තහනම් උත්තේජක ගන්නා ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරේ

තහනම් උත්තේජක ගන්නා ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරේ

තහනම් උත්තේජක භාවිතය බොහෝවිට ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ තොලඟ රැදෙන නාමයකි. එයට හේතුව වී ඇත්තේ තරඟයකින් ජයග්‍රහණය ලබන්නට තහනම් උත්තේජක භාවිතා කර දිණුම් කනුවට ලඟාවීමට ඇතැම් අය පොරබැදීමට දරන උත්සාහය හේතුවෙනි.

නමුත් තහනම් උත්තේජක භාවිතා කරමින් තරඟයකින් ජයග්‍රහණය කරන ක්‍රීඩකයෝ අවසානයේදී තරඟ තහනමකට ලක්වන්නේ ඇතැම්විට වසර ගණනාවකටම හෝ ජීවිතාන්තයටමය. තරඟයකින් ජය ගන්නට තහනම් උත්තේජක භාවිතා කිරිමෙන් ඔවුන්ගේ සෞඛ්‍යයට හා ජීවිතයට කන කොකා හඬන බව දන්නේ ක්‍රීඩකයන්ගෙන් කීයෙන් කී දෙනාද? තහනම් උත්තේජක භාවිතය තුළින් ලැබෙන අනිසි ප්‍රතිඵල ගැන පවසන්නේ ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නිවාරණ ආයතනයේ සභාපති කායික රෝග ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වාය.

විශේෂයෙන් ඔලිම්පික් වැනි ජාත්‍යන්තර ක්‍රීඩාවලදී ධාවනයට අමතර ශක්තියක් හා ජවයක් ලබා දීමට හා අලස බවින් තොරව ක්‍රීඩා කිරීමටත් ඇතැමුන් තහනම් උත්තේජක භාවිතා කරති. එවිට වෙහෙස මහන්සියක් නොදැනී ක්‍රීඩා කිරීමට උත්තේජනයක් ලැබේ.

බොහෝදෙනා කතා කරන මේ තහනම් උත්තේජක ලෙස භාවිතා කරෙන්නේ ස්ටෙරොයිඩ් වර්ගයට අයත් ඖෂධයි. තවද ටෙස්ටොස්ටරෝන් හෝමෝනය (පිරිමි හෝමෝනය), එරිත්‍රොපොයිටින් ඖෂධ හා රුධිරය පාරවිලනය කිරීම මඟින් විවිධ වූ ආකාරයට මේ උත්තේජක ලබා ගනී. ස්ටෙරොයිඩ් වර්ගයේ ඖෂධ ලෙස ගැනෙන්නේ සැල්බියුටමෝල්, ප්‍රෙන්ඩිසිලෝන් යන කාණ්ඩයට අයත් ඖෂධයි. මෙම කාණ්ඩයේ ඖෂධ ගත් කළ ඒවා අක්මාව කරා ගොස් සිරුරට විශාල ජවයක් ලබා දී රුධිරය සමඟ එකතු වේ. ඉතිරිය වකුගඩු ඔස්සේ පෙරී මුත්‍ර මඟින් පිට කෙරේ. තහනම් උත්තේජක යම් පුද්ගලයෙකු ලබා ගත්තේ යැයි සැක කිරීමක් සිදු වූවහොත් මුත්‍රා පරීක්ෂණය මඟින් සැකහැර දැන ගත හැක්කේ ඒ නිසයි.

එසේම වඩාත් ජවසම්පන්න හෝමෝනයක් වන ටෙස්ටොස්ටරෝන් හෝමෝනය ද කෘතිම ලෙස ක්‍රීඩකයන් ලබා ගැනීම සිදු කරයි. විශේෂයෙන් බොක්සින් ක්‍රීඩාවේ යෙදෙන්නන් බෙහෙවින් ඒ හෝමෝනය ලබා ගන්නා අයයි. මේ නිසා ඇතිවන අතුරු ආබාධ අතිශයින් භයානකය. අක්මාවේ ගැටලු ඇතිවන අතර අධි රුධිර පීඩනය ඇති වීමට මෙය සාධකයක් වේ. අධි රුධිර පීඩනය පාලනය කර ගත නොහැකිව මරණයට පවා පත්විය හැකිය. මෙම උත්තේජකය නිසා ස්නායු පද්ධතියට ඍජු ලෙස බලපෑම් ඇති කිරීමට ද හැකියාවක් ඇත. මේ හෝමෝනය කාන්තාවන් භාවිතා කළහොත් කාන්තා ලක්ෂණ වියැකී ගොස් පිරිමි ලක්ෂණ මතු විය හැක. පිරිමි කටහඬ ඇතිවීම, හිසකෙස්, අධික ලෙස වර්ධනය වීම,රෝම කූප වර්ධනය වීම සිදුවේ.

