Health Hints

Tooth pick වලින් දත් හාරන්න නම් එපා

මහරගම රජයේ දන්තායතනයේ දන්ත සංරක්ෂණ විශේෂඥ වෛද්‍ය

අසංග ගුණතිලක

ඇතැම් අයගේ දන්තීනය එතරම් සංවේදී නැහැ. එවැනි අයට දත්වල කුහරයක් ඇති වුණොත් දැනීම අඩුයි. එවිට නොදැනුවත්වම දත දිරායන තෙක් දැනෙන්නේ නැහැ. ඇතැමුන්ගේ දත් දිරා යාමේ ප්‍රවනතාවය ඉක්මන් නම් ශීඝ්‍රයෙන් දත දිරයෑමට පටන් ගන්නවා. ඒ වගේම නිසි ආකාරයෙන් දත් මදින්නේ නැත්නම් මේ තත්ත්වය උදා වීමට තවත් හේතුවක්. ඊළඟ තත්ත්වය දතේ කුහරයක් ආ විට හරියාකාරව ශුද්ධ නොකර පිරවීම පමා කළොත් ඉක්මණින්ම දත දිරා යෑමට ඉඩකඩ තිබෙනවා.

දත්වල කුහර ඇති වීමට දිරා යෑම වළක්වා ගැනීමට නම් දත් නිසි ආකාරයට මැදීම. දත්වල සිර වූ ආහාර ඉවත් කිරීම නිතරම Tooth Pick  භාවිතා නොකිරීම, මාස 6කට වරක් දන්ත වෛද්‍යවරයෙකු වෙත ගොස් දත් පරීක්ෂා කර බැලීම. විශේෂයෙන් වයස්ගත වූ රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ Risk Groop එකේ සිටින උදවිය මාස 3 කට වරක්වත් දන්ත ශල්‍ය වෛද්‍යවරයා මුණගැසීමට යාම.

මේ ක්‍රම අනුගමනය කිරීමෙන් බොහෝවිට දත් දිරායාම සහ දත් කුහරවලින් වැළකී සිටීමට ඔබට පුළුවන.

කලාඳුරු තියෙනවා නම් සෞඛ්‍ය සම්පන්න කනක්

කෝට්ටේ ජයවර්ධනපුර මහ රෝහලේ උගුර කන, නාසය පිළිබඳ විශේෂඥ
ශල්‍ය වෛද්‍ය අසෝක ජයසේන

කලාඳුරු සෑදීම අපගේ කන තුළ ක්‍රියාත්මක වන ස්වභාවික ක්‍රියාවලියක්. එය රෝගයක්වත් අනවශ්‍ය දෙයක්වත් නොවේ. යම්කෙනෙක් කන ශුද්ධ කිරීමට යාමේදී කලාඳුරු අතුළතට තල්ලු වන්නට පුළුවන්. එය ප්‍රශ්නකාරී තත්ත්වයක්. කනේ කලාඳුරු තිබේ නම් එය සෞඛ්‍ය සම්පන්න කනක්. යම් කනක කලාඳුරු නොතිබේ නම් එය සෞඛ්‍ය සම්පන්න කනක් වන්නේ නැහැ. කලාඳුරු සහිත කනකට කුඹියෙක්, කෘමියෙක් ඇතුªල් වූණොත් සතාට ඇතුළට යන්නට බැහැ කලාඳුරු නිසා. එලෙසම කනට වතුර ගියොත් වතුර උරා ගන්නවා. කලාඳුරු නොමැති කනකට සතෙකුට කන්බෙරය දක්වා ගමන් කළ හැකියි. සතා කන් බෙරේ සපනවා. කන් බෙරය උඩ ඇවිදිනවා. විශේෂයෙන්ම මව්වරුන් තම සිඟිති දරුවාගේ කන Cotten bud එකකින් ශුද්ධ කරනවා. එවිට කනට විෂබීජ ගමන් කර කන් කුහරය සැරව පිරී හානි සිදු වෙනවා. මෙවැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට නම් කන ඇතුළට කිසිවක් දැමීමෙන් වැළකිය යුතුයි. කන් කැක්කුම ඇති වන්නට තවත් ක්‍රමයක් වන්නේ මැද කනේ ආසාදනයයි. මෙම රෝගය නිසා බෙහෙවින් දුක් විඳින්නේ කුඩා දරුවෝ. කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන දරුවෙක් රාත්‍රියේදී නිදා ගැනීමට ගොස් රාත්‍රියේ කනේ කැක්කුම බව පවසමින් හඬනවා නම් එය මැද කනේ ආසාදනයක්.

Liver එක damage ද?

ජාතික රෝහලේ සහ නවලෝක රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ප්‍රදීප් කුමාරසිංහ

අක්මාවේ සිදු කෙරෙන කාර්යභාරයන් නිසි ආකාරයෙන් ඉටුවන්නේ නැතිනම් එය අක්මාව රෝගී වී ඇති බව පැවසෙන තවත් ඉඟියක්. මෙහිදී මතුවන රෝග ලක්ෂණ ලෙස උදරය මහත් වීම, උදරය පිම්බීම, බඩ පිපීම වැනි තත්ත්වයන් සඳහන් කළ හැකිය. එවැනි අවස්ථාවන් සාමාන්‍යයෙන් ඇතිවන්නේ උදර කුහරයේ දියර පිරීම හේතු කොටගෙනය. බඩ පිපීම, පිම්බීම ආදිය මෙම රෝගීන් විසින් වෛද්‍යවරයාට පවසන රෝග ලක්ෂණය. උදරයට අමතරව වළලුකර සහ දෙපාවල ද ඉදිමීමක් දක්නට පුළුවන. දෙපා සහ වළලුකර ඉදිමීම රෝග ගණනාවක ලක්ෂණයක් වුවද එය අක්මා රෝගවලට ද සුලබ ලක්ෂණයක්.

