අමතක වෙනවා, බඩු නැති කරගන්නවා, කණ්ණාඩිය ඔලුවේ දාගෙන සොයනවා ඩිමෙන්ෂියා

අමතක වෙනවා, බඩු නැති කරගන්නවා, කණ්ණාඩිය ඔලුවේ දාගෙන සොයනවා ඩිමෙන්ෂියා

වියපත් සමය ජීවිතයක නව වෙනස්කම් රැසක ඇරඹුමක් බව නොරහසකි. මේ සමහර වෙනස්කම් හදවතට වේදනාකාරීය. ඩිමෙන්ෂියා එවැනිය. තුරුණුවියේ මනා බලසම්පනයකුව සිටි අයෙකු පවා වියපත් වීමත් සමඟ මේ රෝගය හේතුවෙන් පෙර නොවූ විරූ ගැටලු රැසකට ගොදුරු විය හැක.

කුමක්ද මේ ඩිමෙන්ෂියා?

මෙය චිත්ත වික්ෂේපය ලෙසද හඳුන්වනු ලැබේ. මොළයේ ස්නායු සෛල ක්‍රම ක්‍රමයෙන් මිය යෑමේ ප්‍රතිඵලයක් ලෙස මතකය, හැසිරීම, තීරණ ගැනීම, බුද්ධිය සහ පෞරුෂය වැනි වටිනා ගති ලක්ෂණවල වෙනස්කම් ඇති කරවන රෝගයකි. තවද මෙය මහලු අය අතර (වයස 60 ට වැඩි) බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. නමුත් මෙය සාමාන්‍ය වයසට යෑමේ ප්‍රතිඵලයක් නොවන බව වටහා ගැනීම වැදගත්ය.

සාමාන්‍යයෙන් අපේ සමාජය තුළ පුද්ගලයකු වයසට යද්දී කායිකව, මානසිකව දුර්වල වන බවට මතයක් පවතී. නමුත් මේ මතය සම්පූර්ණ සත්‍යයක් නොවේ. එහෙත් වෙනස්කම් බොහොමයක් සිදුවන බව අප දැනගත යුතුය.

නමුත් අප වයසට යද්දී මොළය නමැති ඉන්ද්‍රියයේ ද වෙනස්කම් සිදු වේ. එහි, ස්නායු සෛල අඩු වීම, ස්නායු සෛලවල සම්බන්ධතා අඩු වීම, ස්නායු සෛලවල ක්‍රියාකාරීත්වය අඩු වීම ආදිය සිදුවිය හැක. තවද වයසට යෑමත් සමඟ මොළයට අනතුරක් සිදු වුවහොත් එය නැවත හැදීමේ හැකියාව ද අඩුය.

මෙවැනි රෝගී තත්ත්වයකදී ඇතිවන ප්‍රධානතම ගැටලුව නම් මෙවැනි තත්ත්වයකට පත් වූ පුද්ගලයකුට එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ බාධා ඇති වීමයි.

රෝග ලක්ෂණ හා ගැටලු

එදිනෙදා දේවල් නිතර අමතක වීම, තමාගේ බඩු බාහිරාදිය නැති වීම

ඒවා අන් අය සොරකම් කළා යැයි චෝදනා කිරීම

ආහාර පිසීම, ගේ දොර උපකරණ ක්‍රියාකරවීම අමතක වීම

වෙළෙඳසැලට ගොස් මුදල් ලබා දීමට අමතක වීම

රෝගයේ උච්ච අවස්ථාවේදී තමන්ගේ බිරිඳ සැමියා හෝ

දරුවන් පවා හඳුනා ගැනීමේ අපහසුතාව

අලුත් පරිසරයකට හැඩගැසීමේ හැකියාව අඩු වීම

දින චර්යාවේ වෙනස්කම් - (එනම් පිරිසිදු කිරීම්,

නෑම මුහුණ සේදීම වැනි ක්‍රියා අතපසු විම)

හැසිරීමේ වෙනස්කම් - (එනම් කලහකාරී වීම, කෑ ගැසීම, අරමුණක් නැතිව තැන තැන ඇවිදීම, ලිංගික හැසිරීමේ වෙනස්කම් ඇති වීම, නින්ද නොයෑම, හුදෙකලා වීම හෝ අනුන් නොරිස්සීම, ඇඬීම වැළපීම, මල මුත්‍රා පාලනය නොමැති වීම, ආවේග හා සංවේද පාලනය අඩු වීම, වැරදි විශ්වාස (එනම් තවමත් තමන් වැඩට යන බව සිතීම, දෙමාපියන් සහකරු සහකාරිය තවමත් ජීවතුන් අතර ඇති බව සිතීම, අද්භූත විශ්වාසයන්හි එල්බගෙන සිටීම ආදිය

රෝගියෙකුට මේ නිසා ඇතිවිය හැකි අවදානම් අවස්ථා

නිවසින් පිටවී ඇවිද යාමට ඇති හැකියාව

අතරමං වීමේ හැකියාව

මහා මාර්ගවල අනතුරුවලට මුහුණ දීමේ හැකියාව

විදුලි උපකරණ භාවිතයේදී පරෙස්සම් නොවීමෙන් අනතුරු සිදුවීමේ හැකියාව

වැටීම් හා තුවාල වීම්

ගිනි ගැනීම්

(ගෑස් කුකර් ක්‍රියාවිරහිත නොකිරීම ආදිය හේතුවෙන්)

අනවශ්‍ය ලිංගික හැසිරීම්

මෙවැනි රෝගීන්ට සෙසු අයගේ උදව් ලැබිය යුතු අවස්ථා

ආහාර හා බෙහෙත් ගැනීමේදී

පවිත්‍රතා කටයුතුවලදී හා

ස්නානය කිරීමේදී

ඇඳුම් හැඳ ගැනීමේදී

වැසිකිලියට යෑමේදී

ගමන් කිරීමට අපහසු ස්ථාන කරා යාමේදී

රෝගයේ අවස්ථා අනුව මෙම උපකාර අඩු වැඩි වශයෙන් අවශ්‍ය විය හැක.

