Junk Food සංස්කෘතියෙන් බැහැර වන්නට බැරිද?

Junk Food සංස්කෘතියෙන් බැහැර වන්නට බැරිද?

දරුවා යනු සම්පතකි. මේ සම්පත රැක ගැනිම මාපියන්ගේ පරම යුතුකම මෙන්ම වගකීමකි. කායික, මානසික, මෙන්ම අධ්‍යාත්මිකව නිරෝගි දරු පරපුරක් බිහි කිරිම මුඵ මහත් රටටම සම්පතක් වනු නොඅනුමානය. එබැවින් මාපියන් ලෙස දරුවා මව්කුස පිළිසිඳගත් මොහොතේ පටන් ඒ අරමුණ ඔස්සේ දරුවා හදා වඩා ගැනිමට මව්පියන් පියවර ගත යුතුය.

මේ අරමුණ සාක්ෂාත් කරගැනීමට දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය උසස් මට්ටමකට පවත්වා ගැනිමට වඩාත් සැලකිලිමත් විය යුතුය. වත්මන් සමාජය තුළ විලාසිතාවක් බවට පත්ව ඇති ක්ෂණික ආහාර රැල්ලට විරාම ලකුණක් නොතැබුවහොත් ඔබගේ දරුවා අනාගතයේදි රෝගියෙකු බවට පත්වීම නම් වළක්වාලනු බැරිය.

වර්තමානයේ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල විලාසිතාවක් බවට පත්වී ඇති මේ ආහාර රැල්ල නිසා ජනගහණයෙන් වැඩි පිරිසක් තරබාරු, ස්ථුලතාවයෙන් පෙළෙන බැවින් තරුණ වියේදිම රෝගීන් බවට පත්වන පිරිස ක්‍රමයෙන් වර්ධනය වීම ලෝක සෞඛ්‍ය සංවිධානයටද තර්ජනයක් වි ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් වුවද රෝහල් කරා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව වර්ධනය වන්නේ නම් රටක සංවර්ධනයටත් ඵලදායිතාවටත් එය භාධකයකි.

Junk Food රැල්ලට විරාමයක් නොතිබිමෙන් ඔබේ දරුවා ඉතා විශාල සෞබ්‍ය අනතුරකට මුහුණ පෑමේ සේයාවන් දැනටමත් ඔබට මුහුණ දිමට සිදුවී ඇතැයි සිතමි. දියුණු රටවල මෙන්ම අප රටේද වැඩිහිටියන්ගේ ආයු කාලය ක්‍රමයෙන් වර්ධනය වී ඇත. නමුත් වැඩිහිටි ආයු කාලයට වඩා තරුණ අයගේ ආයු කාලය අඩු වෙමින් පැවතීමේ ප්‍රවණතාවයක් ඇති වෙමින් පැවතිම කණගාටුවට කරුණකි. එයට බෙහෙවින් බලපා ඇත්තේ ස්ථුලත්වයයි. වෙස්වලාගත් හතුරෙකු බදුවු ස්ථුලත්වය නිසා තරුණ වයසේදීම පිළිකාව, හෘද රෝග, අක්මා රෝග, දියවැඩියාව, ආඝාතය, අධි රුධිර පිඩනය වැනි රෝගවලින් පෙළෙනබව රෝහල්වලින් වාර්තා වේ. මේවා වැඩිහිටියන්ට වැළදෙන රෝගය. නමුත් තුරුණු වියේ පසුවන්නන් මෙවැනි රෝගවලින් පෙළෙන්නේ නම් ඔවුන් ද කායිකව වැඩිහිටියන් ලෙස රෝගි වෙති.

අවු. 30 - 40 -50 දශක මිනිස් ජිවිතවල වඩාත් ඵලදායි වයසයි. මේ වයස් සිමාව රෝග වැළදෙන වයසක් නොවුවද අද තරුණ පරම්පරාවට පවා වකුගඩු අකර්මන්‍ය වී රුධිර පාරවිලනය කිරිමෙන් ජිවිතය පවා රැක දෙන අවස්ථාද නැතුවා නොවේ. දිවි ඇති තෙක් නිරන්තරයෙන් ඖෂධ ලබා ගැනිම නිසා ඇතිවන සංකුලතාද වැඩිවේ. සිරෝසිස්, පැටි ලිවර්, වැනි මධ්‍යසාර ලොලීන් පෙළෙන රෝගවලට පවා තරුණ පරපුර පෙළෙන්නට පටන් ගෙන ඇත. පැටිලිවර් යනු අක්මාවේ මේදය තැන්පත්වීම නිසා ඇතිවන තත්ත්වයකි. ජන්ක් පුඩ් යනු පැටි ලිවර් වලට අතවන්නකි. එබැවින් Junk Food සංස්කෘතිය බැහැර කිරිමට වගබලා ගැනිමේන් අනාගතයේ නිරෝගි දරු පරපුරක් බිහි කිරිමට එය වඩාත් ඵලදායි පියවරකි.

ස්ථුලතාවය නිසා බටහිර රටවල පාසල් දරුවන් ගේ උසට ගැලපෙන මහත තිබේදැයි සොයා බලා බෙල්ල පිටිපස සම කඵ වී තිබේදැයි යන්න පිළිබදවද විමසිලිමත් වන්නේ මේවා දියවැඩියාවේ පුර්ව ලක්ෂණ වන බැවිනි.

අන්තර්ජාලය ඇසුරින්