කකුලේ ඇඟිලි දියමැටියෝ කාලා

කකුලේ ඇඟිලි දියමැටියෝ කාලා

වයස් භේදයකින් තොරව පාදවල තුවාල ඇතිවෙන බව අප අත්දැකීමෙන් වුවද දන්නා කරුණකි. සම පහසුවෙන් විෂබීජ සිරුර අභ්‍යන්තරයට ඇතුල්විය හැකි මාර්ගයකි. වැඩිපුරම පොළව ගැටෙන නිසා පාදයේ යටි පතුල්වල සමට පහසුවෙන් විෂබීජ ඇතුල්වීම හෝ විවිධ ගැටලු ඇති වීමට ලක්වන ඉන්ද්‍රියක් ලෙස පාදය හැඳින්විය හැකියි. පාදවල ඇතිවන රෝග අතර දිලීර රෝග විශේෂයි. එලෙස ඇතිවන රෝග තත්ත්වයන් ලෙස දියමැටියා කෑම ද හඳුන්වා දිය හැක.

පාදයේ ඇතිවන රෝග

දියවැඩියාව නිසා පාදයේ තුවාල ඇතිවීම හා ඉන්නො ඇති වීම, එසේම සම නෙරාවිත් එම ස්ථානය පිපිරීමකට ලක්ව තුවාල වීම, පාදයේ සම වියළි පැලී යාම නිසා ඇතිවන තුවාල වැනි රෝග පාදයේ දක්නට ලැබෙන රෝග තත්ත්වයන්ය. විශේෂයෙන් පාදවලට ඇතිවන තවත් රෝග තත්ත්වයක් ලෙස ඇඟිලි එක උඩ එක යාමෙන් ඇතිවන

ඝර්ෂණය හේතු කොටගෙන තුවාල ඇතිවීමට පුළුවන. සාමන්‍යයෙන් අපගේ දෛනික ක්‍රියාකාරකම්වලදී සෙරෙප්පු භාවිතය ද එතරම් සුදුසු නොවන අවස්ථා ද ඇත. හේතුව සමහරුන්ට එය අසාත්මික වන බැවිණි. එවැනි අවස්ථාවලදී පවා තුවාල ඇතිවීමට පුළුවන.

දියමැටියා කෑම

දිලීර ආසාදන තත්ත්වයකි. විශේෂයෙන් දිලීරය ඇතිවීමට හේතු වන්නේ පාදවල මඩ තැවරීම නිසා හෝ ඇඟිලි පුරුක්වල පවතින තෙත් ගතිය නිසාය.

රෝග ලක්ෂණ

මෙහිදී ප්‍රධානවම ඇතිවන්නේ කැසීමයි. කැසීම දිගටම පවතින අතර ඇඟිලිකරුව තුළ සම සුදු පාට ගැන් වේ. මෙයට හේතුව පාදය නිරන්තරයෙන්ම වතුර සමඟ සම්බන්ධ වීමයි. කැසීම නිසා සුදු පාටට සැරව ගැලීම සිදු වේ. මේ හේතුවෙන් රෝගී තත්ත්වය උග්‍ර වේ. මේ තත්ත්වය ඇඟිලිකරු අතරට පමණක් සීමා වෙයි. පාදයේ තෙත් ගතිය වැඩි වීම නිසා සැරව ගලන ඇඟිලිකරු අතර ප්‍රදේශ පසුව ඉදිමී තුවාල විය හැක. ඇඟිලිවල ඇතිවන දැඩි අපහසුතාවය හා කැසීම මේ දියමැඩියා කෑම තත්ත්වයේ දැකිය හැකිය. කැසීම නිසා පාදයේ තුවාලවලට විශේෂිත ආරක්ෂාවක් නොමැතිවීම නිසාත් නැවත නැවතත් මඩ හෝ අපිරිසිදු වතුර සමඟ පාදය සම්බන්ධ වුවහොත් ඇඟිලිකරු තව තවත් අසාත්මික වේ.

වළක්වා ගන්නා ආකාරය

ඕනෑම වයසක අයෙකුට මේ රෝග තත්ත්වය පොදුය. එළිමහනේ ඇවිද යාමේදී පාවහන් පැළඳීම අත්‍යවශ්‍යය. පාවහන් පළඳින්නේ නැතිව එළිමහනේ ඇවිදීමෙන් පසු පාද හොඳින් සබන් ගා වතුරින් සෝදා පිරිසිදු කරගත යුතුයි.

වැඩිහිටියන්ට බලපාන අයුරු

විශේෂයෙන් වයසට යත්ම ඔවුන් වත්තෙ, පිටියේ, එළිමහනේ ඇවිදින්නේ පාද නිරාවරණය කරමිනි. එනම් පාවහන් පැළඳීමකින් තොරවයි. පසුව ඔවුන් නිවසට පැමිණී විගස පාද පිරිසිදු කිරීම සිදු කරන්නේ ඉන් අතලොස්සක් පමණි. බොහෝදෙනෙකුට එය අමතක වී වයස්ගත වීම නිසා මතක ශක්තිය දුර්වල වීම එයට හේතුවයි. වයස්ගත අයගේ දෙපා පිළිබඳ සැළකිලිමත් වීම තරුණ අයගේ යුතුකමකි. ඔවුන්ගේ නිරෝගි භාවය වැඩි කිරීමට මෙය හොඳ ප්‍රතිකර්මයකි.

සමහරවිට වයස්ගත වීම සමඟ ඇති විය හැකි දියවැඩියා තත්ත්වය මත දියමැටියා කෑමේදී පාද තුවාල වීම අවසානයේදී ඔවුන්ගේ දෙපා අහිමි කරවීමට පවා හේතුවක් විය හැක.

ප්‍රතිකාර

පාද පිරිසිදු කිරීමට උණුවතුර භාවිතා කළ හැකියි. ඒ වගේම ගං සූරිය කොළ පොතු අමු කහ සමඟ තම්බා ගත් වතුරින් පාද සෝදා දැමිය හැකියි. කොහොඹ කොළ හා අමු කහ තම්බා ගත් වතුරින් පාද සෝදා පිරිසිදු කළ හැකියි. පසුව හොඳින් පාද වියළි වූ පසු සර්ව විෂාදි තෛලය ආලේප කළ හැකියි. විශේෂයෙන් දියමැටියා කෑමේ රෝගයේදී පාද වියළිව තබා ගැනීමට හැකි නම් මෙය වර්ධනය වීම අවම කරගත හැකියි.

ආහාර

මෙවැනි රෝග අවස්ථාවක උෂ්ණාධික ආහාරවලින් වළකින්න. දැල්ලො, අන්නාසි, කකුළුවා, ඉස්සො, අච්චාරු,අඹ, තත්කාලි හා අබ දැමූ ආහාර සුදුසු නැත. කැසීම ඇති නිසා සෙම ඇතිවන ආහාරත් සුදුසු නැත.

උදා. වම්බටු, මෑ, මුකුණුවැන්න, කෙසෙල් ගෙඩි, මුදවපු කිරි පරිභෝජනයෙන් වළකින්න.