අඩු වීමක් නැත. හිස කැක්කුම ද නැත. මම කිසිම කෘත්‍රිම ආලේපනයක් භාවිතා නොකරමි. මේ හිස්හොරි පහ කර ගැනීමට ප්‍රතිකාරයක් කියන්න.

පිළිතුර

මෙය හිසේ ඇතිවන දිලීර තත්ත්වයක් බව කිව හැකියි. ඔබේ හිසේ උඩු සමේ ස්තරය ඝනවීම නිසා එහි කැසීම ඇති වේ. මේ තත්ත්වය ඇතිවීමට හිස වියළීම බලපානු ලබයි. කැසීම නිසා එහි පොත්ත ගැල වී කුඩු වී විසිරී යයි. මේ තත්ත්වය මත සම අපිරිසිදු වීම වේ. මෙය හිස්හොරි ලෙස පවතී. එබැවින් සැමදා හිස පිරිසිදු කළ යුතුයි. මෙවැනි අවස්ථාවල දිනපතා නෑම කළ යුතු බව ආයුර්වේදයේ සඳහන්. ඒ සඳහා සීනක්කා කුඩු ගෙන ඔළුවෙ අතුල්ලා විනාඩි කිහිපයකට පසු සෝදා පිරිසිදු කළ යුතුයි.

ඊට අමතරව ගොඩපර, දෙහි ගැට, උළුහාල් එකට ගෙන තම්බා හොඳින් හිස අතුල්ලන්න. පසුව නා පිරිසිදු වී හිස වේළුනු පසු විශේෂ ආයුර්වේද තෙල් වර්ගයකින් හිස ගල්වන්න. එවිට සම සනීභවනය වීම අඩු වේ. ඒ හේතුව නිසා හිස්හොරි (කෙරවිනී භවනය) ඇති වීම නවතියි. මේ සඳහා කිසිම කෘතිම ආලේපනයක් භාවිතා නොකර ඖෂධ භාවිතා කරන්න.