දරුවකු මෙලොවට බිහිවන දිනය තීරණය වන්නේ කෙලෙසද?

දරුවකු මෙලොවට බිහිවන දිනය තීරණය වන්නේ කෙලෙසද?

මෙවර Meet Your doctor වැඩසටහනට සහභාගී වූයේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහතා

දරුවා හැරෙනවා කියන දෙයින් අදහස් වන්නේ කුමක්ද?

ඇත්තෙන්ම මේ හැරෙනවා කියන වචනය එතරම් සුදුසු වචනයක් නෙමෙයි. ඊට හේතු වෙලා තියෙන්නේ දරුවා මවගේ කුස තුළ හැරෙන්නට පටන් ගන්නේ අවසන් වරට ඔසප් වූ දින සිට සති 09 සිටයි. ඒ නිසා දරුවා හැරෙන, දඟලන, ඒ වගේම කැරකැවීම කියන දේ ඉතාම සාමාන්‍ය දේවල්. නමුත් ඔබ යොමු කළ ප්‍රශ්නය යටතේදී හැරීම යන්නෙන් අදහස් වන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියකට උචිත පරිදි හිස පහතට පිහිටා තිබෙනවාද යන්න දැන ගැනීමයි. සාමාන්‍යයෙන් සති 37ක් පමණ වන බොහෝ දරුවන් සිටින්නේ හිස පහතට පිහිටන අයුරිනි.

නමුත් ඇතැම් දරුවන් තට්ටම පහතට පිහිටන අයුරින් සිටින අතර එවැනි අවස්ථාවකදී සාමාන්‍ය දරු ප්‍රසූතියකට සුදුසු වන්නේ නැහැ. ඒ වගේම පළමු ගර්භණී භාවයේදී හිස උපත් මාර්ගයට ගමන් කරනු ලබනවා. මෙහිදී සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු වීමට ද පහසුවක් වෙනවා. මෙය අතීතයේදී ඉතාමත් වැදගත් සිදු වීමක් වූවා. එහිදී වැදෑමහේ පිහිටීම, ෆෙයිබ්‍රොයිඩ්, දරුවාගේ ප්‍රමාණය ආදී කිසිදු තොරතුරක් දැනගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. මේ නිසා යම් ගර්භණී කාන්තාවක් සිය ප්‍රථම ගැබිණි භාවයේදී දරුවාගේ හිස ගැබ් ගෙලට ඇතුළු වී නොමැති නම් අතීතයේදී සිසේරියන් සැත්කම්වලට පවා යොමු කරවනු ලැබීය. නමුත් අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණ හරහා මෙවැනි අපහසුතා මඟහරවා ගෙන ඉතා පහසු ආකාරයට දරුවා බිහිකර විය හැකියි.

දරුවා පිහිටන විවිධ ආකාර මොනවාද?

මෙසේ කුස තුළ දරුවකු පිහිටන ආකාර කිහිපයක් දැකගත හැකියි. සාමාන්‍යයෙන් ගැබ් කාලය සම්පූර්ණ වනවා යැයි අනුමාන කරන්නේ අවසන් වරට ඔසප් වූ දින සිට සති 37ට පසුවයි. බොහෝදුරට දරුවා හිස පහතට පිහිටන අයුරින් සිටින අතර එය වඩාත් නිවැරදි පිහිටීමක් ලෙසින් හඳුන්වා දිය හැකි වේ. මීට අමතරව තට්ටමින් පිහිටන දරුවන් ද 1% - 2% ක පමණ ප්‍රමාණය සිටිය හැකියි. තවද මවගේ සහ දරුවාගේ කශේරුකා සමාන්තරව පිහිටන අවස්ථාවක් ද තිබෙන අතර මෙහිදී හිස පහතට පිහිටා තිබුණත් දරුවා ඉහළ බලාගෙන සිටිය හැකියි.

මීට අමතරව දරුවා හරහට පිහිටිය හැකි අතර මෙවැනි අවස්ථාවකදී අනිවාර්යෙන්ම සිසේරියන් සැත්කම් සිදු කළ යුතු වේ. දරුවා මුල් කාලයේදී හරහට සිටියත් එය ගැටලුවක් නොවේ. නමුත් ප්‍රසූතිය ආසන්නයේ පිහිටීම පිළිබඳ සැලකිල්ලක් දැක්විය යුතුයි.

සාමාන්‍ය දරු ප්‍රසූතිවලට වඩා සිසේරියන් සැත්කම් ප්‍රමාණයේ වැඩි වීමක් තිබෙනවාද?

