busy life එක නිසා මල බැහැර කරන්නත් වෙලාවක් නැහැ

busy life එක නිසා මල බැහැර කරන්නත් වෙලාවක් නැහැ

කොළඹ විශ්ව විද්‍යාලයේ

දේශීය වෛද්‍ය විද්‍යාතනයේ ශල්‍ය වෛද්‍ය අංශයේ

විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්ය L.P.A  කරුණාතිලක

සිරුරේ විවිධ අංශ කෙරෙහි බලපාන රෝග අතර ගුද මාර්ගය ආශ්‍රිතව පවතින රෝග අද බොහෝදෙනා අතර බහුලව පවතින බවක් පෙනෙන්නට තිබේ. ඒ අනුව ගුද මාර්ගය අප සිරුරේ විශේෂයෙන් සලකා බැලිය යුතු කොටසක් ලෙස සැලකිය හැකියි. මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුවීම අත්‍යවශ්‍ය කරුණක්. ගුද මාර්ගය ආශි‍්‍රත රෝග ගණනාවකට තුඩුදෙන හේතු කාරණා මොනවාද යන්නත් එවැනි රෝග මොනවාද යනුවෙන් යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත්.

මල පිටවීමට සැලැස්වීම

ආහාර මාර්ගයේ අවසාන කොටස ගුදයයි. මෙය ගුදය සහ ගුද මාර්ගයෙන් සැදුම්ලත් කොටස් 2කි. මල පිටකළ හැක්කේ මේ ගුද මාර්ගය ඔස්සේය. මල පිට කිරීමේ සංවේදනය මොළය මඟින් නිකුත් කළාට පසු කිසිම පාලනයක් නොකර තමාට අවශ්‍ය පරිදි මල පිටවීම සිදු වේ. නමුත් තමන් විසින් මල පහ කිරිම පාලනය කිරීමට ද අපට හැකියාව ඇත. ආයුර්වේදයේ මෙය වේග ධාරණය නම් වේ. එය එතරම් සුදුසු නැත.

මලපහ පාලනය කිරීම

ගන්නා ආහාරය ජීර්ණයෙන් අනතුරුව ක්‍රමවත්ව සිදුවන මල බැහැර කිරීම ප්‍රමාද කිරීම මෙමඟින් සිදු වේ. ජීවන රටාවේ පවතින යම් කාර්යබහුලත්වය මත මල බැහැර කිරිමට ඇති අවස්ථාව මඟහරවා ඒ වෙනුවට තමාට වැදගත් යයි සම්මත වෙනත් කාර්්‍යයන්වල නියැලීම මීට හේතු වෙයි. මේ නිසා ඇතිවන ශරීරික දුබලතා වැඩිවන්නේ මෙසේ දිගුකලක් මෙම ක්‍රියාවලිය සඳහා යොමු වීම තුළිනි. මල පිට කිරීම නිසිවෙලාවට සිදු නොවීම බොහෝ රෝග ගණනාවකට අතවනා ගැනීමක් බැව් කිව යුතුමයි.

ප්‍රධාන කාර්්‍යයන්

මල පිටකිරීම ප්‍රධාන කාර්්‍යයි.මෙය සිදුවන්නේ සංකෝචනය හා ප්‍රසාරණය වීම තුළිනි. මෙය ගුද කොටසේ මාංශ පේශිවල තිබෙන ක්‍රියාකාරීත්වය අනුව සිදු වේ. මෙම මාංශ පේශි සැකසිලා පවතින්නේ මල සහ වාතය පිට කිරීමටයි. ඒ විතරක් නොව එය වසා තැබීමට ද උදව් වේ. එය නිසිලෙස සිදුවිය යුතුයි. ගුද කොටසේ පිහිටා තිබෙන වලියාකාර කොටස් තුනක් මඟින් මෙම ප්‍රසාරණය වීම හා සංකෝචනය විම සිදු වෙයි.

මෙම මල පිටකිරීමේදී අවස්ථා 3කින් සිදු වේ. මලාශයට (ගුදයට) පැමිණි මල පහතට යොමු වේ. මෙය මහා අන්ත්‍රයේ අවසාන කොටසයි. පසුව පිට කිරීම සිදුවන අතර පසුව එය හකුලා තැබීම ද සිදු වේ. මලවල පවතින තෙල් ගතිය ලබා දෙන්නේ ගුද මාර්ගයේ බිත්තිවල ග්‍රන්ථි මඟින් ශ්ලේෂ්මල පිට කර ඒවා මලවල තැවරීම මඟිනි. එහිදී යම් සිනිදු බවක් ඇති කර බ්ත්තිවලට හානියක් නොකර ඉතා පහසුවෙන් මල ලිස්සා යයි.

