නහර ගැට ගැසීමට විසඳුමක්

නහර ගැට ගැසීමට විසඳුමක් varicose vein

නවලෝක රෝහලේ

විශේෂඥ ශල්‍ය වෛද්‍ය

නාලක ගුණවංශ

යම් රෝගයක් ඇති වීම ඕනෑම පුද්ගලයෙකුට එය මානසික පීඩනයක් විය හැකිය. එසේම රෝගය කුමක් වුවත්, මිනිසා දක්වන ප්‍රතිචාරය වන්නේ.... වහ වහා ප්‍රතිකාර සොයා යාමය. නහර ගැට ගැසීම ද එවැන්නකි. ඇතැමෙකුට එය පාරම්පරික ජානමය බලපෑම නිසා ඇති වේ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාලක ගුණවංශ මහතා දක්වන අදහස් අනුව ජනතාවට මේ පිළිබඳ පූර්ව දැනුවත් වීමක් අවශ්‍යය.

සාමාන්‍යයෙන් නහරවල බිත්තියේ ඇතිවන දුර්වලතාවන් නිසා මේ තත්ත්වය ඇති වේ. ඒ අනුව බැලූ කල වර්තමානයේ බොහෝ රෝගීන් හමු වන්නේ ද, යම් යම් හේතු සාධක බලපෑම හේතුවෙනි. පරම්පරාවෙන් පරම්පරාවට මතුවන අවස්ථා එහි මුල් ස්ථානය ගනී. මාපියන්ට රෝගය ඇත්නම් 30%ක පමණ ප්‍රතිශතයකින් දූ දරුවන්ට ඇති වේ. එසේම කාන්තා පාර්ශවයේ ගර්භණී අවදියේ දී උදරයේ ඇතිවන පීඩනය නිසා මේ තත්ත්වයට ගොදුරු වීමේ ඉඩකඩ ඇත. තරබාරුව ද මීට ප්‍රබල බලපෑමක් ඇති කරයි. වැඩි කාලයක් සිටගෙන සිටීමට සිදුවන වෘත්තීන්වල යෙදෙන පුද්ගලයන් ද මෙකී රෝගයට පහසුවෙන් ගොදුරු වේ.

රෝග ලක්ෂණ ලෙස හඳුනා ගැනීමට හැකි වනුයේ නහර ඉලිප්පීම, සුළු නහර දැලක් සේ මතු වීම, කල්ගත වීමේදී විශාල වීම යනාදියයි.

ඊට අමතරව වළලුකර ආශි‍්‍රත ඉදිමුම දවස පුරා දක්නට ලැබෙන තවත් එක් ලක්ෂණයකි. දවස පුරා සිටගෙන සිටින අවස්ථාවල එය සුලබව දක්නට ලැබෙන්නකි. එසේම වේදනාවක් ද ඇති වේ. එයද සිටගෙන සිටීමේදී වැඩිපුර දක්නට ලැබේ. උදෑසනට නොමැති වේදනාව දවස අවසානයේදී මතු වීමේ අවස්ථාව ඉහළය.

දණහිසෙන් පහළ කොටස දුර්වරණ වීම ද මෙකී රෝගයට අදාළ ලක්ෂණයකි. කාලය ගත වීමත් සමඟ මෙය වර්ධනය විය හැකි අතර එයින් ද නොනැවතී තුවාල හට ගැනීමේ ප්‍රවණාතාවයක් ද ඇත.

මෙවැනි ලක්ෂණ නිරීක්ෂණය වූ යම් පුද්ගලයකු වුවොත් කළ යුත්තේ වෛද්‍යවරයා මුණගැසීමය. මේ තත්ත්වයේදී රෝග විනිශ්චය ඉතා පහසුය. Scan පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව අවශ්‍ය ප්‍රතිකාර නියම කිරිම සිදු වේ.

ප්‍රතිකාර කිරීම ද රෝගය පැතිරීම අනුව තීරණය කෙරේ. එසේම පාදවලට තාවකාලිකව Stocking එකක් භාවිතා කළ හැකිය. විශාලත්වයෙන් අඩු නහර තිබෙන අවස්ථාවල එන්නත් මාර්ගයෙන් සුව කළ හැකි අතර ලේසර් ප්‍රතිකාරය මඟින් ද ප්‍රතිකාර කිරීමට හැකියාව ඇත. ලේසර් ප්‍රතිකාරය රෝගියාට ඇති පහසුම ප්‍රතිකාරයයි. එය කළ පසු වේදනාවෙන් පීඩා විඳීම අවම වේ. එසේම ප්‍රතිකාරයෙන් පසු ඉතා ඉක්මනින් තම දෛනික කටයුතුවලට අවතීර්ණ වීමේ හැකියාව ඇත. ලේසර් ප්‍රතිකාරය කළ නොහැකි නම් සැත්කමක් මාර්ගයෙන් රෝගයකට ප්‍රතිකාර කළ යුතුව ඇත.

ඒ නිසා අවශ්‍ය වන්නේ අවදානම් රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය පරීක්ෂාවකට ලක්ව සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් උපයෝගී කර ගැනීමය.