දැනට අවුරුදු ගණනාවකට පමණ පෙර සිසේරියන් සැත්කම් සිදු කරන ලද්දේ 10%ක පමණ ප්‍රමාණයකිනි. නමුත් මේ වනවිට 20%ක පමණ ප්‍රමාණයක් පමණක් තිබිය යුතු යැයි සාමාන්‍ය මතයයි. මෙය විවිධ රෝහල්වලින් වෙනස්වීම් වලට ලක් වෙන අතර බොහෝදුරට අධි අවදානම් තත්ත්වයේ සිටින මව්වරු, සිසේරියන් සැත්කම් කරා යොමු වේ. නමුත් අද කාලේ සාමාන්‍ය දරු ප්‍රසූතිය පිළිබඳ කරුණු නොදැනීම නිසා ඇතිවන භීතිය හේතුවෙන් සිසේරියන් සැත්කම්වලට යොමුවන ප්‍රමාණය වැඩි වීමට හේතු වී තිබේ.

දරුවා බිහිවන දිනය නිර්ණය කරන්නේ කෙසේද?

අවසන්වරට ඔසප් වූ දින සිට සති 40 මනුෂ්‍ය වර්ගයාගේ ගැබ් කාලය ලෙසින් හඳුන්වනවා. නමුත් මෙය පොදු මතයක් පමණක් වන අතර සති 40 දීම දරුවා බිහිවනවා යැයි පැවසීමට නොහැකියි. මෙය සාමාන්‍ය සංඛ්‍යාත්මක සාධකයකි.

සති 40ට දින තිබෙන මව්වරු 100 දෙනෙක් පිළිබඳ සලකා බැලුවොත් ඉන් 60ක් පමණ සති 40 දීම හෝ ඊට පෙර දරුවා සාමාන්‍ය ලෙස ප්‍රසූත කළ හැකියි.

නමුත් 40ක පමණ ප්‍රමාණයක් ඉන් ඔබ්බට ගමන් කළ හැකියි. සාමාන්‍ය ගණනය කිරීම්වලට අනුව දින පහු වී සති 2ක් පමණ ස්වභාවික දරු ප්‍රසූතියක් කරා යනවාද නැද්ද යන්න පිළිබඳ සලකා බැලිය හැකියි. මෙහිදී ස්වභාවික ප්‍රසූත වේදනාව ඇති වී සෑම දෙයක්ම ඉතා සුමටව සිදු වුණොත් සංකූලතාවලින් තොර සාමාන්‍ය දරු ප්‍රසූතියක් ලබා ගත හැකියි. නමුත් 15 දෙනෙක් පමණ සති 40 පහු වුණත් ස්වභාවිකවම ප්‍රසූත වේදනාව ඇති නොවන අතර ඒ අයට කෘත්‍රීමව ප්‍රසූත වේදනාව ඇති කරනු (වෛද්‍ය ක්‍රමවලින්) ලැබේ. එසේ නොකිරීමෙන් ඉදිරියේදී ඔවුන් බරපතළ මට්ටමේ ගැටලුවලට මුහුණ දීමට හැකි නිසා එම තීරණය ගනු ලැබේ.

අවසන්වරට ඔසප් වූ දින සිට මෙම ගණනය කිරීම් සිදු කළත් ඇතෙමෙක්ද මෙම ගණනය කිරීම්වල යම් ගැටලුවක් ඇතිවිය හැකියි නේද?

අවසන්වරට ඔසප් වූ දින සිට සති 2කින් ඩිම්බයක් පිහිටන අතර එදිනම ගැබිණි බවට පත් වූවා යැයි වෛද්‍යවරුන් විසින් උපකල්පනය කරනු ලැබේ. ඒ නිසා අනිවාර්යෙන්ම දින නිර්ණය කිරීමේ පරීක්ෂණය ඉතාමත් වැදගත් වන අතර අවසන් වරට ඔසප් වූ දින සිට සති 10 - 14ත් අතර කාලය ඊට වඩාත් සුදුසු යැයි සලකනු ලැබේ. මෙසේ සති 12 ආසන්නයේදි ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් සිට පතුලට ඇති දිගින් දින නිවැරදිව නිගමනය කිරීමේ හැකියාවක් තිබේ. මෙම සති 10 -14 අතර කාලය තුළ ලොව ඕනෑම මවකගේ කුස තුළ සිටින කලලයක විවිධත්වය ඉතාමත් අවම වේ. දින නිර්ණය පසුකාලීනව කළ නොහැකි අතර එය සිදු කිරීම ඉතාමත් වැදගත් වේ.