කාලාන්තරයක් පුරා අක්මා රෝගයෙන් පෙළුණු රෝගීන්ට පොදු රෝග ලක්ෂණයක් වන්නේ වමනය සමඟ රුධිරය පිටවීම (ලේ වමනය) සහ මලපහ කළු පැහැයෙන් යුක්ත වීමය. මලපහ කළු පැහැ ගැන්වීම ඇති වන්නේ මලපහ සමඟ රුධිරය පිටවන නිසාය. සිරුර කැසීමට ලක් වීමද අක්මා රෝගීන් නිතර නගන මැසිවිල්ලකි. මුත්‍රා දුඹුරු පැහැයක් ගැනීම ද සමහර අක්මා රෝගවලදී මලපහවල කහපාට අඩු වීමක් ද දක්නට ලැබෙනවා.

අක්මා රෝගවලින් පෙළෙන පිරිමින්ගේ පියයුරු කාන්තාවන්ගේ පියයුරු මෙන් විශාල වීමක් සිදු වෙනවා. එසේම පුරුෂයන්ට ලිංගික අප්‍රාණිකත්වය ද ඇති වෙනවා. කාන්තාවකගේ නම් ඔසප් චක්‍රය නැවතී යාමට ඉඩ තිබෙනවා. මෙයට හේතුව වන්නේ අක්මාවේ හෝර්මෝන නිපදවීම අක්‍රිය වීමයි. අක්මාව අකි‍්‍රය වූ විට සිරුරේ ඇති ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩි වී කාන්තා ලක්ෂණ පිරිමි සිරුරෙන් මතු වන්නට පටන් ගන්නවා. ඊස්ට්‍රජන් යනු කාන්තා ලක්ෂණ මතු කරන හෝර්මෝනයක්. ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩි වීම නිසා පිරිමියාගේ සිරුරේ පෞරුෂ ලක්ෂණ මතු කෙරෙන රෝම කූප පවා අඩු වන්නට පටන් ගනී.

ගෑස්ට්‍රයිටීස් ද? ඕනෑවට වඩා කිරි එපා

කොළඹ ජාතික රෝහලේ ආමාශයික සහ ආන්ත්‍රික රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය

රනිල් ජයසේන

කිරි කියන්නේ භෂ්මයක්. කිරිවලින් ආමාශයේ ආම්ලික ගතිය අඩු කරවනවා. පානය කළ යුත්තේ සුදු කිරි පමණයි. තේ කහට සමඟ කිරි බීම හොඳ නැහැ. සාමාන්‍යයෙන් තේ කහට, කෝපිවල කැෆේන් තියෙනවා. කැෆේන් සහිත බීම ගැස්ට්‍රයිටීස් රෝගීන්ට හොඳ නැහැ. ඒ නිසා තේ කෝපිවලින් වළකිනවා නම් හොඳයි. ආමාශගත රෝග නොමැති අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ කතා කරන්නේ ගැස්ට්‍රයිටීස් රෝගීන් ගැන පමණයි. කිරි සාමාන්‍ය ප්‍රමාණයකට බීවට කමක් නැහැ. ඕනෑවට වඩා බොන්නත් එපා. එයට හේතුව කිරිවල කැල්සියම් අයන් තිබෙනවා. කැල්සියම් අයන්වලින් ගැස්ට්‍රික් හෝර්මෝනය උත්තේජනය වන්නට ඉඩ තිබෙනවා. කිරි වීදුරු 2 -3 බීවාට කමක් නැහැ. ඕනෑවට වඩා පානය කළොත් කැල්සියම් අයන් ප්‍රමාණය උත්තේජනය වන නිසා ලෙඩේ වැඩිවන්නත් පුළුවන්. යෝගට්, මුදවපු කිරි ගැස්ට්‍රයිටීස්වලට හොඳයි කියලා මතවාදයක් තිබෙනවා. යෝගට් හොඳයි. මුදවපු කිරිත් හොඳයි.

නමුත් අපේ උදවිය මුදවාපු කිරි කන්නේ ප්‍රමාණවත් ලෙස නොවේ. කිරි වැඩි කියලා පැණි දාගන්නවා. පැණි වැඩි කියලා කිරි දාගන්නවා. අන්තිමට කිරි මුට්ටියක්ම කාලා ඉවරයි. ඕනෑවට වඩා කිරි කෑමේදී ආමාශයේ ශ්ලේමල පටල රතු වෙලා ඒකාග්‍රතාවය නැති වෙනවා. තුවාල ඇති වන්නටත් පුළුවන්.

ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, සැමන්, තක්කාලි, අන්නාසි, ඇඹුල් වර්ග, චොකලට් මේ කිසිවක් ආහාරයට එක්කර ගන්න එපා. මේවා කෑමේදී “ගැස්ට්‍රයිටීස්” වැඩි වෙනවා.

මේවා ගැස්ට්‍රයිටීස් අසාත්මිකතාව ඇතිවන්නට තුඩුදෙන ආහාරයි.