මලවලට හානි සිදුවීම

මලවල යම් දුර්වලතා හේතු කොටගෙන මල පිටවීම සිදු නොවිය හැකියි. එය, සමහර විට ස්ථානයේ ව්‍යුහයට හා කරන ක්‍රියාවලියට හානි සිදුවීම විය හැකියි. ඒ අනුව ඇතිවිය හැකි රෝග බොහෝයි.

රෝග ඇති වීමට බලපාන හේතු

මලවලට හානි පමුණුවා අපව රෝගී බව පත් කරන්නට හේතු කිහිපාකාරයක්ම බලපානු ලබයි. ආහාර, විහරණ, ඖෂධ, අභිඝාත, වැනි හේතු මෙම ගුදය ආශි‍්‍රත රෝග ඇති වීමට බලපාන හේතුයි.

ආහාර ගැනීමේදී විශේෂයෙන් අප සැලකිලිමත් විය යුතුයි. උෂ්ණාධික ආහාර අප නොගත යුත්තේ එය ජීර්ණයට යම් බාධා පමුණුවන නිසයි. කෙඳි සහිත ආහාර ගැනීම තුළින් මල පිටවීම පහසු කරයි. එසේම ජලය අඩංගු ආහාර එක් කර ගැනීම ද යෝග්‍ය බව සලකන්න. නිසි පිළිවෙලකට ආහාර රටා මෙසේ සකසා ගැනීම කළහොත් මලවලට හානි පැමිණිවීම සිදු නොවී මල පහසුවෙන් පිට කළ හැකියි. පිටි අධිකව අඩංගු නොවන පලා වර්ග, තන්තු සහිත එළවළු වර්ග හා වැඩිපුර ජලය පානය කිරීම සුදුසුයි.

උදා. ගොටුකොළ, මුකුණුවැන්න, සාරණ, කංකුං, කොහිල දළු, එරබදු, තම්පලා වැනි පලාවර්ග සුදුසුයි. කැරට් බෝංචි, කොහිල අල, පතෝල, වැටකොළු, කැකිරි, පිපිඤ්ඤා වැනි එළවළු වර්ග සහ කැඳ වර්ග භාවිතා කළ හැකියි. වැරදි ක්‍රියාවන්වල යෙදීම නිසා ද ගුද රෝග ඇතිවිය හැකියි. එනම් විහරණ රටා නිසි පරිදි සිදුවිය යුතුයි. ජලය අඩුවෙන් පානය කිරිම ව්‍යායාම හීනකම, වැරදි ඉරියව්වෙන් බර ඉසිලීම, අධික ව්‍යායාමය මානසික පීඩාවන් ගෙන ක්‍රියාවන්ට ලක්වීම, විවිධ ඇබ්බැහිවීම් වැනි ක්‍රියාවන් නිසා ද ගුදය ආශි‍්‍රත රෝග ඇති වේ.

සමහර ඖෂධ භාවිතා කිරීම නිසාද මල පිට කිරිම අඩාල කරන හා ඒ මඟින් ගුදය ආශි‍්‍රත රෝග ඇති කරලීමට තුඩු දෙන කරුණු කාරණා එක් කරයි. සමහර ඖෂධ වර්ග දීර්ඝකාලීනව ගැනීම නිසා ආහාර මාර්ගයට හානි සිදුවිය හැකියි. අධික ලෙස පවතින සැර ගතිය (උෂ්ණ) තන්තු කොටගෙන මෙවැනි තත්ත්ව ඇතිවිය හැකියි. සමහර උෂ්ණ ඖෂධවලට බඩවැල තුවාල කළ හැකියි. එසේම අන්ත්‍රවල ක්‍රියාකාරීත්වය වෙනස් කළ හැකියි. උදා. ලෙස සන්ධි රෝග සඳහා භාවිතා කරන වේදනා නාශක ඖෂධ, සමහර මානසික රෝග සඳහා භාවිතා කරන ඖෂධ අදාළ වේ.

අභිඝාත ලෙස දැකිය හැක්කේ විශේෂයෙන්ම ගුද මාර්ගය හා ඒ අවට ප්‍රදේශවල සිදුවිය හැකි වැටීම් තැලීම් මඟින් සිදුවිය හැකි පීඩාවීම් මඟිනි. විශේෂයෙන් ගුද මාර්ගයේ ගුද රෝගවලට කරන සමහර ශල්‍යකර්ම නිසා මේ ගුදයට හානි සිදුවීම් ඇති වේ. මලෙස ඇතිවන හානි නිසාද වෙත් ගුද රෝග ඇති වීම සිදු වේ. උදා. අර්ශස් හා භගන්දර වලට කරන ශල්‍යකර්ම නිසා ගුදය පටුවීම්, ගුදය විවෘත වීම් වැනි රෝග ඇතිවිය හැකියි.