ඔබ භාවිතා කරන කණ්ණාඩිවල මෙවැනි විශේෂත්වයක් තිබේදැයි බලන්න

ඔබ භාවිතා කරන කණ්ණාඩිවල මෙවැනි විශේෂත්වයක් තිබේදැයි බලන්න

මිහිර වික්‍රමාරච්චි

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි

ශ්‍රවණ සහ කථන පුහුණු ආයතනය

ඇස් කණ්ණාඩි පිළිබඳ කතාබහ කරන විට එහි විවිධ කොටස් පිළිබඳව වෙන් වශයෙන් අවධානයක් යොමුකළ හැකි වේ. මෙම කොටස් අතර කණ්ණාඩියේ ස්වභාවය, කණ්ණාඩි රාමුව ආදී බොහෝ දේ පිළිබඳව කතාබහ කළ හැකියි.

සාමාන්‍යයෙන් කණ්ණාඩියක් ඇස්වල පවතින, යම් දුර්වලතාවක් මඟහරවා ගැනීම සඳහා භාවිතා කරනු ලබන අතර ඇතැම්විට ඒවා විලාසිතා සඳහා ද බොහෝදෙනෙක් භාවිතා කරනු ලබයි. මේ ක්ෂේත්‍රයේ නිපදවෙන ඇස් කණ්ණාඩි නවීන තාක්ෂණයත් සමඟ අලුත්ම ක්‍රමවේද සමඟ මුසුව වඩ වඩා පුද්ගලයාගේ පහසුව පිණිසම නිපදවා ඇත.

මෙසේ නවතම කණ්ණාඩිවල නිපදවා ඇති කාචවල ආලේපකර පවතින ආවරණ ආලේපන නිසා ඒවා මඟින් ආලෝක ධාරා පරාවර්තනය කිරීමේ හැකියාවක් පවතිනවා. මෙහි බැලූ බැල්මට දිලිසීමක් දැක ගැනීමට නොහැකි අතර ඝනකමින් අඩු වීම ද තවත් විශේෂත්වයකි. මෙය Anti Reflective coating ලෙසින් හැඳින්වෙන අතර ඕනෑම කණ්ණාඩියක් සඳහා මෙසේ ලබා ගැනීමේ හැකියාවක් ද පවතිනවා.

මේ වනවිට වෙළඳපළට පැමිණ තිබෙන ඇතැම් කණ්ණාඩි සඳහා පොලිකාබනේට් භාවිතා කරන නිසා එහි වීදුරුව කැඩීමේ ස්වභාවය ඉතා අඩු වේ. ඒ වගේම මෙම අමු ද්‍රව්‍යයෙන් නිපැයූ කණ්ණාඩි බොහෝ ගුණාංගවලින් යුක්ත වේ. ඒවා ඉතා දැඩි ශක්තිමත් භාවයකින් යුක්ත වන අතර සීරීමෙන් හා එය ඉතා හොඳ හැඩයකින් ද යුක්ත වෙනවා. මෙම උසස් ගුණයෙන් යුතු කාච භාවිතා කරන නිසා ඇතැම් සන්ග්ලාසස් වර්ග ද ඉතා වැඩි මිලකින් යුතු වේ.

ඒ වගේම වාෂ්පය නොරැඳෙන තෙතමනය නොරැඳෙන ගුණයෙන් යුතු වේ. එසේ නොවුණ හොත් වායු සමීකරණය කරන ලද වාහනයක ගමන් කරනවා නම් හෝ වයසට ගිය පුද්ගලයෙක් නම් ඔබගේ කණ්ණාඩිය වාෂ්පයෙන් වැසී ගියොත් එය විශාල ගැටලුවක් බවට පත්විය හැකියි. මීට අමතරව ඇතැම් කණ්ණාඩි වර්ග විවිධ වර්ණයන්ගෙන් මිලදී ගැනීමේ හැකියාවක් පවතින අතර විිවිධ අවශ්‍යතාවන් අනුව විවිධ ආකාරයට තෝරා ගත හැකියි. ඒ වගේම විශේෂයෙන් ක්‍රීඩාවලදී මෙවැනි කාච වර්ග බහුලව භාවිතා වේ. උදාහරණයක් ලෙස ඉලක්කයට වෙඩි තැබීම වැනි ක්‍රීඩා ඉසව්වකදී අදාළ ක්‍රීඩකයාට නිශ්චිත ඉලක්කයක් කරා යාම සිදුවිය හැකි අතර ඔවුන්ට පුළුල් පරාසයක් නැරඹීමට අවශ්‍යතාවක් නොමැති වේ. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා විවිධ ආලේපණ වලින් යුතු කණ්ණාඩි පළඳින අතර ඒවායේ ආලෝකය පරාවර්තනය කිරීමේ හැකියාවකින් යුක්තයි.

එමඟින් දැඩි ආලෝකයක් යටතේ වුවත් තමාට අවශ්‍ය ඉලක්කය නිවැරදිව බලා ගැනීමේ හැකියාවක් ඇත. කණ්ණාඩියක රාමුවක් එහි වීදුරුව මෙන් විවිධ අමුද්‍රව්‍ය භාවිතා කර නිපදවිය හැකි අතර ඒවා මිලෙන් ද අධික වේ. එසේ භාවිතා වන අමු ද්‍රව්‍ය අතර ටයිටේනියම්, රත්තරන් ආදී මිලෙන් අධික ලෝහ ද භාවිතා වේ. මෙම කණ්ණාඩි රාමු සඳහා යොදා ගන්නා විිවිධ ලෝහ, ආලේපන ද්‍රව්‍ය භාවිතා වන අතර නිකල් රහිත ලෝහද විශේෂයෙන් භාවිතා කරනු ලබනවා. ඒ වගේම කණ්ණාඩි රාමු සඳහා යොදා ගන්නා එම අමුද්‍රව්‍ය අසාත්මිකතා නොමැති වන ආකාරයට නිපදවීමද තවත් විශේෂිත වේ. ඒ වගේම රත්තරන් සහ ටයිටේනියම් ලෝහ මේ සඳහා භාවිතා කළ ද ඒවා ඉතා කලාතුරකින් යොදාගනු ලැබේ. ඊට හේතුව රත්තරන් බරෙන් වැඩි ලෝහයක් වීමත් ටයිටේනියම් කැඩෙන ස්වභාවයකින් යුක්ත වීමත් මීට හේතු වේ. පෙර සඳහන් කරන ලද නිකල්වලින් තොර ලෝහවලින් නිපැයූ කණ්ණාඩි රාමු ඉතා ඉහළ මිලකින් යුතු වේ. මීට අමතරව ප්ලාස්ටික් සඳහා බොහෝදුරට ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනු ලැබේ.

එසේ ශාකවල පවතින කෙඳි වැනි අමු ද්‍රව්‍යය ප්ලාස්ටික් සමඟ මිශ්‍රකර විවිධ සැරසිලි නැත්නම් රටාවන්ගෙන් යුතු කණ්ණාඩි රාමු නිපදවේ. මේ හේතුව නිසා මෙම ප්ලාස්ටික් රාමු ආසාත්මිකතා ඇති කරවීමේ අඩු ප්‍රවණතාවක් ඇති කරවයි.