මෙම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී මූලික වශයෙන් සැලකිලිමත්විය යුතු කරුණු

වේදනාවක් පවතී නම් ඒවාට ප්‍රතිකාර ලබාදිය යුතුය. ඊට අමතරව මල බද්ධය, කන් ඇසීමේ ආබාධ, ඇස් පෙනීමේ ආබාධ ආදිය පවතී නම් ඊට ප්‍රතිකාර කිරීම වැදගත්ය. තවද මෙවැනි රෝගීන්ට ආසාදන තත්ත්ව නිසා ක්ෂණිකව ඇතිවන ඩිලීරියම් වැනි තත්ත්වලට ප්‍රතිකාර කිරීම ද අත්‍යවශ්‍ය වේ. එමෙන්ම මතකය වැඩි කිරීම සඳහා සිදු කරන ප්‍රතිකාර ලබාදීම වැදගත් වේ.

ඖෂධ නොවන ප්‍රතිකාර ක්‍රම

සංකීර්ණ නොවූ සුපුරුදු පරිසරයක රෝගියා තැබීම, සංවේදන උත්තේජනය කිරීම හා හොඳ හැසිරීම් අගය කිරීම

මෙවැනි රෝගීන් සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු

දේපල පිළිබඳ මෙවැනි රෝගීන්ට නිවැරදිව තීරණ ගැනීම අපහසු හෙයින් ඒ සම්බන්ධ කටයුතුවලදී වෙනත් අයෙකුට බලය පැවරීමට සිදුවිය හැක.

මෙවැනි රෝගීන් රැකබලා ගන්නා අයගේ මානසික තත්ත්වය ගැන සැලකිලිමත්ව කටයුතු කිරීම ද තවත් වැදගත් සාධකයකි.

මෙවැනි රෝගීන් රැකබලා ගන්නේ කෙසේද?

ඩිමෙන්ෂියා රෝගියෙකු රැකබලා ගන්නා තැනැත්තා කාරුණික අයෙකු විය යුතුය. මෙවැනි රෝගීන්ට ප්‍රධාන කරුණු බොහොමයක් අමතක වන බැවින් සෑම දෙයක්ම නැවත නැවත මතක් කිරීම අවශ්‍ය වේ. තවද

රෝගියාව තමන්ට සුපුරුදු ස්ථානයෙන් වෙන් නොකර තැබීම ද වැදගත්ය.

රෝගියාට නිතර නිතර පසුගිය දේවල් සහ සිදුවීම් මතක් කර දීම කළ යුතුය.

මෙවැනි රෝගීන් ආහාර ගන්නා විට ඒ ගැන සැලකිලිමත් වීමද වැදගත්ය.

මෙවැනි රෝගියෙකුගේ ආරක්ෂාව පිළිබඳව ද නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතුය. ඊට අමතරව

රෝගියාට මල මුත්‍රා පහ කිරිම නිසි අයුරින් සිදු කර ගන්නා ආකාරය පිළිබඳ පුහුණුවක් ලබා දීම.

වෙනත් රෝග ලක්ෂණ කිසිවක් හෝ මතු වුවහොත් වෛද්‍යවරයකු වෙත යොමු කිරීම

රෝගියාට ලබාදෙන නියමිත ඖෂධ නිසි වේලාවටම, දිනපතා ලබා දීම.

විවිධ හානි කර ද්‍රව්‍ය රෝගියාගෙන් වෙන් කර තැබීම වැදගත්ය. එමෙන්ම උදය වරුවේ වැඩිපුර දියර වර්ග ලබා දීමෙනුත් සවස් වරුවේ වැඩිපුර දියර වර්ග ලබා දීම අඩු කිරීමෙනුත් රෝගියාට රාත්‍රියේ නින්දේදී මුත්‍රා යෑම අඩු කරගත හැක.

එමෙන්ම සෑම දෙයක්ම පැහැදිලි හා වර්ණවත් අකුරෙන් සටහන් කර තැබීම ද රෝගියාට පහසුවකි.

කුඩා කල ඔබ බිළිඳකුව සිටියෙදී ඔබට තනිවම කිසිවක් කර ගැනීමට නොහැකි වු බව ඔබට මතකද? නමුත් එය අතිශයින් ආදරණීය වූ වගකීමක් ලෙස ගනිමින් ඔබේ මවුපියන් කොතෙක් නම් ඔබ වෙනුවෙන් සැලකිය යුතු කාලයක් කැප කරන්නට ඇත්ද?

සමහරවිට අද ඔවුන් මෙවැනි රෝගී තත්ත්වයක් නිසා කුඩා දරුවන් මෙන් සිටිනු ඇත. නමුත් ඔබ මානුෂිය හදවතක් ඇති දරුවකු බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් හා ඉවසීමෙන් කටයුතු කරන්න. ඔබ හා ඔබේ මවුපියන් එකම පවුලකට අයත් සේම ඔබටත් ඔවුන්ටත් ඇත්තේ එක් ජීවිත කාලයකි. ඒ නිසා ඔවුන්ව පී‍්‍රතිමත්ව තැබීමට උත්සාහ ගන්න. නිසැකවම මතුදිනක ඔබ කරා එම ප්‍රිතිය නැවත ගලා එනු ඇත.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවති දේශනයක් ඇසුරිනි.