මේ ආකාරයටආහාර ගත්තොත් හෘදයාබාධවලින් ඔබට ආරක්ෂා විය හැකියි

මේ ආකාරයටආහාර ගත්තොත් හෘදයාබාධවලින් ඔබට ආරක්ෂා විය හැකියි

කිරි භාවිත කළ යුතු අන්දම

වඩාත්ම සුදුසු වන්නේ මේද රහිත කිරිය. මේදය ඉවත් කර තිබුණද කිරෙහි අඩංගු ප්‍රෝටීන විටමින හා ඛනිජ මිනිසාගේ යහ පැවැත්ම සඳහා ප්‍රයෝජනවත්ය.

තේ සමඟ මිශ්‍ර කර ගන්නා විට යොදය රහිත කිරි ගැනීම සුදුසුය.

සුළු ප්‍රමාණයන්ගෙන් ඉඳහිට මුදවාපු කිරි ද යෝගට් ද යෝග්‍යය. එහෙත් මේද අඩු ආහාර වේලක් ගන්නට උපදෙස් ලබා ඇතිවිට දිනපතා ගැනිම නම් නොකළ යුතුය. සුළු ප්‍රමාණයන්ගෙන් සතියකට දෙවරක් හෝ තුන්වරක් පමණක් ගැනීම සුදුසුය.

ඔබ පාවිච්චි කරන්නේ උකු කළ කිරි නම් තේ කෝප්පයකට තේ හැඳි 3/4 ක් පමණක් යොදා ගන්න. එසේම එම පානයට තවත් අමතර සීනි එක් කිරීමෙන් ද වළකින්න.

පොල් හොඳ නැද්ද?

1. පොල් නිෂ්පාදන අතරින් වඩාත් හානිකර වන්නේ පොල්තෙල් බව සිහි තබා ගන්න. නිස්සාරණය කළ පොල්තෙල් වලින් වළකින්න.

2. පොලෙහි තෙල් අඩංගු වනුයේ පොල් මදයෙහිය. එහෙත් ගාන ලද පොලෙන් (උදා. පොල් සම්බෝල) තෙල් පහසුවෙන් අවශෝෂණය නොවේ. කවර හෙයින් ද යත් තෙල් රැඳී ඇත්තේ තද තන්තුමය රාමුවෙක බැවිනි. ඒ නිසා පොල් සම්බෝල හෝ කපාපු පොල් සුළු ප්‍රමාණයන්ගෙන් භාවිතය අගුණ නොවේ.

3. පොල් කිරි තුළ සැලකිය යුතු ප්‍රමාණයක් තෙල් අඩංගුය. පොල් මදයේ තන්තු වලින් බැහැරව ඒ තෙල ඇති බැවින් ඒ පහසුවෙන් අවශෝෂණය වෙයි. ඒ නිසා ව්‍යංජන පිළියෙල කිරීමේදී පොල් කිරි හැකි පමණ දියට සකස් කර ගැනීම යහපත්ය.

4. පිටි කළ පොල් කිරි උකු කිරි, තරමටම හානිකරය. මෙම පොල් කිරි ස්වභාවික කිරි තරමටම පහසුවෙන් අවශෝෂණය වෙයි.

පොල් භාවිතය අවම කළ යුතු අය

පොල්තෙල් වනාහි සංතෘප්ත මේදය අඩංගු තෙල් වර්ගයෙකි. සංතෘප්ත මේදය ශරීරය තුළදී කොලෙස්ටරෝල් නිෂ්පාදනය කිරීම උදෙසා යෙදවේ.

ඒ නිසා දැනට අප සතු විද්‍යාත්මක සංකල්ප අනුව නම් පහත සඳහන් පුද්ගලයන් සංතෘප්ත තෙල් භාවිතය සීමා කර ගැනීම ඔවුන්ගේම යහපතට හේතුවන බව කිව හැකිය.

1. දැනටමත් හෘදයාබාධයක් වැළඳී ඇති අය

2. රුධිරයෙහි අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් සහිත අය

3. ජන්ම උරුමයෙන් හෘදයාබාධයක් වැළැඳීමට වැඩි ප්‍රවණතාවක් සහිත අය

4. හෘදයාබාධ වැළැඳීමට භූමිකාව සකසන වෙනත් අවදානම් සාධක කිහිපයක්ම (ස්ථලතාව, දුම්පානය, ව්‍යායාම නොගැනීම අධි රුධිර පීඩනය ආදිය) සහිත අය

ඉහත කණ්ඩායම්වලට අයත් නොවන වැඩිහිටි ළමා කාහට වුත් ආහාර වේලට පොල් එකතු කර ගැනීමෙන් සම්පූර්ණයෙන් වැළැකී සිටීම අවශ්‍ය නොවේ.

