වෛද්‍ය ගැටලු

ඔබේ ගැටලු අප වෙත එවන්න (වෛද්‍ය ගැටලු, ආරෝග්‍යා, ලේක්හවුස්, කොළඹ 10)

විරුද්ධ ලිංගිකයන් පිළිබඳ කිසිදු හැඟීමක් නැහැ

මාතර - මධුෂාන්

ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ආරියසේන යූ. ගමගේ

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 30කි. මා විවාහ වී දැනට වසර 3ක් පමණ වෙනවා. මා විවාහ වුව ද ටික කාලයක සිට ලිංගික බෙලහීනතාවය ඇති වී තිබෙනවා. එසේම විරුද්ධ ලිංගිකයන් පිළිබඳ කිසිදු හැඟීමක් ඇති වන්නේ ද නැහැ.

මෙය මාගේ මානසිකත්වයට ප්‍රබල බලපෑමක් එල්ල කරන අතර පුද්ගලික ජීවිතයේ ගැටලු රැසක් ද ඇති වී තිබෙනවා. මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් වීමට ද කැමැත්තක් නැත. එනිසා මා කළ යුත්තේ කුමක්දැයි පැහැදිලි කර දෙන්න.

පිළිතුර - ඔබ ගැටලුව ඉදිරිපත් කරන ආකාරයට සම්පූර්ණයෙන් විරුද්ධ ලිංගිකයන් කෙරේ කැමැත්තක් ඇති නොවන්නේ නම් ඒ හරහා සමලිංගිකයන් කෙරේ කැමැත්තක් ඇති වන්නේ ද යන්න විමසිලිමත් විය යුතුයි. එසේ වන්නේ නම් මෙය සාමාන්‍ය සිදුවීමක් ද විය හැකිය.

එසේම මීට පෙර ලිංගික කටයුතු සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වූයේ නොමැති නම් වර්තමානයේ ඇති වූ තත්ත්වයක් නම් එය පුද්ගලික කාරණයක් නිසා ඇති වූවක් සේ නිගමනය කළ හැකිය. ඒ සඳහා ප්‍රතිකාර කළ හැකියි.

ඔබ පවසන ලිංගික බෙලහීනතාවය කුමක් ද යන්න සොයා බැලීම අත්‍යවශ්‍යයි. ලිංගික බෙලහීනතාවය ඇති වී තිබෙන්නේ නම් ඒ සඳහා බලපාන හේතු කාරණා කිහිපයක් තිබෙන්නට පුළුවන්. එනිසා ඒ තත්ත්වයන් නිරීක්ෂණය කර ප්‍රතිකාර කළ යුතුයි. එනිසා ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වී උපදෙස් පැතීම සුදුසුයි.

මාස 5ක් පුරා ඔසප් වීම සිදුවුණේ නැහැ

දෙහිවල - පියුමි

ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය

හේමන්ත දොඩම්පහළ

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 21කි. වැඩි වියට පත් වී දැනට වසර 6ක් පමණ වෙනවා. වැඩි වියට පත් වී දින 15ක් ගත වූ පසු ආර්තවය ආරම්භ වුණා. ඒ ආකාරයට මාස දෙකක් එක් මාසයකට දෙවරක් ආර්තවය ඇති වුණා.

අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වුණා. ඖෂධ ලබා ගැනීමෙන් පසු ආර්තවය නිවැරැදි වී මසකට එක්වරක් ඇති වුණා. මාගේ ශරීරයේ බර කිලෝග්‍රෑම් 40ක්ව තිබුණත් එය දැන් කිලෝග්‍රෑම් 30ක් බවට පත් වෙලා. ආර්තවය ඇති නොවන අවස්ථාවල ශරීරයට දැඩි අපහසුතාවයක් ඇති වේ. දැනට මාස 5ක පමණ සිට ආර්තවය සිදු නොවේ.

