ශ්‍රවණ ආබාධිත පුද්ගලයකුට තම කාර්්‍යය සාර්ථකව ඉටුකරගන්නට ශ්‍රවණ ආධාරකය අතිශයින් වැදගත්

ශ්‍රවණ ආබාධිත පුද්ගලයකුට තම කාර්්‍යය සාර්ථකව ඉටුකරගන්නට ශ්‍රවණ ආධාරකය අතිශයින් වැදගත්

අතීතයේදී භාවිතා කළ ශ්‍රවණ ආධාරක උපකරණ වලට වඩා වැඩි කාර්යක්ෂමතාවක් සහිත, පෙනුමෙන් කුඩා, නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ ශ්‍රවණ ආධාරක පිළිබඳ කරුණු කාරණා බොහෝමයක් මේ වන විටත් ඔබ දන්නවා ඇති.

ඇතැම්විට යම් ශ්‍රවණ ආබාධයකට මුහුණ දුන් තැනැත්තෙක්, තමා ආබාධිත නොවන අනෙකුත් ආබාධිත පුද්ගලයන්ටත් වඩා පහසු ලෙස තමාගේ කාර්යයන් ඉටු කර ගන්නා මට්ටම දක්වා පැමිණ තිබෙනවාදැයි සිතන්නටද පුළුවන්. ඊට හේතුව තමා ශ්‍රවණ ආධාරකයක් පළදිනවාද නැද්ද යන්න පවා හඳුනා ගැනීමට නොහැකි වන අකාරයෙන් ඒවා නිපදවා තිබීමයි. එපමණක් නොව විවිධ වූ වර්ණයන්ගෙන්ද තමාට ගැළපෙන විලාසිතාව අනුවද පැළඳීමේ හැකියාවක් ඇති අතර කරාබු වැනි දේ හා සම්බන්ධවන පරිදි මේවා නිපදවා තිබෙන බවද ඔබට දැන් නොරහසක්. මෙවැනි අති දියුණු තාක්ෂණය යටතේ නිපදවන ශ්‍රවණ ආධාරකවල ඉතිහාසය වගේම ඒවායේ නවතම ප්‍රවණතා පිළිබඳ තවදුරටත් ආචාර්ය මිහිර වික්‍රමාරච්චි මහතාගෙන් අසා දැනගතිමු.

ශ්‍රවණ ආධාරක ශ්‍රවණ දුර්වලතා පවතින අයට උදවුවක් සපයනවා වගේම ඇතැම් අයට ඒවා පැළඳ සිටීමද තරමක් අසීරු කටයුත්තක්. ඊට බොහෝ දුරට හේතුවන්නේ ඔවුන් සිටින පරිසරයට අනුව එම ශ්‍රවණ ආධාරකය මඟින් සහයෝගයක් නොදැක්වීමයි. නමුත් දැන් පරිගණක ගත කළ වැඩසටහන් අන්තර්ගත නවතම ශ්‍රවණ උපකරණ ඊට දක්වන සහයෝගය වඩාත් දියුණු මට්ටමකට රැගෙන යයි. එමඟින් සිදු කෙරෙනුයේ තමා කරන කටයුතු අනුව, ගමන් ගන්නා වාහනය අනුව, තමා නිතර හැසිරෙන පරිසරය අනුව අදාළ ශබ්ද වඩාත් තියුණු කර ඇසීමට සැලැස්වීමයි. එහිදී අනවශ්‍ය ශබ්ද තමාගේ ශ්‍රවණ පථයෙන් ඉවත් කර අත්‍යවශ්‍ය ශබ්ද පමණක් ඇසීමට ඉඩ සලසා දෙයි.

