සිරුර සිහින් කරගන්නට කැමතිද?

සිරුර සිහින් කරගන්නට කැමතිද?

ජී. එම්. මාලා පෙරේරා

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී

ආයුර්වේද රෝහල

මීගොඩ

කොපමණ කෑම අඩු කළත් මහත් වීම අඩු නැහැ. මෙය අද බොහෝ අයට තිබෙන ගැටලුවක්. ඇයි මෙහෙම වෙන්නේ?

සිරුර සිහින් කර ගැනීමට කෑම අඩු කිරීම ප්‍රමාණවත් ද?

ස්ථුලතාවයට නිරන්තර ආහාර රටාව බොහෝවිට බලපානු ලබයි. නමුත් ගන්නා ආහාරය අප ගත යුත්තේ නිවැරදි ක්‍රමවේද අනුගමනය නොකර නම් එහි යම් ගැටලු සහගත බවක් හට ගනී. ඔබගේ උදෑසන ආහාරවේල ඔබ ගන්නේ දහවල් 12 පමණ නම් දහවල් ආහාරය ගැනීමට ඔබට නොහැකි වනු ඇත. මන්දයත් දහවල් කාලය තුළදී ඔබට බඩගින්න නොදැනෙන නමුත් රාත්‍රිය වනවිට බඩගින්න වැඩිපුර දැනෙන නිසා එහිදී ඔබ මුළු ගන්නා ආහාර ප්‍රමාණය වැඩි කරයි. එවිට දරා සිටීමට නොහැකි තරමටම ආහාර කුස තුළ රැඳෙනු ඇත. බඩගින්න නිසා අධික ප්‍රමාණයක් එකවර ආහාර ගැනීම නිසා ඒ සියල්ලම සිරුරට උරා ගනී. විශේෂයෙන් මේද කොටස්, පිෂ්ඨය වැනි කොටස් සිරුර තුළ තැන්පත් වීම සිදුවන්නේ එවිටයි. මේ තත්ත්වය ඇති වීමට විශේෂයෙන් බලපානු ලබන්නේ ආහාර සමතුලිත කරගෙන නොගැනීම නිසයි.

උදෑසන හෝ දහවල් අප ආහාර නොගන්නා විටදී සීනි පාලනය කරන්න සිරුර විසින්ම ක්‍රමයක් හදාගනු ලබයි. ලේවල සීනි පාලනය කරන්නේ ඉන්සියුලින්වලිනි. ආහාර රටාව අක්‍රමවත් වීම මත අත්‍යවශ්‍ය මේදය ලෙස වැඩිපුර සීනි රුධිරගත වේ. මේදය ලෙස තැන්පත් වීම සිරුර ස්ථුලතාවයෙන් පෙලීමට තවත් එක් හේතුවක්. තවත් කරුණක් ලෙස අප ගන්නා ආහාර ඒකාකාරී බවින් යුක්ත වීමත් හේතු වෙයි. එකම දේවල් ගැනීම නිසා ලැබෙන්නේ එකම පෝෂණයයි. එවිට ද ලැබෙන මේද කොටස් පිෂ්ඨය, ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි නම් ඒවාද සිරුරට වැඩියෙන් ලැබේ. මෙයද ස්ථුලතාවය වැඩි වීමට එය තවත් කරුණක්.

ආහාර සැකසීමේදී වැඩිපුර තෙල් භාවිතා කිරීම ද එතරම් ගුණදායක නොවනු ඇත. විවිධ ක්‍රමවේද අනුගමනය කළත් තෙල්, බටර් මාගරින්, ඔලිව් ඔයිල් වැනි දේ භාවිතා කිරීමෙන් ද සිරුරට අවශ්‍ය පෝෂණයට වඩා මේද තැන්පත් වීම් වැඩි වේ. මෙවැනි කරුණු කාරණා හමුවේ සිරුර සිහින් වීම හීනයක් වනු ඇත.

ආහාරවල විවිධත්වය

බොහෝවිට ආහාර රටාවෙව් වෙනසක් ඇති කර ගැනීම වැදගත් වන්නේ මනා සිහින් සිරුරකට උරුමකම් කියන්නටයි. ගන්නා ආහාරයේ විවිධත්වයක් තිබීම අත්‍යන්තයෙන්ම වැදගත් වෙයි. ඒකාකාරී ආහාරවේල රෝගා තුරවීමට බලපානු ලබයි. අල වර්ග වලදී අර්තාපල්වලට වඩා දේශීය අල වර්ග බොහෝ තන්තු බහුල බවින් වැඩිය. ඒ අනුව අර්තාපල් පමණක් එක දිගට පරිභෝජනය නොකර දේශීය වෙනත් අල වර්ග ද ආහාරයට එකතු කර ගැනීම තුළින් ආහාරවල විවිධත්වයක් ඇති වේ. ඒ වගේම පෝෂණයේ ද වෙනසක් ඇති කරයි. එළවළු වර්ග වුවත් සැමදා එම වර්ගයෙන් භාවිතා නොකර කරවිල, පතෝල, වැටකොලු, පිපිඤ්ඤා, කැකිරි, බණ්ඩක්කා, තිබ්බටු, තලන බටු ආදී විවිධත්වයක් ගෙන දෙන එළවළු ප්‍රයෝජනයට ගැනීම නිසාද සිරුරට ලැබෙන එකම පෝෂණය වෙනුවට විවිධත්වයකින් ලැබීම සිරුරේ මේදය පිෂ්ඨය, ප්‍රෝටීන් වැනි දේ නැති කරවීමක් අධික ලෙස සිදු නොවේ. පලා වර්ග ලෙස කංකුං, මුකුණුවැන්න, තම්පලා, ගොටුකොළ, කතුරුමුරුංගා, තෙබු, කිරි අගුණ, තිත්ත අගුණ, මැල්ලුමක් හෝ ව්‍යංජනයක් ලෙස ගත හැකියි. මින් එකම පලාවක් එක දිගට භාවිතයට නොගෙන විවිධ අයුරින් දිනෙන් දින භාවිතයට ගත හැකි වීම තුළින් සිරුරට ලැබෙන මනා පෝෂණය නිසා ශරීරය දුර්වල වීම අඩාල වී යයි.

