ඔබේ ගැටලු අප වෙත එවන්න

ඔබේ ගැටලු අප වෙත එවන්න (වෛද්‍ය ගැටලු, ආරෝග්‍යා, ලේක්හවුස්, කොළඹ 10)

කොඳු ඇට පෙළ ඉහළ කොටස ඇද වෙලා

හොරණ - නදීකා
 

නවලෝක රෝහලේ සන්ධි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

හරිඳු විජේසිංහ

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 29කි. එසේම විවාහක කාන්තාවකි. වසර කිහිපයක සිට කොන්දේ වේදනාවක් පවතී. එය ගෙල ආශ්‍රිතව හා පිට මැද දැඩි වේදනාවක් ලෙස පවතිනවා. දකුණු අත මෙන්ම දකුණු පාදය ද ඇතැම් විට වේදනාවට ලක් වේ.

මා පරීක්ෂා කළ වෛද්‍යවරයා කියා සිටියේ කොඳු ඇට පෙළ ඉහළ කොටස සුළු ඇද වීමක් ඇති බවයි. උපදෙස් මත ගෙලට කොළරයක් පැළඳී මුත්, වේදනාවේ අඩුවක් නොමැත. වෛද්‍යතුමා පවසන පරිදි ස්නායු තෙරපීමක් සිදුව ඇති අතර මා හට උදෑසන අවදි වූ විට දකුණු පාදය බිම තබා ඇවිදීම අපහසු ය. වේදනා නාශක ගැනීමේ දී සුවවන අතර ටික දිනකින් නැවත ඇති වේ. මේ තත්ත්වය සුවකර ගැනීමට මා කළ යුත්තේ කුමක් ද?

පිළිතුර

ඔබ පවසන තත්ත්වය පරීක්ෂා කර බැලිය යුතුය. කොන්දේ සහ බෙල්ලේ කුමන ස්ථාන ස්නායු තෙරපීමකට ලක් වී ද යන්න නිරීක්ෂණය කළ යුතුයි. ඒ සඳහා එක්ස් රේ පරීක්ෂණ වාර්තා ලබා ගත යුතුය.

මෙය සන්ධි ප්‍රදාහයක් නිසා ඇති වූවක් නම් එය පාලනය සඳහා ඖෂධ මඟින් ප්‍රතිකාර කළ හැකියි.

ඊට අමතරව EST, CRT, MRI යන පරීක්ෂාවන් ද සිදුකර ස්නායු තෙරපීම කොතරම් බලපා ඇතිද යන්න සොයා බැලිය යුතුයි.

ඒ අනුව භෞතචිකිත්සක ප්‍රතිකාර සමඟින් ඖෂධ ප්‍රතිකාර ද කළ හැකිය.

ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට හෝර්මෝන වර්ධක පෙති ලබාගැනීම සුදුසුද?

බිමන්සා - බලන්ගොඩ

තංගල්ල මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ

විශේෂඥ වෛද්‍ය මනෝජ් එල්.පෙරේරා

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 22 කි. මේ වනවිට මාගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වී ඇත. මාස කීපයකට වතාවක් චක්‍රය සක්‍රීය වේ. දැනට මාස 3ක පමණ සිට ඔසප් චක්‍රය සක්‍රීය වී නොමැත.

මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමේදී හෝර්මෝන වර්ධක පෙති ලබා දෙයි. එහෙත් එය තාවකාලික විසඳුමකි. මේ සඳහා මා කළ යුත්තේ කුමක්දැයි පහදා දෙන්න.

පිළිතුර -

ප්‍රථමයෙන්ම වෛද්‍යවරයා විසින් ඔබව පරික්ෂා කිරීම ඉතා වැදගත්. ඔබගේ ශරීරය තරමක් තරබාරු නම් පොලිසිස්ටික් ධ්වරියන්ස් සින්ඩ්‍රෝම් නැමැති තත්ත්වය තිබෙනන්ට පුළුවන්. එවැනි අවස්ථාවක ඔසප් චක්‍රය අක්‍රමවත් වීමේ ඉඩකඩ වැඩියි.

ඒ නිසා ශරීරයේ බර වැඩි නම් අඩු කරගත යුතුයි.

විවාහ වී නොමැති නම් මාස 03කට වරක් ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීම ගැටලුවක් නොමැත. විවාහයෙන් පසු දරුවන් නොමැති නම් මෙය ගැටලුවකි. එවන් අවස්ථාවක ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා දැනට ඔබට ගැටලුවක් නොමැති බව සඳහන් කළ හැකියි.

ව්‍යායාම් කිරීමට යොදා ගතයුතු පාවහන් යුගළය කුමක්ද?

කඩවත - මනීෂා

ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ

වෛද්‍ය නිලධාරී ලාල් ඒකනායක

ගැටලුව

වෛද්‍යතුමනි, මා දිනක් හැර දිනක් ව්‍යායාම් මධ්‍යස්ථානයක ව්‍යායාම් කිරීම සඳහා යොමු වෙමි. ඇවිදීම, සෙමෙන් ඇවිදීම, සිදු කරන්නෙමි. රෙදිවලින් නිපද වූ පාවහන් යුගලක් මා භාවිතා කරන්නෙමි. මා හට මෙම පාවහන් යුගළ ව්‍යායාම් කිරීමට ගැටලුවක් නොමැත.