එමෙන්ම දුරස්ථ පාලකය මඟින් පාලනය කිරීමට හැකි අතර ස්වංක්‍රීය ක්‍රමවේදයක් මඟින්ද මෙය පාලනය කළහැකි වීමද විශේෂිතයි. එමෙන්ම ආතතිය වැනි තත්ත්ව නිසා මුහුණ දීමට සිදුවන ශ්‍රවණ ආබාධද කන් යුගල අතර පවතින් වායු පීඩන අසමතුලිතතාව නිසා මුහුණ දීමට සිදුවන අපහසුතා සඳහා ද මෙම උපකරණය ලබා දෙන්නේ සැබෑ කනට නොදෙවැනි හැකියාවක්. තවද මෙහිදී කන තුළට ඇතුල්කරන මයික්‍රොෆෝන කොටස, අදාළ පුද්ගලයාගේ අවශ්‍යතාව අනුව ලබා ගැනීමට හැකිවීම ද විශේෂිතයි. මේ තුළ පවතින කුඩා උපාංග පරිගණකයට සම්බන්ධ කර තමාගේ අවශ්‍යතාව අනුව දත්ත සකසා ගත හැකියි.

මේ වන විටත් ඔබ හොඳින්ම දන්නා පරිදි ජලයට ඔරොත්තු දෙන ශ්‍රවණ ආධාරකද මේ වන විට ශ්‍රවණ ආධාරක උපකරණවල නැවුම් පෙරළියක් ඇතිකර අවසන්. තවද ඊට ජලය මඟින් කිසිදු හානියක් නොමැති බවද මේ වන විටත් පිළිගෙන අවසන්.

එහි තවත් විශේෂත්වයක් ජලය තුළදීත් තමාට අවශ්‍ය අදාළ ශබ්දය පමණක් ලබාදීමයි. මීට අමතරව සාමාන්‍ය වටපිටාවකදී අදාළ ශ්‍රවණ ආබාධිත තැනැත්තාට ඇසීමට ලැබෙන කටහඬවල ස්වභාවය, විවිධත්වය සාමාන්‍ය කනකින් ශ්‍රවණය වන මට්ටමට සමානව මේ උපකරණය මඟින් ඇසීමට සලස්වයි. එහිදී කටහඬවල ගොරෝසු බව හෝ මෘදු බව ආදී වෙනස්කම් සූක්ෂමව හඳුනාගෙන ක්‍රියාකිරීමේ හැකියාවක් මීට හිමිවීම විශේෂිතයි. මෙම නව ශ්‍රවණ ආධාරක ඩිජිටෙල් උපකරණ හා සම්බන්ධ කරවීමටද හැකි අතර ඊට උදාහරණ ලෙස ජංගම දුරකථනය, රූපවාහිනය ආදිය දැක්විය හැකියි.

කෙසේ වෙතත් මෙම නවතම ශ්‍රවණ ආධාරක පිළිබඳ කතාබහ කිරීමේදී එහි ඉතිහාසය පිළිබඳ අමතක නොකළ යුතුය. ඒ අනුව ප්‍රථම ශ්‍රවණ ආධාරකය 1878 සොයාගත් අතර 1910 දී මෙය උපකරණයක් වශයෙන් නිපදවීය. 1949 දී වෙළඳ භාණ්ඩයක් ලෙස ඉදිරිපත් වූ මෙය 1959 දී කන පිටුපසට සවි කරගත හැකි මට්ටම දක්වා වැඩි දියුණු විය. තවද අදාළ පුද්ගලයාගේ රෝග අවස්ථාව අනුව මෙන්ම පුද්ගලයාගේ අවශ්‍යතාව අනුව ශ්‍රවණ ආධාරක නිර්මානය වී අවසන්. ජීවිත කාලය පුරාම භාවිතා කළහැකි මෙම උපකරණය තමාගේ අවශ්‍යතාව අනුව අදාළ කාලසීමාවට ගැලපෙන අන්දමින්ද පැළදීමට හැකි වේ.

සාමාන්‍යයෙන් මාස 06 කට වරක් මෙය පිරිසිදු කළ හැකි අතර එය ඉටුකර ගත හැක්කේ ශ්‍රවණ පරීක්ෂණ ආයතනයක් වෙත ගොස්ය. අතීතයේදී ශ්‍රවණ දුර්වලතා පැවති ඇතැම් වෘත්තිකයින්ගේ රැකියාව පවා හිමි විය. නමුත් මෙම නවතම ශ්‍රවණාධාරක ඊටද පිළිතුරක් සපයා අවසන්.