යම් විටෙක ඔබ මේද ආහාර ගන්නා විට

1. බදිනවා වෙනුවට යකඩ දැලෙක ලා පුළුස්සන්න

2. තෙල් බේරී යාමට හෝ උරා ගැනීමට සලස්වන්න

3. සංතෘප්ත තෙල් හෝ අවිනිශ්චිත එළවළු තෙල් හෝ වෙනුවට බහු අසංතෘප්ත තෙල් භාවිතා කරන්න.

මාළු හදවතට ගුණයි

ගැඹුරු මුහුදෙහි වෙසෙන සමහර මාළුවන් තුළ ඔමේගා -3 මේද අම්ල නම් තෙල් වර්ගයක් අඩංගුය. මෙම අම්ල හෘද රෝගීනට හිතකර වූවෙකි.

රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර හෘදයාබාධයකින් ආරක්ෂාවීමට ඔමේගා -3 අවශ්‍යය.

1. මාළු වැඩි වැඩියෙන් ආහාරයට එක්කරගන්න

2. වඩාත්ම ප්‍රයෝජනවත් වනුයේ ගැඹුරු මුහුදේ වෙසෙන කුඩා මත්ස්‍යයන්ගේ මාංශය. උදා. සැමන්, හුරුල්ලා, සාලයා ආදිය

3. හෘදයාබාධ නිවාරණය සඳහා ප්‍රයෝජනවත් තෙල ඇත්තේ මාළුවන්ගේ මස් තුළ මිස උන්ගේ අක්මාවෙහි නොවේ. ඒ නිසා කොඩ්ලිවර් තෙල් (මෝර අක්මා තෙල්) වැඩිපුර ගැනීමෙන් ප්‍රයෝජනයක් ඇති වේ යැයි නොසිතන්න.

4. ටින්වල ඇසුරූ හෝ වියලීමට ලක් කළ මාළුවලට බොහෝවිට තෙල් හා ලුණු අඩංගු කර තිබේ. ඒ නිසා ඒවායෙහි යම්කිසි අගුණදායක බවක් තිබිය හැකිය.

අලුත් මාළු ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩි කිරීම සුදුසුයි.

ඇට / කජු වර්ග

1. ලුණු එකතු නොකළ ඇට වර්ග ආහාරයට ගන්න.

2. බොහෝ ඇට වර්ග මේද වලින් පෝෂිතය. එහෙත් මේ මේදයෙන් වැඩි ප්‍රමාණයක් අසංතෘප්ත (එනම් ප්‍රයෝජනවත් වර්ගයේ) මේද වෙයි.

වේල් අතර අතුරුපසක් ලෙස ඇට වර්ග සතියකට වරක් දෙවරක් සුළු ප්‍රමාණයන්ගෙන් ගැනීමෙහි වරදක් නැත. වැඩිපුර කෑම අගුණදායක බව සිතිය යුතුය.

3.බඩඉරිඟු වනාහි තන්තුවලින් පොහොසත්ය.

4. බොහෝ කජු වර්ගවල අහිතකර මේදය ඇතැයි සැකයක් පවතී. එබැවින් කජු ද, රටකජු ද සීමා කළ යුතුය.

තන්තුමය ආහාර

නොදියවෙන තන්තු සහිත ආහාර

1. එළවළු ලෙස ආහාරයට ගන්නා මුල් වර්ග

කැරට්, අර්තාපල්, කොහිල

2. ධාන්‍ය ද නොදියවෙන තන්තුවලින් පොහොසත්ය

එහෙයින් ආහාරය තෝරා ගැනීමේදී වඩා සුදුසු වන්නේ,

සුදු සහල් වෙනුවට රතු සහල්

නිවුඩ්ඩ රහිත ධාන්‍ය ආහාර වෙනුවට නිවුඩ්ඩ සහිත ධාන්‍ය

සුදුපාන් වෙනුවට පරළු පාන්

සුදු පාන් පිටිවලින් තැනූ ඉඳිආප්ප, ආප්ප, රොටී වෙනුවට කුරක්කන් පිටි මිශ්‍රව තැනූ ඉඳිආප්ප, ආප්ප, රොටී

රටකජු, කජු වෙනුවට බඩඉරිඟු

දියවෙන සුළු තන්තු ලබාගත හැකි ආහාර වර්ග

1. පියලි ඇට - බෝංචි සහ මෑ වර්ග දියවෙන සුළු තන්තු සුලබ ආහාර වෙයි.

2. පලතුරු - දියවෙන සුළු තන්තු වලින් පොහොසත්ය.

3. පලා වර්ග - මැල්ලුම් සෑදීමට ගන්නා සියලු පලාවර්ගවල සැලකිය යුතු තරම් දියවෙන සුළු තන්තු අන්තර්ගතය.

4. රනිල ඇට වර්ග - පරිප්පු, කව්පි, සෝයා ආදියෙහිත් ප්‍රයෝජනවත් තන්තු අඩංගුය.

නවලෝක රෝහලේ සහ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

රුවන් ඒකනායක