එහෙත් මාගේ උපදේශකවරයා පවසන්නේ, එම පාවහන් ව්‍යායාම සඳහා නොගැලපෙන බවයි. ඒ මඟින් ශරීරයට අහිතකර බලපෑම් ඇතිවන බවත් මොළයේ ක්‍රියාකාරීත්වයට හානි කර බවත් පවසයි.

ඔහු පවසන ආකාරයේ බලපෑමක් පාවහන් නිසා ඇති වේද? එය සත්‍යයක් ද? එසේ නම් තෝරාගත යුත්තේ කිනම් වර්ගයේ පාවහන් ද?

පිළිතුර

සාමාන්‍යයෙන් ව්‍යායාම් කිරීමේදී භාවිතා කරන පාවහන් පාදයට නොගැලපෙන ඒවා වුවොත් පවසා ඇති ආකාරයේ බලපෑම් ඇති විය හැකියි. පාවහන් භාවිතයේදී ඒ ඒ පුද්ගලයාගේ පාදයේ ස්වරූපය, හැඩය අනුව වෙනස් වේ. ඒ නිසා ඔබගේ පාදයට ගැලපෙන පාවහන් කවරේද යන්න වෛද්‍යවරයෙකු හමු වී දැනගත යුතුයි.

මේ තත්ත්වය නිරාකරණය කර ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍ය බව සඳහන් කළ හැකිය.

මල පිට කිරීමේදී වියළි තත්ත්වයක්

ඇම්.ඩී.ඇම්. කෑගල්ල

ජාතික රෝහලේ ආන්ත්‍රික රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය රනිල් ජයසේන

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 80කි.

මාස කීපයකට වරක් වෛද්‍ය උපදෙස් ලබා ගත්තත් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග නොමැති බව එහිදී පැවසේ. එහෙත් නිතර රාත්‍රියේ පැය දෙකකට පමණ වරක් මුත්‍රා කිරීමට සිදු වේ. එය නින්දට බාධාවකි. මල පිට කිරීමේදී වියළි තත්ත්යක් පැවතීම නිසා පිට කිරීම අසීරුය. ඒ සඳහා ඖෂධ ලබා ගැනුණ ද අපහසුතාවය මඟහැරුණි. මේ සඳහා ගත හැකි සාර්ථක ප්‍රතිකාර ක්‍රමය කවරේදැයි පහදා දෙන්න.

පිළිතුර

මලබද්ධය තිබෙනවා නම් එය වයස්ගත වීමත් සමඟ ඇති විය හැකි තත්ත්වයකි. ඒ නිසා වැඩිපුර ජලය පානය මෙන්ම පලතුරු ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. ආහාර ගැනිමේදී බ්ලෙන්ඩර් කර ගැනීමට උත්සාහ කරන්න. එසේම බණ්ඩක්කා, වැටකොලු, පතෝල වැනි ආහාර ගැනීමට උනන්දු වන්න. වැඩිපුර කෙඳි සහිත ආහාර ගැනීම අවම කරන්න.

ඒ ක්‍රමයටත් අඩුවක් නොමැති නම් වෛද්‍ය පරීක්ෂාවකට ලක්විය යුතුයි. ඒ අනුව ප්‍රතිකාර කිරීම අවශ්‍යයි.

අවු. 29යි කොණ්ඩේ සුදු වීම නවත්වාගන්නට බැහැ

ප්‍රදීපා - කුරුණෑගල

මහනුවර ශික්ෂණ රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

චාන්දනී උඩගෙදර

ගැටලුව

වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 29කි. මාගේ හිසකෙස් අධික ලෙස සුදු වී ඇත. විවිධ වර්ගයේ තෙල් වර්ග භාවිතා කළෙමි. එහෙත් එහි අඩු වීමක් දක්නට නොමැත.

මා විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණියකි. මේ තත්ත්වය නිසා මා දැඩි අපහසුතාවයකට ලක් වී සිටිමි. මේ සඳහා කළ හැකි සුදුසු ප්‍රතිකාරයක් දක්වන්න.

පිළිතුර

සුදු වූ හිසකෙස් කළු කිරීමට ක්‍රමයක් නැහැ. නමුත් සුදු වීම වර්ධනය වීම වළක්වා ගත හැකියි. ඔබ පවසා ඇති ආකාරයට තෙල් වර්ග බොහොමයක් භාවිතය එතරම් සුදසු නැහැ. එය සුදු වීම වේගවත් වීමට බලපෑම් ඇති වේ.

කෙසේ වෙතත්, වැඩි වශයෙන් තෙල් වර්ග භාවිතය අවම කර ගත යුතුයි. එය සුදු වීම පාලනය වීමට උපකාරී වේ. එසේම හිරු එළියට නිරාවරණය වීම අවම කරගත යුතුයි. මේ තත්ත්වයට ශරීර අභ්‍යන්තරයේ බලපෑමක් ඇත්දැයි සොයා බැලීමට රුධිර පරීක්ෂාවක් කළ යුතුයි. ඒ නිසා චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසී උපදෙස් ලබාගන්න.