මේ තත්ත්වය රෝගයක් ද ඒ සඳහා ඖෂධ ලබාගත යුතු ද? මෙය ශරීර සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ද යන්න පහදා දෙන්න.

පිළිතුර - ඔබ දක්වා ඇති කරුණු අනුව ආර්තවය ඇති නොවීම ඔබ වැනි අයට යහපත් තත්ත්වයකි. ඔබගේ ශරීරයේ බර අඩු වීමත්, අඩු රුධිර පරිමාවක් තිබීමත් නිසා ආර්තවය ඇති නොවී තිබීම යහපත් යැයි නිර්දේශ කළ හැකියි. එය ඔබට ඇතිවන ස්වභාවික ආරක්ෂාවක් ලෙස දක්නට පුළුවන් තත්ත්වයක්.

කෙසේ වෙතත් ආර්තවය ඇතිවිය යුතුම යැයි සිතීම ද වැරැදි මතයක්. ඔබගේ අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂා කළ යුතුයි. ඒ සඳහා ළඟම ඇති රෝහලකට ගොස් පරීක්ෂා කර ගැනීම වැදගත්.

එසේම ඔබගේ බර හා හෝර්මෝන යථා තත්ත්වයට පත් වූ විට ආර්තවය නිසි පරිදි සිදු වේ. එනිසා ඒ පිළිබඳ අනියත බියක් ඇති නොකරගත යුතුයි.

රෑට මහ හඬින් ගොරවනවා

කඳාන - සුරේෂ්

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

තිලක් ජයලත්

ගැටලුව

වෛද්‍යතුමනි, මා 33 හැවිරිදි විවාහක පුද්ගලයෙක්මි. මා හට නින්ද ගිය පසු ටික වේලාවකින් මහ හ¾ඩකින් ගෙරවීමක් සිදු වේ. එසේම මා පැය 6ක් පමණ එක දිගට නිදා ගන්නා අයෙකි.

මාගේ උස අඩි 5යි අඟල් 4කි. ශරීරයේ බර කිලෝග්‍රෑම් 80කි. මාස 4කට පමණ වරක් රුධිර පරිත්‍යාග කරන්නෙමි. කෙසේ වෙතත් ගෙරවීමේ තත්ත්වය මානසික අසහනයට හේතුවක් වී තිබේ. එසේ වන්නේ රෝගයක් නිසා ද? මේ සඳහා කළ යුත්තේ කුමක් ද?

පිළිතුර - අසාමාන්‍ය ලෙස ගෙරවීමක් ඇත්නම් එය රෝගී තත්ත්වයක්. එය ඵතඥඥන චදඥථඪච තත්ත්වයයි. තරබාරු පුද්ගලයන්ට වැඩිපුර මෙවැනි රෝග ඇති වීමේ ඉඩකඩක් තිබෙනවා. එය රෝගී පුද්ගලයාට නොදැනුවත්වම ඇතිවන දෙයකි. කෙසේ වෙතත් පසු කාලීනව වෙනත් රෝග සඳහා ද මෙවැනි ගෙරවීමේ තත්ත්ව බලපාන්න පුළුවන්.

මේ තත්ත්වය සොයා බැලීම සඳහා පරීක්ෂණ කිහිපක් තිබෙනවා. ඒ අනුව යම් රෝගී තත්ත්වයක් ද සාමාන්‍ය තත්ත්වයක් ද යන්න පැවැසිය හැකියි. එනිසා ඊඑන්ටී, ස්වසන රෝග හෝ කායික රෝග වෛද්‍යවරයා හමු වී පරීක්ෂා කර අවශ්‍ය වුවොත් ප්‍රතිකාර ලබා ගන්න.

