Appendix හඳුනාගන්නේ කොහොමද?

Appendix හඳුනාගන්නේ කොහොමද?

ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය

මන්දික විජේරත්න

උණ්ඩුකපුච්ඡය මිනිස් සිරුරේ ඇති අවයවයකි. එහෙත් එය මිනිසාට වැදගත් වන්නේ ද? එකී අවයවය ආසාදනය වුවහොත් සිදු වන්නේ කුමක් ද? යන්න පිළිබඳ ජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍යය. එයට හේතුව වන්නේ මෑත ඉතිහාසයේ මේ අවයවය ආසාදනය වීම හේතුවෙන්, සැත්කම් මඟින් ඉවත් කිරීමේ ප්‍රවණතාවය ඉහළ යාම නිසයි. ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මන්දික විජේරත්න මහතා ගේ අදහස්වලට අනුව උණ්ඩුකපුච්ඡය ආසාදනය වීම මිනිසාගේ දෛනික කටයුතු අඩපණ වීමට හේතුවකි. එසේම වේදනාව ඇතිවීම නිසා රෝගීන් අසහනයට ලක් වීමට ද බලපාන ප්‍රබල කරුණකි.

සෑම මිනිසකුම හිමිකම් කියන උණ්ඩුකපුච්ඡය පිහිටා ඇත්තේ බඩවැළෙන් එළියට වන්නට ය. එහි පිහිටීම අනුව ඇතුළත කුහරයකි. එහි බිත්තියේ ඉදිමුමක් නිසා හෝ වෛරස් ආසාදනයක් නිසා අවහිරවීමකට ලක් විය හැකිය. එවන් අවස්ථාවක ඇතුළතින් පැසවීමකට ලක් වේ. බිත්තියේ ඇතුළත රුධිර සෛල ඉදිමීමට බලපාන තවත් හේතුවක් වන්නේ අසූචි වැනි දෑ එකතුවීමය. වයස්ගත වූ පුද්ගලයන්ගේ බඩවැළේ පිළිකා තත්ත්වයන් නිසා ද මෙය මෙය අවහිරවීමේ අවස්ථා දක්නට ලැබේ.

ආසාදිත උණ්ඩුකපුච්ඡයක් හිමි යම් පුද්ගලයකුගෙන් උදරයේ ඇතිවන වේදනාව, කෑම අරුචිය, වමනය, උණ වැනි රෝග ලක්ෂණ දක්නට ලැබේ. මෙකී ආසාදිත තත්ත්වයේ දී අසාමාන්‍ය ලෙස පැන නඟින උදරයේ වේදනාවක් ඇත. එය ඇති වූ විගස එකී පුද්ගලයාට වුව නිගමනය කළ හැකි වන්නේ, මෙය අසාමාන්‍ය වේදනාවක් ලෙස ය. ප්‍රථමයෙන් වේදනාව උදරයේ මැද පෙදෙසට වන්නට ඇති වේ. ඉන් පසු ක්‍රමයෙන් දකුණු පසට වේදනාව විතැන් වීම නිරීක්ෂණය කළ හැකිය.

මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන රෝගියකු පරීක්ෂා කිරීමේ දී වෛද්‍යවරයා දැඩි සේ සැලකිලිමත් වන්නේ රෝග ලක්ෂණ සහ රෝගියා පවසන කරුණු කාරණා පිළිබඳව ය. කිසිසේත් යම් රෝගියෙකුගේ උණ්ඩුකපුච්ඡය ආසාදිත යැයි 100%ක නිගමනයක් ගත නොහැකිය. නමුත් රෝගියා රුධිර පරීක්ෂාවන්ට ද ලක් කිරීම මෙහි දී අවශ්‍ය වේ. කෙසේ නමුත් යම් රෝගියෙක් මෙකී ලක්ෂණ ප්‍රකාශ කිරීමේ දී මතුවන ගැටලුවක් වන්නේ, තවත් රෝග ගණනාවකට මෙවැනි ලක්ෂණ මතුවීමේ ඉඩකඩක් තිබීමය. ඒ අනුව ගත් කල දකුණු වකුගඩුවේ ආසාදිත තත්ත්වයක් නිසා යටිබඩේ වේදනාවක් ඇති වීම, වෘෂණ කෝෂ ආශ්‍රිත යම් යම් ආබාධ, කාන්තාවන්ගේ පැලෝපීය නාලයේ ගැබ් ගැනීම් වැනි අවස්ථා දක්නට ලැබේ.

කෙසේ හෝ මෙවැනි ලක්ෂණ සහිත රෝගියෙකු පරීක්ෂා කිරීමේ දී ඉහත කී කාරණා සියල්ල පිළිබඳ සැලකිලිමත් වීම අවශ්‍යයි. ඒ අනුව මුත්‍රා පරීක්ෂාව, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව වැනි පරීක්ෂාවන් සිදු කිරීමට සිදු වේ. ස්ථිර වශයෙන් උණ්ඩුකපුච්ඡය ආසාදනය වී ඇතැයි නිගමනය කළ හැකි අවස්ථාවල සැත්කමක් මාර්ගයෙන් එය ඉවත් කළ හැකියි. ඇතැම් අවස්ථාවල ප්‍රතිජීවක ඖෂධ ලබා දීමක් ද සිදු කෙරේ. ආසාදිත තත්ත්වය උග්‍ර වී ඇති අවස්ථාවක සැත්කමකට භාජනය නොකර ඖෂධ ලබා දීම පමණක් සිදුකරයි.

කලාතුරකින් උණ්ඩුකපුච්ඡය පුපුරා යාමේ අවදානම් තත්ත්වයන් ද දැකගත හැකිය. එවන් අවස්ථාවල හෘදය වස්තුවට, වකුගඩුවලට හා පෙනහලුවලට විෂබීජ ඇතුළු වී ආසාදිත තත්ත්වයක් මතුවීමේ අවදානම් තත්ත්වයක් ඇති වේ. ඇතැම් රෝගීන්ගේ මෙකී රෝග තත්ත්වය යැයි සලකා ප්‍රතිකාර කළ ද වෙනත් කාරණයක් නිසා මතු වූ වේදනාවක් විය හැකි අවස්ථා තිබේ. එනිසා අවශ්‍ය වන්නේ රෝගියා විසින් රෝග ලක්ෂණ පිළිබඳ වෛද්‍යවරයා නිරීක්ෂණයේ දී සත්‍ය වශයෙන් කරුණු පහදා දීමය. එවිට වෛද්‍යවරයාට රෝගියා පිළිබඳ ස්ථිර නිගමනයකට පැමිණීමේ අවකාශ ඇත.