මාස තුනක් තිස්සේ කොන්ද කකියනවා

මාස තුනක් තිස්සේ කොන්ද කකියනවා

රාත්‍රියේ නිදා ගන්නා ඉරියව් වැරදි නම් කොන්දේ කැක්කුමට අතවැනීමක් වගේ. ඔස්ටියෝපොරෝසිස් වැනි ඇට කටු දිරීමේ රෝගවල බලපෑම නිසාත් කොන්දේ කැක්කුම ඇතිවෙන්න පුළුවන්.

කොන්දේ කැක්කුම කකුල දෙසට විහිදී යයි නම්, කොන්දේ කැක්කුම සමග සිරුරේ වෙනත් අවයවයක කෙන්ඩා පෙරලීමක් ඇති වෙයි නම්, කකුල් වල හිරිවැටීමක් ඇති වන්නේ නම් , එය ස්නායුවල තෙරපුමක් සමඟ ඇතිවන රෝග තත්ත්වයක්.

මොන කැක්කුමක් වුණත් උහුලන්න බොහොම අමාරුයි. අපේ සාමාන්‍ය ජීවන රටාවේ වෙනසක් ඇතිවෙන විදිහට ඇගේ පතේ වේදනාවක් ඇති වුණාම මේ තමයි ලෝකේ උහුලන්නම බැරි වේදනාව කියලා අපට හිතෙනවා.අනිත් එක කොන්දේ නැත්නම් පිටේ වේදනාවක් පවතිද්දි බොහොමයක් දෙනා වෛද්‍ය උපදෙස් ගන්න කලින්ම එයාගේ රෝග තත්ත්වය අනුමාන කරනවා බරපතල රෝග තත්ත්වයක් විදිහට.

ඒකට හොදම උදාහරණය මෑත දිනෙක වෛද්‍ය සායනයට ආපු නිමල්. එයා ආවේ ගිරාදුරුකෝට්ටේ ඉදලා. කොන්දේ අත තියාගෙන ආපු නිමල් වෛද්‍යවරයා වෙත ගියේ තමන්ට වැලදිලා තියෙන රෝගය තමන් දන්නවා කියන අනුමානයත් එක්ක. වයස හතලිස් දෙකක් විතර වෙන නිමල් වෛද්‍යවරයා වෙත ගිහින්, මෙහෙම කිවුවා. “ දොස්තර මහත්තයෝ මට දැන් මාස තුනක් විතර ඉදන් කොන්දේ අමාරුවක් තියෙනවා.

බෙහෙත් ගත්තාට අඩුවෙන්නෙත් නැහැ. අපේ පැත්තේ වකුගඩු රෝග තියෙනවා හැමෝටම මටත් එහෙම වෙන්නැති. ඔහුව පරික්ෂා කල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදය රළපනාව මහතා මෙසේ ප්‍රකාශ කළා.

“කොන්දේ අමාරුවක් කියපු ගමන් ලෙඩ්ඩු රෝගය අනුමාන කරනවා. සමහරු හිතනවා, මේක පිළිකාමය තත්ත්වයක් කියලා. ඒ අයගේ මනසටත් අපි ප්‍රතිකාර කළ යුතු වෙනවා. මුලින්ම කියන්න ඕනි, කොන්දේ අමාරුව කියන්නේ ලෙඩක් නෙවෙයි. තවත් ලෙඩක ලක්ෂණයක්.... මෙතනදි සොයා බැලිය යුතු දෙය වන්නේ, කොන්දේ කැක්කුම ඇති වුණේ ඇයි කියන කාරණාවයි.

හුගාක් වෙලාවට කොන්දේ අමාරුව කියලා ප්‍රතිකාර ගන්න එන්නේ මානසික අවපීඩනය කියන රෝගී තත්ත්වය ඇති පුද්ගලයින්. මේ අය එක්ක අපි බොහොම හොදින් කතා කරනවා . මානසික අවපීඩනය කියන රෝග තත්ත්වය ඇති වීමට බෙහෙවින් බලපාන හේතුවක් තමයි තනිකම.කොන්දේ අමාරුව කියලා අපි ළඟට එන හුඟාක් දෙනාගේ වයස අවුරුදු තිහත් හැටත් අතර උදවියයි. ඇතැම් අයගේ විවාහ ප්‍රමාද වෙලා. ඇතැම් අයගේ ස්වාමි පුරුෂයා නැහැ. නැත්තම් භාර්යයාව නැහැ. මේ වගේ තත්ත්වයේ පසුවන රෝගීන් ඉතා හොදින් පරික්ෂා කල යුතුයි. මොකද මේ වගේ අයට කොයිවිදිහට බෙහෙත් දුන්නත් කොන්දේ අමාරුව සුවවෙන්නෙත් නැහැ. එහෙම අයට ඖෂධ ලබාදීමේදි වෛද්‍යවරයා විදිහට අපි බොහොම සැලකිලිමත් වෙනවා.

