ආඝාතය stroke ඇතිවීමට වැඩි බලපෑමක් ඇත්තේ කාන්තාවන්ටයි

ආඝාතය stroke ඇතිවීමට වැඩි බලපෑමක් ඇත්තේ කාන්තාවන්ටයි

මෙවර ලෝක ආඝාත දිනයේ තේමාව වූයේ I am a woman - stroke affectsme යන්නය. මෙහි ප්‍රධාන අදහස ආඝාතය වළක්වා ගැනීම වුවද මෙය විශේෂ තේමාවකි.

එහිදී ආඝාතය පිළිබඳ දැනුවත් වීම, විශේෂයෙන්ම කාන්තාවකට ආඝාතයේ බලපෑම වඩා වැඩිවන්නේ කෙසේද යන්න හඳුනා ගැනීම මෙන්ම ආඝාතය සැමටම බලපෑ හැකි රෝගයක් බවත් එබැවින් එය වළක්වා ගැනීමේ වැදගත්කමත් මේ ලිපියෙන් විමසා බැලීම සිදු වේ.

සෑම තත්ත්පර දෙකකට වරක් ලෝකයේ කොහෝ හෝ වෙසෙන පුද්ගලයින් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය වැළඳිය හැකි බවද සෑම තත්ත්පර හයකට වරක් ලොව කොහෝ හෝ පුද්ගලයකු මේ රෝගී තත්ත්වයෙන් මිය යන බවද දත්ත මඟින් අනාවරණය කරගෙන ඇත. එසේම ලෝකයේ කොහෝ හෝ කාන්තාවන් පස් දෙනෙකු ගත් විට ඉන් එක් අයෙකු මේ රෝගයට ගොදුරු විය හැකි බවද හඳුනාගෙන තිබේ.

ඒ නිසා ඔබ කාන්තාවක් නම් මේ ලිපිය පිළිබඳ මැනැවින් අවධානය යොමු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

ආඝාතය යනු හදිසියේ ඇතිවන රෝගී තත්ත්වයකි. මොළයේ එක් ප්‍රදේශයකට ක්ෂණයකින් රුධිර සැපයුම අඩාල වීම නිසා මේ තත්ත්වය හට ගනී. එමඟින් එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාමෙන් එම ප්‍රදේශයේ ස්නායු සෛල මිය යයි.

ඔබ දන්නවාද, ලෝකයේ මරණයට පත්වන රෝග අතරින් ආඝාතය දෙවන ස්ථානය ගන්නා බව? එසේම වැඩිහිටියන් ආබාධිතයින් වන ප්‍රධානතම හේතුව ද ආඝාතය බව?

එපමණක් නොවේ ඔබ කාන්තාවක් ලෙස ආඝාතය නමැති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුත්තේ මේ නිසාය.

ලෝකයේ මේ වනවිට හඳුනාගෙන ඇති දත්තවලට අනුව ආඝාතය තත්ත්වයන්ට ගොදුරුවන්නේ තුනෙන් දෙකක්ම සිටිනුයේ දියුණු වෙමින් පවතින රටවලය.

තවද ඒ අතරිනුත් ඊට වැඩිපුරම මුහුණ දී ඇත්තේ කාන්තාවන් බවද හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම ආසියානු හා අපි‍්‍රකානු කලාපයේ රටවල කාන්තාවන්ට මින් ඇතිවන බලපෑම සෙසු රටවලට සාපේක්ෂව යම් මට්ටමකින් වැඩි බව හඳුනාගෙගන ඇත. ඒ අනුව ලංකාවේ තත්ත්වය ද මීට බොහෝ සමාන බව විවිධ ලෝක සෞඛ්‍ය දත්තවලට අනුව පෙනී යයි.

කාන්තාවට ආඝාතයේ වැඩි බලපෑමක් ඇතැයි කියන්නේ ඇයි?

තමන්ට ආඝාත රෝගී තත්ත්වයක් ඇති වුණත් නැතත් තම ස්වාමිපුරුෂයා මව පියා දරුවකු හෝ පවුලේ ඕනෑම සමීපතමයකුට මේ රෝගී තත්ත්වය ඇති වුයේ නම් ඉන් වඩාත් පීඩාවට පත් වනුයේ කාන්තාවය. ඒ රෝගියා සම්බන්ධයෙන් වූ වෙහෙස නිරතුරුව ඇයට කායිකව ද මානසිකව ද බලපායි.

එසේම ඕනෑම මොහොතක ඇයට ද මේ රෝගී තත්ත්වය බලපෑ හැක.

එහිදී එහි බලපෑම ඇයට ඇතිවන්නේ කෙබඳු අයුරින්ද?

