නින්දෙන් ගෙරවීම රෝගයක්!

නින්දෙන් ගෙරවීම රෝගයක්!

අම්මපා මෙහෙමත් ගෙරවිල්ලක් ලී මෝලක ලී ඉරනවා වාගේ

“ගෙදර එක්කෙනෙකුටවත් නින්දක් නැහැ.”

මෙලෙස මැසිවිලි නගන අය අද කීදෙනෙක් සිටිනවාද?

මහත්තයලා නෝනලා තරඟෙට ගොරවලා අන්තිමෙට දික්කසාදය දක්වා වැඩේ දුර දිග ගිහින්.

ගොරවන පුද්ගලයන් සමාජය ඉදිරියේ සමච්චලයට ලක්වන වාර නම් අනන්තයි අප්‍රමාණයි. අවාසනාවක මහත තමා රාත්‍රියේ නින්දේදී ගොරවන බව තමාම නොදන්නා හැටි..

ඇත්තටම ගෙරවීම රෝගයක්ද? ගොරවන්නේ ඇයි එය නවත්වාගන්නට. තමන්ටම බැරිද? මේ සියල්ලටම විසඳුම් සොයන්නට මා හමුවූයේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය සීතා අරඹේපොල මහත්මියයි.

නින්දේදී ඇතිවන ශබ්දයක් ලෙස හැඳින්වෙන ගෙරවීම ඇතිවන්නේ හුස්ම ගන්නා මාර්ගයේ පටුවීම හේතුකොටගෙනයි. නාසයේ සිට උගුර දක්වා මාර්ගය පටුවීම නිසාත් ස්වසන මාර්ගයේ අනවශ්‍ය පටුවීමක් ඇතිවීම නිසාත් නාසයේ මැද බිත්තිය ඇද විම සිට විවිධාකාර හේතුන් ගෙරවීමට බලපානවා. බොහෝ දෙනා නොසිතුවද ගෙරවීම රෝගයක්. එසේම ඔහු හෝ ඇය අසල නිදා සිටින අයගේ සුව නින්දට භාධාවක් බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.. ගෙරවීම නිසා රෝගීවන කණ්ඩායම් දෙකක් තිබෙනවා. එක් කණ්ඩායමක් වන්නේ ගොරවන කන්ඩායමයි.එයින් පරිභාහිරව අනිත් තැනැත්තාට හිස කැක්කුම මානසික පීඩනය, නින්ද නොයාම , කනස්සලු ස්වභාවයන් නැමැති මදක් සංකීර්ණ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදුවී ඒ කන්ඩායමත් රෝගී වෙනවා.

මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා

ගෙරවීමේ ශබ්දය වටා පිටාවේ සිටින අයට භාධාවක් වුවද ඊට වඩා වඩාත්ම ගැටලු සහගත තත්ත්වය වන්නේ ගෙරවීමේ එක අවස්ථාවක් ලෙස හුස්ම හිරවීම ඇතිවීමයි.

හුස්ම ගන්නා මාර්ගය පටුවීම ගෙරවීමට හේතු වන්නා සේම එම අවහිරතාවය පූර්ණ වූ විට නින්දේදී හුස්ම මදකට නැවතීමද සිදුවේ. මෙය ගොරවන තැනැත්තාගේ මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමට හේතවක් වේ. මෙය සමතුලිත කිරීමට හෘදයවස්තුව අධික ලෙස ස්පන්දනය වේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස අධික ගෙරවීම ඇති පුද්ගලයන්ට හෘද රෝග අංශභාගය හා නිසි ආකාරයෙන් නින්ද නොලැබීම නිසා බොහෝ ගැටලු ඇතිවිය හැක

ගෙරවීමට බලපාන සාධක

ගෙරවීමට බලපාන සාධක ලෙස අධික ස්ථුලභාවය , මත්පැන්., මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නින්දේදී වැරදි ඉරියව් භාවිතය යනාදිය බලපෑ හැක. තවද නාසය මැද බිත්ති ඇද වීම, නාසයේ මස් දලු ඇතිවීම, දිව විශාල වීම, තල්ල ප්‍රමාණයෙන් විශාල වීම සහ ස්වර තන්තු ආශි‍්‍රත අනිකුත් ව්‍යුහමය වෙනස්කම්ද මෙයට බලපෑ හැකි හේතුන්වේ.

