දරුවෝ නැති කාන්තාවන්ට ආයූර්වේද ක්‍රමයෙන් ප්‍රතිකාර

දරුවෝ නැති කාන්තාවන්ට ආයූර්වේද ක්‍රමයෙන් ප්‍රතිකාර

ලෝකය හදන්නට මවගෙ කිරිත් හිරුගෙ රශ්මියත් අවශ්‍ය බව අප අසා තිබේ. මෙවැනි සම්බන්ධතා ගොඩනැඟෙන ලෝකයේ අනේක විධ දුෂ්කර වූ ක්‍රියාවන් සිදු කිරීමට ස්වභාව ධර්මයේ යම් යම් ක්‍රියාවන් බලපානු ලබයි. මෙසේ එවැනි ක්‍රියාදාමයන් හඳුනා ඒවාට පිළියම් යොදන බොහෝ පිරිස් අප අතර සිටී.

සමහර අවස්ථාවලදී ස්වභාවධර්මයේ දායාද නොලැබූ අයට ස්වභාවධර්මයාගෙන්ම පිහිට ලබා දෙමින් ලෝකය හදන්නට දරන උත්සාහයක් ගැනයි මේ සටහන.

යම් ඵලදායීතාවයක් ලබා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම මවක් වීමට ඔබ ගන්නේ නම් එය විශේෂිත වන්නේය. ඒ ගැන කතා කරන්නට එකතු වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හා කාන්තා රෝග පිළබඳ විශේෂඥ වෛද්‍ය දයානි සිරිවර්ධනයි.

ඕනෑම ගැහැණු දරුවෙකු විවාහයෙන් පසු මවක් වීම ලෝක ස්වභාවයයි. නමුත් ස්වභාවධර්මයාට අනුකූලව නොවුණහොත් එය එසේ සිදු නොවීම ද පුදුම සහගත නැත. මවක් වනතුරු බලා සිටීමෙන් ඵලක් නොවුණ කළ ඊට පිළියම් සෙවීම ඇයගේ ඊළඟ අරමුණයි.

ඔසප් චක්‍රය සිදුවන මුල් දින සිට දින 14කට කළින් සරු කාලය වේ.

මල්වර වීම තුලින් කියාපාන්නේ ඇයට දරුවකු ලැබීමට සුදුසු තත්ත්වයක් ඇති බවයි. විවාහයෙන් පසු දරුවන් ලැබීම ගැන ගැටලු ඇති වීමට එම මල්වරවීමෙන් පසු ඇතිවන ලක්ෂණ හා ආර්ථවය ක්‍රමික නොවීම මුල් කාලයේදී අපට තේරුම් ගත හැකි ලක්ෂණයන්ය. අවුරුදු 16න් පසු ක්‍රමික ඔසප් වීම සියළු කාන්තාවන්ගේ නීරෝගී භාවය විදහා දක්වන එක් සාධකයකි. එසේ නොවීම අනාගතයේදී බීජ නොමේරීම (මඳ සරු භාවය) හා වෙනත් රෝග ඇති වීමට හේතුවන බව බලාපොරොත්තු විය හැකියි.

ඩිම්බ කෝෂවල නිපදවන ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් වැනි කාන්තා හෝර්මෝන හරියාකාරව ස්‍රාවය නොවීම තුළින් පහත ලක්ෂණ ඇතිවිය හැකියි.

අධික ස්ථුලතාව (තරබාරුව)
අධික කෘෂ බව (කෙට්ටු බව)
අධිකව රෝම වර්ධනය වී තිබීම (නිකට, පපුව හා අත් පාවල)
බෙල්ල පෙදෙස කළු වීම
බෙල්ල මහත් වීම
අධික දහදිය දැමීම
නිදිමත
අධිකව කෝප වීම

ඉහත ලක්ෂණ දුරු කළ හැක්කේ හෝමෝන සමතුලිත කිරීමෙන් පමණි.

බීජ නොමේරීම හෙවත් මඳසරුභාවයට හේතුවන ඉහත හෝමෝනවල ඇති අසමතුලිත බව නිසා සිදුවන ශාරීරික වෙනස්කම්වලට දේශගුණික වෙනස්කම් ද අදාළය. (රටකින් රටකට යාම, ශීතාධික පෙදෙස්වලට යාම), දීර්ඝකාලීනව ගන්නා ඖෂධ වර්ග ගැනීම හා මානසික ආතතියෙන් නිතර පෙළීම ද හේතු වේ. ඊට අමතරව සමතුලිත ආහාර වේලක් නොගැනීම ද ඊට බලපානු ලබයි.

රෝගියකු හඳුනා ගැනීම

විවිධ වූ තොරතුරුවලින් රෝගියාගේ තත්ත්වය හඳුනාගත හැකියි. විවාහ වී ගත වූ කාලය, මීට පෙර ගබ්සා වූ ප්‍රමාණය, කොපමණ කලක සිට දරුවන් බලාපොරොත්තු වූයේද වැනි කරුණු වලින් රෝගියා පිළිබඳ නිවැරදි විනිශ්චයක් ගත හැකියි.