තවත් විටෙක එක දිගටම කොන්දේ අමාරුවට ප්‍රතිකාර කලත් සුවනොවන සත්‍ය ලෙසම කොන්දේ හෝ පිටේ අමාරුව තිබෙන දරුණු ලෙඩක ආරම්භයක් සහිත රෝගිනුත් සිටිනවා.මේ ඛාණ්ඩ දෙක වෙන් කර ගන්න බොහෝම ඉවසිලිවන්තව රෝගින් පරික්ෂා කරන්න වෙනවා. ඒ හැරුණු විට කොන්දේ කැක්කුම ඇතිවීමට බලපාන තවත් හේතු රැසක්ම තිබෙනවා.

කොන්දේ කැක්කුම ඇතිවන තවත් හේතුවක් නම්, එදිනෙදා කටයුතු වලදී හැසිරෙන වැරදි ඉරියව් සහ වැරදි ක්‍රියාකාරකම් .රාත්‍රියේ නිදා ගන්නා ඉරියව් වුවත් වැරදි නම් කොන්දේ කැක්කුමට අතවැනීමක් වගේ. මේවා නිරන්තරයෙන් සිදු වෙද්දි කොන්දේ පේෂි වලට වගේම ස්නායුවලට තෙරපුමක් ඇති කරනවා. එය වේදනාවක් ලෙස අපට දැනෙනවා.

ඔස්ටියෝපොරෝසිස් වැනි ඇට කටු දිරීමේ රෝගවල බලපෑම නිසාත් කොන්දේ කැක්කුම ඇතිවෙන්න පුළුවන්. සිරුරේ පහළ කොටසේ අවයව වල දෝෂ හෙවත් වකුගඩු ගර්භාෂය ආමාෂය මූත්‍රාශය ඇතුළු අවයවයන්හි විවිධ රෝග තත්ත්වයන් නිසාත් කොන්දේ කැක්කුම ඇතිවෙන්න පුළුවන්.සුෂුම්නාවේ අස්ථි අතර තිබෙන සියුම් ඩිස්ක් වල ඇති ජෙල්වල වෙනස්වීම් මතද කොන්දේ කැක්කුම ඇතිවෙන්න පුළුවන්.

මෙම වේදනාව වැඩිදුර පරික්ෂා කිරීම සදහා යෙදෙන අවස්ථා කිහිපයක් තිබෙනවා. කොන්දේ කැක්කුම කකුල දෙසට විහිදී යයි නම්, කොන්දේ කැක්කුම සමග සිරුරේ වෙනත් අවයවයක කෙන්ඩා පෙරලීමක් ඇති වෙයි නම්, කකුල් වල හිරිවැටීමක් ඇති වන්නේ නම් , එය ස්නායුවල තෙරපුමක් සමඟ ඇතිවන රෝග තත්ත්වයක්.රාත්‍රී කාලයේ දී කොන්දේ කැක්කුම දරුණු නම් , නින්ද නොයන තරමටම වේදනාව වැඩි නම්, නැවත පරික්ෂා කරන තත්ත්වක් බව කිව යුතුයි. මේ සියල්ල හැර කොන්දේ කැක්කුම නිරතුරුවම පවතියි නම්, එය මානසික රෝගයක් විය හැකියි.

කුමන තත්ත්වයක වුවත් කොන්දේ කැක්කුමට බිය විය යුතු නැහැ. රෝග ඉතිහාසය අනුව ඕනෑම වෛද්‍යවරයෙකු රෝගියා හොදින පරික්ෂා කර ප්‍රතිකාර ලබා දෙනවා. මූලික ප්‍රතිකාර ලෙස වේදනානාශක ලබා දෙනවා. ඉන්නොනැවතී තවදුරටත් පරික්ෂා කර ප්‍රතිකාර දීමට අවශ්‍ය නම් මුත්‍රා පරික්ෂණ රුධිර පරික්ෂණ විකිරණ පරික්ෂණ වැනි සියල්ල සිදුකරනවා. කොන්දේ වේදනාව තවදුරටත් අඩු නැත්නම් එම් ආර් අයි ස්කෑන්, බෝර්න් ස්කෑන් වැනි පරක්ෂණ අවශ්‍ය විටක සිදු කරනවා.

කොන්දේ කැක්කුම හෝ පිටේ කැක්කුම කියන රෝග තත්ත්වය දී තමන් හිතේ කුහුලක් ඇති කරගෙන ඉන්න එපා. වෛද්‍යවරු ඉන්නේ රෝග නීර්ණය කරලා ප්‍රතිකාර ලබාදෙන්නයි.ඒ නිසා කිසිවෙක් බිය විය යුතු නැහැ.