ඔබේ ගැටලු අප වෙත එවන්න

ඔබේ ගැටලු අප වෙත එවන්න (වෛද්‍ය ගැටලු, ආරෝග්‍යා, ලේක්හවුස්, කොළඹ 10)

දියණියට අවු. 11යි කොණ්ඩේ දැනටමත් සුදු වෙලා

තංගල්ල - ආරෝග්‍යා පාඨකයෙක්
 

වරකාපොල මූලික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය

ජනුකා ගලහිටියාව

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වැඩිමල් දියණියගේ වයස අවු. 11කි. දැනට වසර ගණනාවක සිට ඇයගේ හිස කෙස් සුදු වීමක් දක්නට ලැබේ. මෙය ක්‍රමයෙන් වැඩිවන බවක් ද පෙනේ.

පීනස රෝගයක් යැයි සිතා ප්‍රතිකාර කළ ද සුව වූයේ නැත. ඇයට සෙම්ප්‍රතිශ්‍යාව, කිවිසුම් යාම එතරම් ඇති නොවේ. මෙම ගැටලුව ඇයගේ අනාගතයට බලපානු ඇතැයි මා හට සිතේ. මේ තත්ත්වයට කළ හැකි ප්‍රතිකර්ම කවරේදැයි පැහැදිලි කරදෙන්න.

පිළිතුර

අකලට හිසකෙස් සුදුවීම ඇතැම් අවස්ථාවල රක්තයට සම්බන්ධ රෝග ඇති අයටත් ඇති වෙන්න පුළුවන්. එසේම විටමින්, ඛනිජ ලවණ ඌනතාවයක් නිසා ඇති වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් මේ වයස් සීමාවේදී කොණ්ඩය සුදු වීම දිගින් දිගටම සිදු නොවේ. එහෙත් අවු. 18 -20 සීමාවේදී සුදු වීම ආරයට එන තත්ත්වයක් විය හැකියි. කෙසේ වෙතත් මේ තත්ත්වය කුමන කාරණයක් නිසා ඇති වන්නේ ද යන්න සොයා බලා ප්‍රතිකාර කළ යුතුයි. ඒ නිසා ඔබගේ දරුවා චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන්න.

සිරුරේ අනවශ්‍ය රෝම වර්ධනය දරුවන් බිහි කිරීමට බාධාවක් ද?

සමාධි - ගංගොඩවිල

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය

ටිරාන් ඩයස්

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 18කි. මාගේ කලවාවල, දෙපාවල, දෑත්වල සහ පියයුරුවල රෝම කූප වර්ධනය වී ඇත. නිකටේ, පියයුරුවල, දෙපාවල වැඩෙන රෝම ඉතා ඝනකම්ය. දෑතේ සහ උඩු රැවුල පෙදෙසේ වැඩෙන රෝම මෘදුය.

මාගේ ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදු වේ. එය දින 28 - 30ත් අතර කාලයේදී සිදු වේ. ඔසප් වීම දින 3 - 4ක් පමණ පවතී. ඊට අමතරව වෙනත් රෝග තත්ත්වයන් නොමැත. මාගේ ශරීරයේ බර කිලෝග්‍රෑම් 41.4කි. උස අඩි 5යි අඟල් 2යි. මේ තත්ත්වයන් මත අනාගතයේදී ගැටලු ඇති වේවිද? දරුවන් බිහි කිරීමට ගැටලුවක් ඇති වේද?

පිළිතුර

අසාමාන්‍ය ලෙස රෝම වර්ධනය වනවා නම් එය ගැටලුවක්. එසේ වන්නේ ඔබගේ සිරුරේ පිරිමි හෝමෝනය වැඩි වීම නිසාය. ඒ නිසා පළමුවෙන්ම කළ යුත්තේ, පිරිමි හෝර්මෝනය පිළිබඳ පරීක්ෂා කර බැලීමය. මේ සඳහා ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් අනාගතයේ ගැටලු මතුවිය හැකියි. ඒ නිසා නාරිවේද පිළිබඳ වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න.

මාගේ ඩිම්බ මේරීමත් සැමියාගේ

ධාතු පිහිනීමේ හැකියාවත් අඩුයි

පවනි - කෑගල්ල

තංගල්ල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

මනෝජ් එල් පෙරේරා

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 29කි. මීට වසර දෙකකට පෙර මා විවාහ වුණි. වසර දෙකකට පසු මා ගැබ් ගැනීමකට ලක් විය. එහෙත් කලලය නාලයක පිහිටා තිබූ නිසා එය ඉවත් කිරීමට කටයුතු කළා. අනතුරුව වෛද්‍ය උපදෙස් ලැබුණේ මාස 6කට පමණ පසු දරුවකු බලාපොරොත්තුවන්න කියායි. එහෙත් එසේ බලාපොරොත්තු වුවද දරුවකු නොලැබිණි.

මේ නිසා වෛද්‍යවරයා මා ඉජචද පරීක්ෂාවකට ලක් කළේය. එහි සටහන් වූයේ මාගේ ඩිම්බ මේරීම අඩු බවත්, කුඩා ගෙඩියක් ඇති බවත්ය. ඒ අනුව ඖෂධ ලබා ගැනීමට නිර්දේශ විය. එහෙත් ප්‍රතිඵල නොමැත. අනතුරුව ස්වාමියාගේ ධාතු පරීක්ෂා කළේය. එහිදී ධාතු පිහිනා යාමේ හැකියාවෙන් තොර බව හෙළි විය. ඒ අනුව මා හට දරුවකු ලබා ගැනීමට ඇති ක්‍රමවේදය කුමක්ද යන්න පහදා දෙන්න.