ස්ථුල අයගේ ගෙල පෙදෙසේ මේදය එකතු වීම නිසා හුස්ම ගන්නා මාර්ගය අවහිර විය හැක. ඇතැමුන්ගේ මාංශ පේශි සැහැල්ලු වී දිව පිටුපසට වැටීම යන ක්‍රියාදාම සිදුවේ.

ඉහත හේතුන් මත ගෙරවීමේදී හුස්ම හිරවීමක් ඇතිවිය හැක. එලෙසම ශරීරයේ ඇති ව්‍යුවහමය වෙනස්කම් මත බහුලව ගෙරවීමටත් ගෙරවීමේදී හුස්ම හිරවීමක් සිදුවිමටද ඉඩ ඇත.

මෙවැනි ලක්ෂණ ඇතිවු විට වෛද්‍යවරයෙකු හමු වී ඔබටත් ගෙරවීමට අමතරව ස්වසන මාර්ගයේ අවහිරතා ඇති වී ඇත්දැයි පරික්ෂා කරගත හැක.

වෛද්‍ය සායනයේදී ඔබේ සායනික ඉතිහාසයන්ට අමතරව, නවීන කැමරා භාවිතයේ නාසය සහ උගුර පරීක්ෂා කොට ගෙරවීමට හේතුවන ව්‍යුහමය සාධක වෛද්‍යවරයා හඳුනාගනු ඇත.

තවදුරටත් පරීක්ෂණ වාර්තා මඟින් මෙම රෝගය නිර්ණය කිරීමට නිද්‍රා පරික්ෂණය සඳහා අනිවාර්යෙන්ම ඔබ යොමු කරනු ඇත. එහිදී එක් රැයක් රෝහල් ගතවී නින්දේදී ඇතිවන විවිධාකාර මොළේ වෙනස්කම්, ගෙරවීමේ සංකීර්ණභාවය, හුස්ම හිරවීම සිදුවන අකාරය යන්ත්‍රයක් මඟින් හඳුනාගැනේ. මෙලෙස ලබා ගන්නා වාර්තාව ඔබේ රෝගී තත්ත්වයේ සංකීර්ණතාවය නිර්ණය කිරීමට මහත් පිටිවහලක් වනු ඇත.

ප්‍රතිකාර

මේ සියලු පරීක්ෂණ වාර්තා මඟින් ගෙරවීම හා ඒ අදාළ අනිකුත් සංකූලතා සඳහා හේතුව සොයා ගත්විට ශල්‍යකර්මයකින් හෝ වෙනත් ආකාරයකට එය සුව කිරීම සිදු කළ හැක. ඒ සඳහා ඛ්ර්‍ථඒර්‍ථ මැශිම නැමැති, ඔක්සිජන් අධි පීඩනයක් ලබා දෙන යන්ත්‍රයක්. එසේත් නැතිනම් මුහුණු ආවරණක..උපකාරයක් ලබා ගැනීමට ඇතැම්විට සිදු වේ.

මෙම කරුණු දැන ගැනීමෙන් ඔබ වටහා ගත යුත්තේ, ගොරවන පිරිස අතර, තවත් සංකීර්ණ රෝගී තත්ත්වයක් වන හුස්ම හිරවීමෙන් පෙළෙන කණ්ඩායමක්ද සිටින බවයි. ඒ පිරිස අනිවාර්යෙන්ම ප්‍රතිකාර වෙත යොමුවිය යුතුය.

නමුත් ඇතැම් පිරිස ගොරවන නමුත් එයින් ඔවුන්ට ශාරීරික සංකූලතා ඇති නොවෙයි. එනමුදු පවුලේ සුවතාවය සහ ගුණාත්මක නින්දක අවශ්‍යතාවය පූර්ණ කිරීමට ප්‍රතිකාර ගත යුතු බව ඔබ විසින් තීරණය කළ යුතුව ඇත.