කෙඳි සහිත ආහාර

බඩවැල්වල ක්‍රියාකාරී වීම නියමාකාරයෙන් සිදු වීමට නම් හොඳින් කෙඳි සහිත ආහාර වර්ග ගත යුතුයි. මෙහිදී කොහිලවල හොඳින් තන්තු ඇති මුත් ඒවා blend කර කැඳ ලෙස ගැනීමේදී ඔබට ලැබෙන මනා පෝෂණයක් නොලැබී යනු ඇත. මන්දයත් blend කිරීමේදී එහි ඇති තන්තු සහ පෝෂණ ද්‍රව්‍ය හොඳටම වෙන් වී ඉවත් වීමයි. මේ අනුව අප ගන්නා ඕනෑම ආහාරයක් සූදානම් කරද්දී අපේ පැරැන්නෝ කළ ආකාරයට කොටා හෝ ගලේ අඹරා ගැනීමෙන් නියම පෝෂණය සිරුරට ලබාදිය හැකියි.

කුරක්කන්

කුරක්කන් අහාරයක් ලෙස මනා සිහින් සිරුරක් ලබා දීමට ගන්නා ආහාරයකි. නමුත් අද වෙළඳපලේ ඇති කුරක්කන් (පවුඩර්) පිටිවල තන්තු අඩංගු නොවීම නිසා එහි පවතින ගුණය හීන වී ඇත. කුරක්කන්වල පවතින අංශුවල විශාලත්වය මත රළු ගතියකින් යුක්ත වේ. අංශුවල යම්කිසි විශාලත්වයක් කුරක්කන් කෙටීමේදී පවතින අතර blend කිරීමේදී එය විසිරී යයි. එවිට පවතින තන්තු බිඳී ගොස් පිටි බවට පත් වී නිසරු භාවයක් ඇති කරයි. පැරණි ක්‍රමවේදයම අනුගමනය කිරිමෙන් නැවත එම පිටිවල රළු අංශු සහිත කොටස් සමඟ ආහාරයට ගැනීමෙන් මනා පෝෂණයක් සිරුරට ලබා ගත හැකියි.

ලබාගත යුතු ආහාර වර්ග

විවිධ පලා වර්ග, දේශීය අල වර්ග වඩාත් සුදුසු ආහාර අතර ඇත. මෙහිදී තැල් කොළ මැල්ලුම, අල කොළ මාළුව, කිරි අගුණ මැල්ලුම, තිත්ත අගුණ මැල්ලුම, තෙබු සම්බෝලය, වැට මඤ්ඤොක්කා මැල්ලුම, මඤ්ඤොක්කා මැල්ලුම, හීන් බෝවිටියා, තෝර කොළ මැල්ලුම, ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං, ජපන් බටුකොළ, කැරෑ කොකු, මඩු දළු, කොහිල දළු, කැබැල්ල දළු මාළුව ආදිය විවිධත්වයකින් අපට ආහාර ලෙස ලබා ගත හැකියි. මේවා ගැනීමේදී කැඳ, සුප් වර්ග ලෙස ද සාදාගත හැකියි. දේශීය අලවර්ගවල පිෂ්ඨය හා අර්තාපල්වල මෙන් අඩංගු නැත. එබැවින්, හිඟුරල, රාජා අල, කුකුළල, කටු අල, ආටි චොක්, කිරි අල, බතල, මඤ්ඤොක්කා, වැනි දේශීය අල වර්ග සුදුසු ආහාර වේ. බතල වල සීනි ගතිය තිබුණාට අනුභව කිරීමෙන් අපේ සිරුරේ සීනි වැඩිවන්නේ නැත. එසේම බතලවල තන්තු හොඳින්ම ඇත. “බතල නෑඹිලියක් කෑවම නෑඹිලි 7ක් මලපහ වේ යැයි කියමන් එදා පැරැන්නෝ කිව්වේ ඒ ගුණ දන්නා නිසයි.

ප්‍රධාන ආහාරය බතයි

දිග ඇට සහිත සහල් සිරුරට අතිශයින්ම සුදුසු වේ. ඒවායේ තන්තු බොහෝ ඇත. එසේ බාස්මතී සහල්වල ද සම්පූර්ණ ගුණය ඇත. සියළුම දේශීය සහල් වර්ග සුදුසු බව කිව යුතුයි. ඒවා දිරවීමට පහසු කරයි. අද වෙළඳපොලේ දක්නට ලැබෙන ඉහත දැක්වූ සහල්වලට අමතරව පවතින සමහර සම්බා වර්ග සිරුර මහත් කරනවා විනා සිහිනි කරන්නේ නැත.

ධාන්‍ය වර්ග

සියලුම ධාන්‍ය වර්ග ගුණදායක වේ. රතුපාට බෝංචි ඇට, කවුපි, මුං, මෙනේරි, තල, පරිප්පු වැනි ඇට වර්ගවලට සිරුර මහත් කරන්නේ නැත. මේවා පරිභෝජනයේදී විවිධත්වයක් ගැනීම සුදුසු බව සලකන්න.;