පිළිතුර

ඔබගේ ගැටලුවේ පැති දෙකක් තිබෙනවා. ඔබ සඳහන් කර ඇති ආකාරයට එක පැත්තක පැලෝපීය නාලයක් ඉවත් කර තිබෙනවා. අනෙක් නාලයේ අවහිරතා තිබේද යන්න ලැපරොස් කොපි පරීක්ෂාවක් මඟින් සොයා බැලීම අත්‍යවශ්‍යයි.

අනෙක් පැතිකඩ වන්නේ ස්වාමියාගේ ධාතු පිහිනා යාමේ හැකියාව පිළිබඳ තවත් පරීක්ෂණයක් කිරීමයි. එහිදී ද ධාතු පිහිනා යාමේ හැකියාව අඩු නම් ධාතු තැන්පත් කිරීමේ ක්‍රමවේදය හරහා දරුවකු ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. ඇතැම්විට කිහිපවරක් ධාතු තැන්පත් කරන්නට සිදු වේවි. ඒ නිසා නැවත ඔබගේ වෛද්‍යවරයා හමු වී ඉදිරි ප්‍රතිකර්මවලට යොමු වීම වඩාත් වැදගත්ය.

කඩින් කඩ මුත්‍රා පිටවන්නේ ඇයි?

සමාධි - ගංගොඩවිල

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

උදය පෙතියාගොඩ

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 55කි. මෑතක සිට මාහට නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇත. මේ හේතුවෙන් රාත්‍රියට කිහිප සැරයක් මුත්‍රා කිරීමට සිදු වේ. ඇතැම් අවස්ථාවල මුත්‍රා කඩින් කඩ පිටවීම සිදු වේ. තවත් අවස්ථාවක මුත්‍රා තද කහ පැහැයෙන් යුක්තය. එසේම මුත්‍රා දැවිල්ලක් ද ඇති වේ.

ඊට අමතරව මාගේ සිරුරේ අස්ථි වේදනාවක් ද ඇති වී තිබේ. මීට වසර කිහිපයකට පෙර මුත්‍රා ආසාදනයක් ඇති වී ඖෂධ භාවිතා කළෙමි. කෙසේ වෙතත් දැනට ඇති වී තිබෙන තත්ත්වයට හේතුව කුමක්ද? කළ යුත්තේ කුමක්ද? පිළිතුරක් ලබා දෙන්න.

පිළිතුර

ඔබගේ ගැටලුව අනුව අසා තිබෙන ආකාරයට අනුව අස්ථි සහ කොන්ද ආශි‍්‍රත වේදනාවක් ඇති වී තිබෙනවා නම් ඒ පිළිබඳ පරීක්ෂා කර බැලිය යුතුයි. එය කුමන රෝගයක ලක්ණයක් දැයි නිරීක්ෂණය කිරීම ඉතා වැදගත්. ඔබගේ ඊළඟ ගැටලුව සම්බන්ධයෙන් නිවැරදිව සඳහන් කිරීමට රුධිර පරීක්ෂාවන්, මුත්‍රා පරීක්ෂාවක් කළ යුතුයි. මේ සඳහා ඉක්මන් ප්‍රතිකාර කිරීමට ඉහත සඳහන් කළ පරීක්ෂණ සිදු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට ඔබ මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමු වී උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්න

දියවැඩියාව නිසා අස්ථි වේදනා ඇති වෙනවාද?

නුවංගි - පානදුර

කායික රෝග විශේෂඥ වෛද්‍ය

ප්‍රදීප් කුමාරසිංහ

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ මවගේ වයස අවු.50කි. ඇයට දියවැඩියා රෝගය ඇති වී වසර 7ක් පමණ වෙනවා. මාගේ දකුණු අත වසරක පමණ කාලයක් පුරා උරහිසෙන් ඉහළට එසවීමට නොහැකි වී තිබෙනවා. එසේ එසවීමේදී දැඩි වේදනාවක් ඇති වනබව ඇය පවසනවා. අනතුරුව මව වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කළද එහිදී පූර්ණ සුවයක් නොලැබිණි. මේ තත්ත්වය දියවැඩියා රෝගය නිසා ඇති වූ අතුරු ආබාධයක් ද? මේ සඳහා කළ යුත්තේ කුමක්ද? ඉදිරිපත් විය යුතු වෛද්‍යවරයා කවුරුන් ද? පහදා දෙන්න.

පිළිතුර

ඔබගේ ගැටලුව අනුව පෙනී යන්නේ උරහිසේ මාංශ පේශි සම්බන්ධව ඇති වන Frozen sholder නැමැති තත්ත්වය ඇති වී ඇති බවයි. මේ සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාර කළ යුතුයි. මේ තත්ත්වය දියවැඩියා රෝගයේ අතුරු ආබාධයක් ලෙස සැලකිය නොහැකියි. ඒ නිසා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සන්ධි රෝග සම්බන්ධ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් වන්න.