දරුවන් නොමැති කාන්තාවකට දීර්ඝව සලකා බැලිය යුතු කරුණු කිහිපයකි.

මානසික ආතතිය ප්‍රධාන වේ

වෙනත් මානසික හේතු (රැකියාවේ ගැටලු)

රැකියාවේ ස්වභාවය (රැකියාවේ ස්වභාවය (රසායනික කම්හල්, රෙදි කම්හල් හා වෙනත් කය වෙහෙසන ආයතන)

තමන් පවත්වාගෙන යන ඉරියව් (එකම ඉරියව්ව භාවිතාව)

සමාජීය තත්ත්වය (ඇනුම්පද, සමාජ චාරිත්‍ර)

ඔසප් වීමේ ඇතිවන වෙනස්කම්

(ඔසප් වීම දිනකට, මාසය පුරා, අතරින් පතර සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස්ව පැවතීම)

ඔසප්වීම

නීරෝගී අයෙකුගේ ඔසප් වීම සිදුවිය යුත්තේ දින 3 -5ත් අතර තද රතු පැහැයෙන් රුධිරය පිටවීමෙනි. එය සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස්ව සිදු වේ නම් ප්‍රතිකාර ගත යුතුයි. ඒ අනුව බීජය මෝරපු නැති නිසා රුධිරය අඩුවෙන් හෝ වැඩියෙන් අසාමාන්‍ය තත්ත්වයෙන් පිටවීම සිදු වේ.

නොමේරූ බීජ ඇති අයෙකුගේ ලක්ෂණ

මෙහිදී, අධික වේදනාව (ඔසප්වීමේදී) ඇතිවිය හැකියි. තද කළු පැහැයට රුධිරය පිට වේ. දින 28 ට වරක් ඔසප් සිදු නොවීම. නොඑසේ නම් නොනවත්වා ද සිදුවිය හැකියි. එවන් අවස්ථාවන් බීජ නොමේරූ අවස්ථා විදහා දක්වන රෝගියාගෙන් පෙන්නුම් කෙරෙන ලක්ෂණයයි. එහිදී ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.

ඔසප් වීමේ වෙනස්කම් ඇති වීමට

වෙනත් රෝග සඳහා ගන්නා කෘත්‍රිම ඖෂධ වර්ග දීර්ඝකාලීනව ගැනීම හා හෝමෝන වර්ග නිපදවන කෘත්‍රිම උපත් පාලන පෙති දීර්ඝකාලීනව ගැනීම නිසාද තමාගේ ඔසප් චක්‍රය වෙනස්වන බව දැකිය හැකියි.

මෙහිදී කෘත්‍රිම ඖෂධ වර්ග ගැනීම නිසා ස්වභාවිකව නිපදවන හෝමෝන යටපත් වීම තුළින් යම් දිනක එම ඖෂධ නැවැත්වීම නිසා ශරීරයේ වෙනස්කම් තිබුණාට වඩා උග්‍ර වීමක් ඇතිවිය හැකි බව දැකිය හැකියි.

ප්‍රතිකාරය

කාන්තාවකට දරුවකු ලැබීම ස්වභාවධර්මයේත් ලැබෙන දායාදයක් බඳුය. දරුවකු ලබා ගැනීමට පිළියම් සෙවීම වර්තමානයේදී පවතින ජීවන රටාවන් සමඟ වෙනස් වූවත් එය බොහෝවිට ස්වභාවධර්මයේම පිහිට ගැනීම සුබදායක කටයුත්තකි.

ඒ නිසා සිරුරේ ජීවන රටාවේ අඩු ලුහුඩුකම් මත වෙනස් වූ හෝමෝන සමතුලිත කිරීමෙන් දරුවකු පිළිසිඳ ගැනීමට හැකියි.

ප්‍රතිකාර විධි

මුඛයෙන් ඖෂධ ගැනීම ස්ථානික ප්‍රතිකාර විධි

උත්තර වස්ති ක්‍රමය - නොමේරූ බීජ

ඉවත් කර සරු බීජ නිපදවීමේ පරිසරයක්

ගොඩ නැංවීම මෙහි අරමුණ වේ.

ගර්භාෂ ගත ගෙඩි - ශල්‍යකර්මයෙන් තොරව ඉවත් කිරීම

යෝනි ශේක ක්‍රමය -

යෝනි මාර්ගය විෂබීජවලින් තොර කිරීම.

අභ්‍යංග (මසාජ්)

ආලේප

වස්ති ක්‍රම - ගුද මාර්ගයට ඖෂධ ඇතුළු කිරීම

ශිරෝධාර, ශිරෝලේප, නස්‍ය මේ සියල්ලෙන්ම කෙරෙන්නේ හෝමෝන අවශ්‍ය පරිදි සමතුලිත කර ගැනීමට උදව් දීමයි. මේ ක්‍රමය නිසි ආකාරයෙන් සිදු කළොත් මාස 03ක් ඇතුළත ප්‍රතිඵල බොහෝ සෙයින් ගෙන දේ.