ඖෂධ මාත්‍රාව නිසි අයුරින් නොගත්තොත් ලෙඩේ වැඩි වෙන්නත් පුළුවන්

ඖෂධ මාත්‍රාව නිසි අයුරින් නොගත්තොත් ලෙඩේ වැඩි වෙන්නත් පුළුවන්

නුතන ලෝකයේ දියුණුවත් සමඟ ඖෂධ අපගේ ජීවිතයේ කොටසක් වෙලා. ජීවිත කාලය පුරාවට අපි බොන බෙහෙත් පෙති හා කරල් ප්‍රමාණය සුළුපටු නැහැ. ඉතිං මේ බෙහෙත් වර්ග පාවිච්චි කරන විටත්, ඒවා මිලදී ගන්නා විටත් සැලකිය යුතු කාරණා කිහිපයක් තිබෙනවා.

සැලකිය යුතු ප්‍රධාන කරුණක් වන්නේ ඖෂධ මාත්‍රාව එලෙස ගැනීමයි. ළමා, තරුණ, වයස්ගත අයටත් වකුගඩු, අක්මා හා වෙනත් රෝගාබාධ වලින් පෙළෙන්නන් වෙතත් වෙනස්වන ඖෂධ මාත්‍රාව වෛද්‍යවරයා නියම කළ පරිදි ගත යුතයි. ඖෂධ අධිමාත්‍රාවන් නිසා නොයෙකුත් රෝග තත්ත්වයන් ඇතිවිය හැකි අතර ඒ වගේම ඖෂධ ගන්නා කාල පරාසය උදේ හවස, දිනකට වේල් ගණන, වේල් දෙකක් අතර කාල පරාසය ද ඉතා වැදගත් වෙනවා.

ශරීරය තුළ රෝගයේ ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට ඒකාකාරී ලෙස ඖෂධය රුධිරගත වීම සඳහා මෙම කාල පරාසය ඉතා වැදගත් වෙනවා. ඖෂධය ලබා ගන්නා දින ගණනත් සැලකිය යුතු දෙයක්. සමහර ඖෂධ එක වේලක් පමණක් ගන්නා විට සමහර ඖෂධ ජීවිත කාලයම ලබා ගත යුතු වෙනවා.

ඒ නිසා ඖෂධයක් ගත යුතු නියමිත දින ප්‍රමාණය විශේෂයෙන් ප්‍රතිජීවක ඖෂධ හා රෝග ලක්ෂණ මඟහැරීමට ගන්නා ඖෂධ ගත යුතු කාල ප්‍රමාණය, නැතිනම් ගත යුතු දින ගණන වෛද්‍යවරයාගෙන් විමසිය යුතුයි. ඒ වගේම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව Over the Counter Drugs ලෙස නිදහසේ ලබා ගතහැකි ඖෂධ භාවිතයේදී එහි අදාල මාත්‍රාව හෙවත් වරකට ගන්නා පෙති ප්‍රමාණය සැලකිය යුතු දෙයක්.

ඖෂධ ගබඩා කිරීමත් ඉතා ප්‍රවේශමෙන් කළ යුතු කාර්යයක්. වියළි, සිසිල්, සුළං හා තෙතමනය නොමැති ස්ථානවල බොහෝ ඖෂධ ගබඩා කළ යුතු වෙනවා. ඒ වගේම හිරු එළිය වැටෙන ස්ථානවලින්ද ඉවත් කළ යුතු වෙනවා. දරුවන් සඳහා ලබාදෙන සමහර ප්‍රතිජීවික පැණි වර්ග ශීතකරණයේ ගබඩා කළ යුතුයි. මෙම ගබඩා කිරීමේ ක්‍රමය එහි ක්‍රියාකාරීත්වයට කෙළින්ම බලපාන කරුණක් වෙනවා.

Loose tablets

ඖෂධ ලබා ගැනීමේදී තමන් ගන්නා ආහාරයට ඇති සම්බන්ධතාවය පිළිබඳව සැළකිලිමත් වන්න. සමහර ඖෂධ කෑමට පෙරත් සමහර ඒවා කෑමට පසුවත් ලබා ගත යුතුයි. මේ මඟින් ඖෂධයේ ක්‍රියාකාරී බව පවත්වා ගැනීමටත් , බඩේ දැවිල්ල වැනි අම්ල රෝග වැළැක්වීමටත් උපකාරී වෙනවා.

ඖෂධ මිලදී ගැනීමේදී එහි නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වන දිනය ලෙස දින දෙකක් ලේබලයේ සටහන් විය යුතුයි.

කල් ඉකුත් වූ ඖෂධ ගුණාත්මක බවෙන් අඩුයි එසේම දිලීර වැනි විෂබීජ වලටද භාජනය විය හැකි විශේෂයෙන් සිල්ලර ලෙස, පැකැට්ටුවක නැති බෙහෙත් පෙති වර්ග (Loose tablets) ලබා ගැනීමේදී ඖෂධවේදියාගෙන් එහි කල් ඉකුත්වන දිනය ගැන විමසන්න. විශේෂයෙන් දීර්ඝ කාලීන රෝග සඳහා එකවර මාස කිහිපයකට ඖෂධ තොගයක් මිලදී ගැනීමේදී, ඒවා කල් ඉකුත්වන දිනයත් අදාළ කාලසීමාව අවසානය දක්වා වලංගුව පවතීද යන්න ගැන සැලකිය යුතුයි. උදාහරණයක් ලෙස තව මාස දෙකකින් පමණ කල් ඉකුත් වීමට නියමිත ඖෂධ තොගයක් මාස තුන හතරක කාලයක් සඳහා එකවර මිලදී ගැනීමෙන් වළකින්න.

ඖෂධ වෙළඳසලින් ඖෂධ මිලදී ගැනීමේදී, එම වෙළඳසල ඇතුළත ඖෂධ පරිහරණය කරන සේවකයාගේ පිරිසුදු භාවයත්, සමහර සිල්ලර ලෙස ඇති පෙති ගණන් කිරීමේදී සැලකිය යුතු ප්‍රායෝගික කරුණක් අවසාන වශයෙන්, ඖෂධ නිෂ්පාදනය හා එහි වෙළඳපල තුළ ඇති සංකීර්ණභාවය නිසා හැමවිටම එහි ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් පැන නැඟීම ප්‍රායෝගිකව අත් දකිනා කාරණයක්.

මෙහිදී ඔබගේ වෛද්‍යවරයා හා ඖෂධවේදියාගේ සහයෝගයෙන් හා උපදෙස් මඟින් ගුණාත්මක බවින් හා ආරක්ෂිත බවින් යුක්ත වූ ඖෂධ ලබා ගැනීමත්, කිසියම් ඖෂධයක ලේබලයේ ඇති තොරතුරු හා ඒවා පිළිබඳව ඇති වගකීම ගැන සුදුසුකම්ලත් ඖෂධවේදියා මඟින් උපදෙස් ලබා ගැනීමත් ඉතා වැදගත් වෙනවා.