පවුලේ සියල්ලන්ගේම දුකේදීත්, සැපේදීත් ඇය නිරතුරුව, නොමසුරුව, මුළු ශක්තියෙන් ඊට සහභාගීකමක් දැක්වුවද ඈ තුළ පවතින බරපතළම දුර්වලතාව ඇය තවමත් තේරුම් ගෙන නැත. ඒ බරපතළ දුර්වලතාව නම් තමන්ගේ රෝගය පිළිබඳ නිසි සැලකිල්ලක් නොදැක්වීමයි. ඒ නිසාම කුමන හෝ රෝගී තත්ත්වයක අවසාන මොහොත දක්වාම කාන්තාව බොහෝවිට හදිසියක් නොදක්වයි. නමුත් එසේ වීමට ඇයට යම් හේතු ඇති බවත් අප අමතක නොකළ යුතුමය.

මොනවාද ඒ හේතු?

වෙනත් රටවලට සාපේක්ෂව අපේ රටේ කාන්තාවන්ට දරුවන් රැකබලා ගැනීමේදී වෙනත් අයෙකුගේ සහාය අඩු වීම හෝ නොමැති වීම, ගෙදර දොරේ ඉවුම් පිහුම් කටයුතුවලින් මිදීමට නොහැකි වීම, රැකියාවේ ගැටලු, නිවසේ වෙනත් රෝගියකු රැකබලා ගැනීමට සිදුවීම සැමියාගේ හෝ පවුලේ අන් අයගේ සහාය නොලැබීම, හෝ විවිධ ආර්ථික දුෂ්කරතා ද මීට බලපාන ප්‍රබල හේතු වශයෙන් හඳුනාගත හැක.

නමුත් මෙය නිදහසට කාරණයක්ද?

කෙසේවත් එසේවිය නොහැකිය. මන්ද කාන්තාව සමාජ ව්‍යුහයෛ් ඉතා වැදගත් සාධකයක් වන නිසාය.

ඔබ කාන්තාවක් නම් කිසිදාක ඔබ ගැන ඔබ සුළුවෙන් නොසිතන්න. ඔබ මේ තරම් ධෛර්යය සම්පන්නව කටයුතු නොකළේ නම් ඔබේ පවුල මෙතරම් සම්පූර්ණව තිබෙන්නේ කොහොමද? නමුත් ඔබ සදාකාලිකව රෝගියකු වුණොත්, එසේ නැතිනම් ඔබේ ජීවිතය ඉක්මනින් වියැකී ගියොත් ඔබේ ආදරණීයයන් ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි ඔබ සිතා තිබුණා ද? එසේ නම් ඔබ දැකගත යුතුම කරුණු කීපයක් වේ.

ඒවා නම් මෙසේය.

ආඝාතය වළක්වා ගත හැක.

ආඝාතවලින් 80%ක් පමණ වළක්වා ගත හැක. ඒ නිසා ආඝාත තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැඩි කරන රෝග තත්ත්වයන් හඳුනාගෙන ඒවා පාලනය කර ගැනීම වැදගත්ය.

සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්ම ආඝාතය වැළැක්විය හැකි හොඳම ක්‍රමයයි. ක්‍රියාකාරී දිවි පෙවතක් ගත කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවවකට යොමු වීමත් කාන්තාවක් ලෙස ඔබට වැදගත් වන කරුණුය. තවද ඔබගේ බර, රුධිර පීඩනය, සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් මට්ටම නිතර පරීක්ෂා කර ගැනීම බොහෝ වැදගත් බව සලකන්න. ඒවා වෛද්‍ය උපදෙස් අනුව පාලනය කර ගන්නට සැලකිලිමත් වන්න.

ආඝාතයට ප්‍රතිකාර ඇත

ඔබට හෝ ඔබ දන්නා අයෙකුට ආඝාතයේ රෝග ලක්ෂණ පහළ වුවහොත් ඉක්මනින් ළඟම ඇති රෝහලට යොමුවන්න. මෙයින් ආඝාතය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල මෙන්ම, ඇතිවිය හැකි ආබාධිත තත්ත්වයන් නිසි ප්‍රතිකාර මඟින් අවම කරගත හැකිය. මරණය වළක්වා ගත හැක. තවද, "ආඝාතයට බටහිර ප්‍රතිකාර නැත." යන්න මිත්‍යා මතයකි. ආඝාතයෙන් ඇතිවන මරණය සහ ආබාධිත තත්ත්ව අවම කරගත හැකි බහුල වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම දැනට භාවිතයේ පවතී. තවද ආබාධිත තත්ත්ව අවම කර ගැනීමට පුනරුතථාපන ක්‍රියාවලිය ඉතා වැදගත් වේ. එබැවින් ඉක්මනින් පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු වීම බෙහෙවින් වැදගත් බවද සලකන්න.