ඔබේ ගැටලු අප වෙත එවන්න

ඔබේ ගැටලු අප වෙත එවන්න (වෛද්‍ය ගැටලු, ආරෝග්‍යා, ලේක්හවුස්, කොළඹ 10)

ශරීරය කෙට්ටුයි පියයුරු විශාලයි

ආරෝග්‍යා පාඨකයෙක්

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ

වෛද්‍ය නිලධාරි

ලාල් ඒකනායක

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවුරුදු 22කි. ශරීරය කෙට්ටුය, සැහැල්ලුය. නමුත් පියයුරු විශාලය. බරකින් ද යුක්තය. පවුලේ වෛද්‍යවරිය පැවසුවේ රෝගී තත්ත්වයක් නොවන බවයි. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා පැවසුවේ ශල්‍යකර්මයක් කළ හැකි බවත්, මව්කිරි දිය නොහැකි බවත්ය. ශල්‍යකර්මයකට නොගොස් පියයුරුවල විශාලත්වය අඩු කර ගත හැකි ක්‍රම තිබේද?

තවද සතියකට දින 3ක් වි. 45 හොඳින් පිහුනුම් කටයුතු වසරක් පමණ කළෙමි. නමුත් ශරීරයේ කිසිදු වෙනසක් සිදු නොවිණි. පියයුරු සඳහා කළ යුතු ව්‍යායාම තිබේද? විශාලත්වය, අධික බර නිසා එල්ලා වැටෙන තත්ත්වයක්ද පවතී. මීට කළ යුත්තේ කුමක්ද?

පිළිතුර

ඔබට ඇති ගැටලුව බොහෝ තරුණියන්ට අඩු වැඩි වශයෙන් ඇති ගැටලුවකි. ඔබේ ගැටලුවට කීප ආකාරයකින් විසඳුම් සපයා ගැනීමේ හැකියාවක් ද ඇත.

මෙහිදී ටෝනිං එක්සර්සයිස් නම් වූ ව්‍යායාමය මෙන්ම චෙස්ට් වෝල් එක්සර්සයිස් වැනි ව්‍යායාම මඟින් පියයුරුවල වෙනසක් ඇති කරගත හැකිය. තවද පියයුරු හොඳින් තදට පිහිටන ආකාරයෙන් යුක්ත තනපට භාවිත කිරීම ද වැදගත් වේ. විශේෂයෙන්ම කුඩා කල පටන්ම පියයුරු එල්ලා නොවැටෙන ලෙස තනපට ඇඟලුම් ඇඳීමට පුරුදු වීම අවශ්‍යය. මෙහිදී මේදය අඩු කර ගැනීම ද තවත් වැදගත් කරුණකි.

ඒ නිසා ඔබ වෛද්‍ය උපදෙස් ලබාගෙන අදාළ ව්‍යායාම්වලට යොමු වීම සුදුසුයි.

කාන්තාව විසින් ලිංගික ජීවිතය ප්‍රතික්ෂේප කිරීම නිසාත් පුරුෂයාගේ හැඟීම් හීන වෙනවා

ආරෝග්‍යා පාඨකයෙක්

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආරියසේන යූ. ගමගේ

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ පුතාට වයස අවුරුදු 32ක් වෙනවා. විවාහ වෙලා දැනට අවුරුදු 04ක් වෙනවා. අවුරුදු දෙකක් දුවත් සමඟ පුතා හොඳින් හිටියා.

දැනටත් දෙදෙනාම හොඳින් ඉන්නවා. නමුත් පුතා අවුරුදු තුනක පමණ කාලයක සිට දුවත් සමඟ සම්බන්ධකම් පවත්වන්නේ නැති බව දැන ගත්තා. පුතාට හැඟීම් එන්නේ නැති බවයි කියන්නේ.

වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගත්තා. තාමත් පුතාගේ රෝගය සුව වී නොමැත. දෙදෙනාම හොඳින් හිටියත් දුකෙන් සිටින බවයි පෙනෙන්නේ. මෙය ස්නායු සම්බන්ධ රෝගයක්ද? මෙය සුව කර ගැනීමට බෙහෙත් තිබේද? වෛද්‍යතුමනි කරුණාකර මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන මෙන් ඉල්ලමි.

පිළිතුර -

ඔබ ගැටලුව ඉදිරිපත් කර ඇතත්, එහි යථාර්තය ඒ අයුරින්ම ඉදිරිපත් වී නැහැ. එනම් මේ ගැටලුවේ සැබෑ ස්වරූපය මින් හෙළිදරව් වන්නේ නැහැ.

මෙම ගැටලුව මනස හා සම්බන්ධ දෙයක්. මන්ද අවුරුදු 32ක් වන පුරුෂයකුට විශේෂිත හේතුවකින් තොරව ලිංගික හැඟීම් ඇති නොවීමට හේතුවක් නැති නිසා.

නමුත් මානසික හෝ දියවැඩියා රෝගී තත්ත්වයක් ඇත්දැයි මෙහිදී සොයා බැලීම වැදගත් වෙනවා. තවද මෙම ගැටලුවට වෙනත් හේතු ගණනාවක් ද බලපෑ හැකියි.

