උණට බියේ නිතරම පැරසිටමෝල් ලබා දෙන්නේ බලාගෙනයි

උණට බියේ නිතරම පැරසිටමෝල් ලබා දෙන්නේ බලාගෙනයි

කොළඹ ජාතික රෝහලේ සහ නවලෝක රෝහලේ

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ප්‍රදීප් කුමාරසිංහ

මිනිස් දිවියේ පැවැත්මට, එහි නිසි ක්‍රියාකාරීත්වයට, සුවයට ඖෂධ ඉතා වැදගත් වූ සාධකයකි. එනම්, ඖෂධ මිනිස් ජීවිතය හා බද්ධ වී පවතින දෙයකි. නමුත් ඖෂධ වුවත් ජීවිතයට තර්ජනයක් වන අවස්ථා අපට බහුලව දැකිය හැකිය. ජීවිතය සුවපත් කරන්නට තිබෙන ඖෂධම ජීවිතයට තර්ජනයක් වන්නේ කෙසේද? වරද ඖෂධයේද? නැතිනම් වෙනත් හේතුවක් ද?

සුලබ ඖෂධයක්

මෙය කවුරුත් හොඳින් නම අසා ඇති උණ බැස්සවීමට මෙන්ම වේදනා නාශකයක් ලෙස භාවිතා කරන සුලබ ඖෂධයකි. හොඳින් දන්නා නිසාම වේවා මිනිසුන් කිසිදු චකිතයකින් තොරව ඕනෑම මොහොතක භාවිතා කිරීමට ද පෙළඹී සිටින අංක එකේ සුලබ ඖෂධයකි, මෙය.

අධි මාත්‍රාව සිරුරට විසයි

මේ අයුරින් වෛද්‍ය නිර්දේශයකින් තොරව ෆාමසියෙන්, සිල්ලර කඩයෙන් ලබා ගත හැකි පැරසිටමෝල් පමණ ඉක්මවා නැතිනම් අධි මාත්‍රාවෙන් ගැනීම හානිකර තත්ත්ව රැසක් ඇති කිරීමට සමත් වේ. එය පමණ ඉක්මවා ගැනීමෙන් උග්‍ර ලෙස විෂ ශරීරගත විය හැක.

අක්මාවට හානි විය හැකියි

මෙය සිදුවිය හැක්කේ කෙසේද? නියමිත මාත්‍රාවට අදාළව පැරසිටමෝල් ගැනීමේදී ඉන් ඇතිවන විෂ අක්‍රිය කිරීමට අක්මාවට හැකියාවක් තිබේ. නමුත් මාත්‍රාව ඉක්මවා ගියවිට මේ කාර්යය සිදු කිරීමට අක්මාවට හැකියාවක් නැත.

මේ හේතුවෙන් යම් විටෙක අක්මාව දරුණු ලෙස හානි වීමේ හැකියාවක් ඇත. තවද එමඟින් පුද්ගලයකු මරණයට පවා පත් වීමේ හැකියාවක් පවතී.

නිවැරදි මාත්‍රාවෙන් ගන්න

වඩා වැදගත් වන්නේ පැරසිටමෝල් ගන්නා කාලසීමාව නොව ලබා ගන්නා මාත්‍රාවයි. මාත්‍රාව තීරණය වන්නේ පුද්ගලයකුගේ වයස අනුව නොව බර අනුවය. ඒ නිසා නිවැරදි මාත්‍රාවෙන් වෛද්‍ය උපදෙස් අනුව පැරසිටමෝල් අවශ්‍ය අවස්ථාවලදී ලබා ගැනීම කිසිදු ගැටලුවක් නොවේ.

සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 50ක් බර පුද්ගලයකුට පෙති 2 බැගින් දිනකට තුන් වතාවක් පැරසිටමෝල් ලබාගත හැකිය. නමුත් මේ ප්‍රමාණය ඉක්ම වූ කල ගැටලුකාරී තත්ත්ව ඇති කළ හැකි වේ.

විවිධ නම් වලින් පැරසිටමෝල් ඖෂධය වෙළඳපලේ ඇති බව බොහෝදෙනෙකු නොදනී.

විශේෂයෙන්ම වෛද්‍යවරයා නිර්දේශ කරන සමහර ඖෂධවල පැරසිටමෝල් අඩංගු විය හැක. නමුත් බොහෝ රෝගීන් මෙය නොදනී.

විවිධ නම් වලින් වෙළෙඳපලෙන්

සමහර අවස්ථාවලදී වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධවලට අමතරව ද රෝගින් විසින් පැරසිටමොීල් ලබා ගැනීමට පුරදු වී සිටිති. මේ හේතුව මතද පැරසිටමෝල් අධි මාත්‍රාවෙන් ශරීරගත වියහැක. එබැවින් වෛද්‍යවරයෙකුගෙන් ඖෂධ ලබා ගැනීමේදී සැමවිටම ඒ වට්ටෝරුවේ ඇතුළත් ඖෂධ මොනවාද යන්න විමසා බැලීම ද ඉතා වැදගත්ය.

මෙසේ අප කවුරුත් හොඳින් නම අසා ඇති පැරසිටමෝල් දන්නා කියන බෙහෙතක් නිසාම හිතුමතයේ ගැනීම නොකළ යුතු දෙයකි.

වඩා වැදගත් වන්නේ අප ලබා ගන්නා කිනම් ඖෂධයක් පිළිබඳ වුව ද මනා වැටහීමක් සහිතව ලබා ගැනීමයි.

අප ගන්නා ඖෂධ මොනවා ද? ඒවා ලබා දෙන්නේ කුමන හේතුවකට ද එසේම එය අනිසි ලෙස භාවිත කිරීමෙන් අපේ ජීවිතයට විය හැකි හානි ආදිය පිළිබඳව ද අප සැලකිලිමත් විය යුතුය.

මනා වැටහීමකින් යුතුව මෙවැනි ඖෂධ භාවිත කිරීම තුළින් දිගුකාලීනව හෝ කෙටිකාලීනව අපේ ජීවිතවලට විය හැකි බරපතළ ගැටලුවලින් වැළකීමේ හැකියාව පවතී.