ස්වභාවික ප්‍රසූතිය ද සිසේරියන් සැත්කමකින් ප්‍රසූත කරනවා ද යන්න තීරණය කරන්නේ කෙසේද?

කලලයක පරිණත භාවය සති 37දී පමණ සිදු වී ඇතැයි විශ්වාස කරන අතර එහිදී කරුණු කිහිපයක් පිළිබඳව සලකා බැලිය යුතුයි. ඒ කරුණු අතර දරුවාගේ හිස පහතට පිහිටා තිබේ දැයි විමසා බලන අතර එහිදී සාමාන්‍ය දරු ප්‍රසූතියකට යා හැකි යැයි තීරණය කරනු ලැබේ. ඒ වගේම දරුවාගේ බර නිවැරදිව තිබීම මෙන්ම අධි රුධිර පීඩනය, පාලනය රහිත දියවැඩියාව ආදී ගැබිණි වියේ අනෙකුත් සංකූලතා වලින් තොර වීමක් ඉතා වැදගත් වේ. මේ කරුණු අනුව කුමන ක්‍රමයක් කරා යනවාදැයි තෝරා ගනු ලැබේ. තවද ගැබ් ගෙලේ පිහිටීම පිළිබඳ විමසිලිමත් විය යුතුයි. එහිදී වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර ඔබේ දැනුවත් භාවය ද ඇතිව සුදුසු ප්‍රසූතියක් කරා යා හැකියි.

බොහෝදෙනෙක් සාමාන්‍ය දරු ප්‍රසූතිය පසෙකලා සිසේරියන් සැත්කම් කරා ගමන් කරන්නේ වේදනාවට ඇතිවන බිය නිසයි. නමුත් විද්‍යාත්මකව විමසා බලන විට සාමාන්‍ය දරු ප්‍රසූතිය වඩාත් සුදුසු බව ප්‍රකාශ කරනු ලැබේ. බොහෝදුරට මවගේ ඉල්ලීම නිසා සිසේරියන් සැත්කම් කරා නොයනු ලැබේ.

මෙහිදී ඇතැම්විට පෞද්ගලික අංශයේ රෝහල්වල මෙසේ දරුවන් සිසේරියන් සැත්කම් මඟින් බිහි කළත් එය රජයේ රෝහල්වල කිසිසේත් අනුමත වන්නේ නැහැ. ඒ වගේම “එබිඩියුරල්” නැමැති ක්‍රමය මඟින් වේදනාවකින් තොරව සාමාන්‍ය දරු ප්‍රසූතියක් කරා යා හැකියි. ඇතැම් මව්වරු ඇතැම් පරීක්ෂණ ක්‍රම, ශල්‍යක්‍රම පවා ප්‍රතික්ෂේප කර ඉතාමත් ස්වභාවික ප්‍රසූත ක්‍රමවලට යොමුවිය හැකියි. තවද ගැබ්ගෙල පිළිබඳ පරීක්ෂා කරනු ලබන අතර විවිධ හේතු නිසා ඇතැම් කාන්තාවන් එය පරීක්ෂා කිරීමට බියක් ඇති කරගනු ලැබේ. මෙම පරීක්ෂණ ක්‍රමය PV පරීක්ෂණයයි. දරුවකු ප්‍රසූතියට යනවිට මවගේ රුධිර පීඩනය, දරුවාගේ හෘද ස්පන්දනය නිතර පරීක්ෂා කරනු ලැබේ. ප්‍රසූතියේ ඉදිරි ගමන පිළිබඳ පරීක්ෂාවෙන් සිටිනු ලැබේ.

මෙය PV පරීක්ෂණ මඟින් විමසා බැලෙයි. බොහෝවිට දරුවා පිටතට ගැනීමේදී අඩු දැමීමක් සිදු නොකරන අතර අත්‍යවශ්‍යම විටෙක වැකියුම් කිරීම පමණක් සිදු කෙරෙයි. මෙය බොහෝදුරට සාමාන්‍ය දරු ප්‍රසූතියකදී භාවිතා වේ. බොහෝදුරට මෙහිදී දරුවාට කිසිදු හානියක් සිදු නොවන අතර මවගේ ද සහාය ලබාගෙන අවම බලයක් යොදාගෙන දරුවාගේ හිසට සුළු බලයක් යොදා දරුවා පිටතට ගනු ලැබේ. මෙහිදී කිසිදු විටෙක හානියක් ඇති නොවේ.