පවුල් ආරවුල්, ආර්ථික ගැටලු හෝ වෙනත් ගැටලුවක් මීට බලපෑ හැකියි.

බිරිඳගේ පැත්තෙන් වන යම් ලිංගික ප්‍රතික්ෂේප කිරීමක් නිසාත් කාලයකදී පුරුෂයාගේ හැඟීම් හීනවීමක් සිදුවිය හැකියි.

එසේම ලිංගික එකතු වීමකදී බිරිඳට වේදනාවක් ඇතිවනවා නම් එයද සමහරවිට මෙවැනි ගැටලුවකට හේතුවිය හැකියි.

නමුත් මේ සියලු තත්ත්වයන්ට විසඳුම් ඇති බැවින්, කලබල විය යුතු නැහැ. උපදේශනය මඟින් මේ බොහෝ තත්ත්ව යථා තත්ත්වයට පත් කළ හැකියි.

ඒ නිසා ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වී මේ ගැන සාකච්ඡා කිරීම ඉතා සුදුසුයි. ඒ සඳහා බිරිඳ හා ස්වාමිපුරුෂයා යන දෙදෙනාම හෝ ස්වාමිපුරුෂයා සහභාගී වීම වැදගත්. එහිදී වැඩිපුර ප්‍රතිකාර හෝ උපදේශනය අවශ්‍ය නම් ඔබේ වෛද්‍යවරයා ඒ සඳහා යොමු කිරීමක් කරනු ඇති. ඒ නිසා මේ පිළිබඳ කනස්සලු නොවී වෛද්‍ය උපදෙස් පතන්න.

කෝලා වීදුරුවක සීනි හැඳි 12ක් අඩංගුයි

මයුරි - අරණායක

කායික රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

වරුණ ගුණතිලක

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ පුතා වයස අවුරුදු එකොළහක දරුවෙකි. ඔහු බහුලව කෝලා වර්ගයේ බීම පානය කිරීමට හුරු වී සිටියි. දවසේ ඕනෑම වේලාවක පුතා මෙවැනි බීම වර්ග පානය කිරීමට කැමතිය. මෙය අඩු කරන්නැයි පැවසුවත් තමා ඊට බෙහෙවින් ඇලුම් කරන බව පවසයි. වෛද්‍යතුමනි, මාගේ පුතා මෙසේ බහුලව කෝලා පානය කිරීම සුදුසුද? මේ නිසා මතු දිනෙක දරුවාට යම් රෝගී තත්ත්වයක් ඇතිවිය හැකිද?

පිළිතුර -

මෙහිදී මුලින්ම දීමට ඇති පිළිතුර නම් කෝලා වැනි බීම වීදුරුවක සීනි හැඳි 12ක් පමණ අඩංගු වන බවට හඳුනාගෙන තිබීමයි. ඒ අනුව දිගුකාලීන භාවිතය දියවැඩියාවට හේතුවක් විය හැකිය. ඊට අමතරව මෙහි අඩංගු ඇතැම් අම්ල මඟින් දත් දිරා යෑම, ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග ඇති වීමේ අවදානමක් සහිතයි. තවද උදරයේ ආම්ලිකතාවට ද මෙය හේතුවක් විය හැකියි. එබැවින් හැකි තරම් දරුවාව මේ ඇබ්බැහියෙන් මුදවා ගැනීම සුදුසුම පියවරයි.

කොච්චර කෑවත් බඩගිනියි

සුනිමල් - මඩපාත

කායික රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

ප්‍රදීප් කුමාරසිංහ

ගැටලුව

වෛද්‍යතුමනි, මා අවුරුදු 45ක පමණ අයෙකු වෙමි. කාලයක සිට කොපමණ ආහාර ගත්තද, නැවත නැවතත් බඩගිනි එන ගතියක් ඇති වේ. නිතරම කෑමට යමක් අවශ්‍ය බවක් හැඟෙයි. ඇඟට එතරම් පණක් ද නැත. වෛද්‍යතුමනි, මෙසේ වන්නේ ඇයි? මා මාළු පමණක් ආහාරයට ගනිමි. මස් අනුභව කරන්නේ නැත. මා මේ සම්බන්ධයෙන් කුමක් කළ යුතුද? මෙසේ වන්නේ මා මස් ආහාරයට ගන්නේ නැති නිසාද?

පිළිතුර -

ඔබේ ගැටලුවට හේතුව මස් අනුභව නොකිරීම නොවෙයි. නමුත් වෙනත් හේතු කීපයක් පිළිබඳව විමසිලිමත් විය යුතුයි. එනම් ඔබට බලපා ඇති මේ තත්ත්වයට හේතුව දියවැඩියා තත්ත්වයක් හෝ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ ගැටලුවක් විය හැකියි. එබැවින් ඒ පිළිබඳ පරීක්ෂා කිරීම අවශ්‍ය වෙනවා. ඒ අනුව ඔබ මේ තත්ත්ව පිළිබඳ පරීක්ෂා කර ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.