මල මාර්ගයෙන් රුධිරය පිටවෙනවා

කළුතර - චන්ද්‍රානි

ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

රනිල් ජයසේන

ගැටලුව - ආන්ත්‍රික

වෛද්‍යතුමනි, මා දරුවන් දෙදෙනකුගේ මවක් වන අතර වයස අවු. 46කි. මා හට කුඩා කල සිට වරින් වර ඇතිවන රෝගී තත්ත්වයක් තිබෙනවා. ඒ සඳහා කිසි දිනක ප්‍රතිකාර වෙත යොමු වී නොමැත.

ඇතැම් කාලවලදී මාගේ උදරයේ වාතය පිරී ඇති බවක් දැනෙනවා. එවිට උදරයේ එක් එක් ශබ්ද නැඟේ. එහෙත් වේදනාවක් නොමැත. සුළු අපහසුතාවයක් පමණක් ඇති වේ.

වැසිකිළි යාමේ දී ද විශාල ශබ්ද ඇති වේ. ඒ අතරතුර මල මාර්යෙන් රුධිරය ද පිට වේ. මේ රෝගී තත්ත්වය ඇති වූ පසු මාස කිහිපයක් තිබී සුව වී යයි. මෙය කුමන රෝගී තත්ත්වයක් ද?

පිළිතුර - මහ බඩ වැළේ පේශි අධික ලෙස සංකෝචනය වීමේ තත්ත්වයක් ලෙස ඔබ අසන ලද ගැටලුව අනුව පැහැදිලියි. මෙය බැක්ටීරියා මඟින් වාතය ඇතිකර උදරය පුරවා දැමීමක් ලෙස දැනෙන අවස්ථාවකි. පේශි තද වූ පසු බඩ පුරවා දැමීමත් එය නිදහස් වු පසු මල මාර්ගයෙන් රුධිරය පිටවීමක් සිදුවිය හැකියි. මේ තත්ත්වයන් සඳහා ඖෂධ තිබෙනවා. එනිසා අවශ්‍ය වන්නේ පරීක්ෂාකර ප්‍රතිකාර ලබා දීමයි. බඩවැල් ආරක්ෂාකරන ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතු නිසා වෛද්‍ය පරීක්ෂාවකට ලක් වන්න.

ෆෝලික් අම්ලය ලබා ගත යුත්තේ විවාහයට පෙරද?

අලව්ව - සුමේධා

ප්‍රසව හා නාරිවේද පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

ඉන්දු අසංක ජයවර්ධන

ගැටලුව

වෛද්‍යතුමනි, මා වයස අවු. 30ක විවාහක අයෙක්මි. විවාහ වී දැනට මාස අටක් පමණ ගත වී තිබේ. මා දරුවකු අපේක්ෂාවෙන් ද සිටිමි.

දරුවකු බලාපොරොත්තු වීමේ දි ෆෝලික් අම්ලය ලබා ගත යුත්තේ කෙසේ ද? එය ලබාගත යුතු කාල සීමාව කුමක් ද? යන කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර - ෆෝලික් අම්ලය ලබා ගත යුත්තේ එය ශරීරයට අවශ්‍ය විටමීනයක් ලෙස ය. කෙසේ වෙතත් සාමාන්‍ය ආහාර වේලක් සමඟින් ෆෝලික් අම්ලය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙත් එම ප්‍රමාණය ප්‍රමාණවත් නොවන අවධිවල දී පිටතින් ෆෝලික් අම්ලය ලබා දීමට කටයුතු කරනවා.

එවන් අවස්ථාවක් ලෙස ගර්භණීත්ව සමයේ දී එය ලබා දීම සිදු කරනවා. ගැබ් ගැනීමකට මාස 3කට පෙරත් ගැබ්ගෙන මාස 3ක් ගතවන තුරුත් ෆෝලික් අම්ලය ලබා දීමට නිර්දේශ කරන්නේ උපදින දරුවාට කිසිදු ආබාධයක් ඇති නොවීමේ අරමුණින් ය. මෙය ලබා ගැනීමේ දී දිනපතා දිනකට මි.ග්‍රෑ 1ක පෙත්තක් ලබා ගත යුතුය.