එරිත්‍රොපොටින් තහනම් උත්තේජනයක් ලෙස ලබා ගන්නේ දුර ධාවනය හා පාපැදි ධාවන සඳහාය. හේතුව එරිත්‍රොපොටින් නිසා රුධිරයේ හිමග්ලොබින් ප්‍රමාණය වැඩි වේ. නමුත් මෙම උත්තේජකයේ තිබෙන සංකූලතාවය වන්නේ ස්නායු පද්ධතිය ආබාධයට ලක් වී මොළයේ ස්නායු විනාශ වී අංශභාගය, ආඝාතය වැළඳීමට ඉඩ ඇති වීමයි.

රුධිර පාරවිලනය මඟින් ක්‍රීඩකයාගේ රුධිරය යම් ප්‍රමාණයක් එළියට ගෙන ශීතකරණයක තබා පෝෂ්‍යදායි ආහාර හොඳින් ලබා ගෙන තරඟට කිට්ටු කාලසීමාවේ ශීතකරණයේ තැබූ රුධිර නැවත සිරුරට ලබා දීම සිදු කර ගනී. මේ නිසා ද බොහෝ සංකූලතා වලට මතුවිය හැකිය.

පපුවේ මහන්සියට, හතියට ඉක්මන් සහනයක් ලබාදීම පිණිස ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන්නේ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට මේ ඖෂධවලට හැකියාවක් ඇති බැවිනි. නමුත් ඇදුම හතිය නොමැති නිරෝගී ක්‍රීඩකයෝ ඒවා ලබා ගැනීමෙන් දියවැඩියාව, ඇසේ සුද ඇතිවීම හෘද වස්තුව , අක්මාව, වකුගඩු ඉතා ඉක්මනින් අකර්මන්‍ය වී අධි රුධිර පීඩනය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා මරණයට පත්වීමේ හැකියාවක් ද ඇත.

ක්‍රීඩකයෙකු පිළිබඳ යම්කිසි සැකයක් මතු වුණහොත් ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ මුත්‍රා ඕනෑම අවස්ථාවක පරීක්ෂණයට ලක් කළ හැකියි. විශේෂයෙන්ම ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ක්‍රීඩා කිරීමට පෙරත් පුහුණුවීම් අවස්ථවලදී මේ ඕනෑම අවස්ථාවක මුත්‍රා සාම්පලයක් ලබාගෙන පරීක්ෂා කළ හැකියි. මුත්‍රා සාම්පලය ලබා ගැනීමෙන් අනතුරුව ඒවා බෝතල්වල අසුරා සීල් තබා ඔලිම්පික් කමිටුව මගින් නිර්දේශ කර ඇති රසායනාගාරවලට යවනු ලැබේ. විශේෂයෙන්ම එහි රහස්‍යභාවය රැකීමට රසායනාගාරය බැඳී සිටින්නේ යම් හෙයකින් අසත්‍ය ප්‍රතිඵල නිකුත් කළොත් ක්‍රීඩකයාගේ කීර්ති නාමයට කැලලක් වන බැවිණි. ක්‍රීඩකයා තහනම් උත්තේජක ලබා ගෙන ඇතැයි ඔප්පු වුවහොත් ඔහු ක්‍රීඩා තහනමට ලක් වේ.

මේ තහනම් උත්තේජක නිසා තරුණ වියේදීම ක්‍රීඩකයන් රෝගීන් බවට පත්වීමට තිබෙන සමභාවිතාවෙන් මිදිය නොහැක. එබැවින් ක්‍රීඩාවෙන් ජයගැනීමට ඇති ආශාව නිසා තහනම් උතේජක භාවිතා කිරීමෙන් ක්‍රීඩකයන්ට සිදුවන්නේ තුරුණුවියේදීම රෝගී තත්ත්වයට පත් වී අකාලයේ මියැදෙන්නටය.