හදවතේ වේග රිද්ම ගැටලුවලට නවීන ප්‍රතිකාර මගින් සුවයක්

හදවතේ වේග රිද්ම ගැටලුවලට නවීන ප්‍රතිකාර මගින් සුවයක්

3D Mapping

අප වටා පවතින අති මහත් විශ්වයට පවා රිද්මයක් ඇති බව අපි විශ්වාස කරමු. එලෙසම අපේ හදවතට ද රිද්මයක් ඇත. නමුත් මේ රිද්මය වෙනස් වූ කල එමඟින් අපගේ ජීවිතයට ද යම් ගැටලු ඇති කළ හැකි බව අපි හොඳින්ම දනිමු. අප පසුගිය සතියේ් විස්තර කරනු ලැබුයේ එවැනි තත්ත්වයක් පිළිබඳවය.

ඒ ආකාරයෙන් අපේ හදවතේ රිද්මයේ වෙනසක් වූ කල එය පරික්ෂණයක් මාර්ගයෙන් නිශ්චිතව හඳුනා ගනිමින් හා ඊට අදාළ වූ ප්‍රතිකාරය ද ලබා දෙන සුවිශේෂ ක්‍රමවේදයක් අද ඔබට හඳුන්වා දෙන්නෙමු.

කැතීට ර් ශල්‍යාගාරයේ විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ වෛද්‍යවරුන් ඇතුළු කාර්යය මණ්ඩලය

අපේ හදවතේ ඇතිවන රිද්මයේ ගැටලු හඳුනා ගැනීමට සිදු කරන මේ පරීක්ෂණය බොහෝදුරට සිදු කරනුයේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයට සමානවය.

අපේ සිරුර පුරා හොඳින් රුධිරය සංසරණය වීමට නම් හදවත ක්‍රමානුකූලව ස්පන්දනය වීමට අවශ්‍යය. ඒ ක්‍රියාවලිය සිදු වීමට විද්‍යුතයක් අවශ්‍ය වේ. ඊට අදාළ විද්‍යුත් පද්ධතියක් අපේ හදවතේ පවතී.

හදවතේ කර්ණිකා හා කෝෂිකා (හදවතේ ඉහළ හා පහළ කුටීර) අතර ගමන් කරන මෙම විද්්‍යුත් පද්ධතිය හදවතේ නිශ්චිත ස්ථානයකින් ආරම්භ වී ක්‍රමානුකූලව හදවත පුරා ගමන් කරයි. එනම් එමඟින් හදවත ක්‍රමානුකූලව ලිහිල් වීම හා සංකෝචනය වීම සිදු වේ.

නමුත් යම් පුද්ගලයින්ගේ හදවතේ විද්්‍යුත් පද්ධතිය මේ ක්‍රමානුකූල ගමන් මාර්ගය වෙනස් වීමෙන් වෙනත් මාර්ග ඔස්සේ අවිධිමත් ලෙස ගමන් කිරීමේ ගැටලු පවතී.

බොහෝ අයට මේ තත්ත්වය උපතින්ම පැවතිය හැක. නමුත් එය බොහෝවිට උපතින් දිගුකාලයකට පසුව මතු වීමේ හැකියාවකින් යුක්තය. එහිදී එවැනි පුද්ගලයකුගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගැනීමක් සිදුවෙයි.මේ ගැටලුකාරී තත්ත්වයේදී ක්‍රමානුකූලව විද්්‍යුත් පද්ධතිය හදවතේ ගමන් කරනවා වෙනුවට බොහෝවිට හදවතේ වෙනත් ස්ථාන ආශි‍්‍රතව සංසරණය වීමක් සිදුවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගනියි.

මෙවැනි අවස්ථාවකදී රෝගියාට විවිධාකාර වූ රෝග ලක්ෂණ පහළ විය හැක. එනම් සමබරතාව ගිලිහී යෑම සිත එක අරමුණක රඳවා ගැනීමේ නොහැකියාව ක්ලාන්ත බව, හිසරදය ,පපුවේ වේදනාව ආදී රෝග ලක්ෂණ රෝගියාට ඇතිවිය හැක. මෙවැනි තත්ත්වයකදී එය හඳුනා ගැනීම වැදගත් වන බැවින් ඒ සඳහා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ වේ.

කැතීටර් ශල්‍යාගාරය සූදානම් කෙරෙමින්...

නමුත් රෝගියා සඳහන් කළ රෝග ලක්ෂණ සමහර විටෙක ඊසීජී පරීක්ෂණයකින් හෝ හෝල්ටර් මොනිටර් පරික්ෂණයකින් පවා හඳුනාගත නොහැකි විය හැක.

එවැනි අවස්ථාවකදී තවදුරටත් එහා ගිය පරීක්ෂණයක් ලෙස සිදුවන පරීක්ෂණයක් වශයෙන් ද මෙය හැඳින්විය හැක.

පරීක්ෂණය සිදුකෙරෙන ආකාරය

ශල්‍යාගාරයක් තුළදී රෝගියාගේ පාදයේ රුධිර වාහිනියක් තුළින් හදවතට කැතීටරයක් යවා එමගින්

රෝගියාගේ අසාමාන්‍ය වේග රිද්ම කෘත්‍රිමව යළි ඇති කිරීමට උත්සාහ ගැනීම මෙහිදී සිදුවේ.

මෙහිදී රෝගියාගේ හදවතට බාහිරින් ලබාදෙන අක්‍රමවත් ස්පන්දන රටාවන් ඇසුරෙන් යම් සැඟවුණු වේග රිද්මයක් ඇත්දැයි හඳුනා ගැනීමට හැකියාව පවතී.

මේ පරීක්ෂණය ආශ්‍රයෙන් යම් අසාමාන්‍ය විද්‍යුත් රටාවක් ඇතැයි හඳුනා ගත්තේ නම් එතැන් සිට ඊට අදාළ ප්‍ර‍්‍රතිකාරය ලබාදීම ආරම්භ කෙරේ.

මෙහිදී ප්‍රතිකාර හා අදාළ මිනුම් ලබා ගැනීම සඳහා වූ කැතීටර යෙදීම සිදුවේ. එයද පෙර සඳහන් කළ ආකාරයෙන් ම රෝගියාගේ පාදයේ රුධිරවාහිනියක් තුළින් යෙදීමෙන් සිදු කරයි. එම ප්‍රතිකාරක කැතීටර ඇබ්ලේෂන් කැතීටර් (ඒඡතචබඪධද ඛ්චබඩඥබඥප) යනුවෙන් ද හඳුන්වයි. මේ හරහා නිවැරදිව හදවතේ අසාමාන්‍ය විද්‍යුත් පරිපථයෙන් නිකුත්වන රටාවන් හඳුනා ගනිමින් දත්ත ගණනය කිරීමක් සිදුකරයි. එමඟින් එම ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබා ගනී.

එසේ හඳුනාගත් ඒ විශේෂ සෛල වෙතට රේඩියෝ තරංග මඟින් විශේෂිත වූ තාපයක් යවා ඒ අසාමාන්‍ය විද්‍යුත් පරිපථය බිඳ දැමීම මෙමගින් සිදුකරයි. එනම් ඒ විශේෂිත සෛල දහනය කර දැමීමක් සිදුකරයි.

එමඟින් නැවත එම අසාමාන්‍ය විද්‍යුත් පරිපථය ක්‍රියාත්මක වීමට අවස්ථාවක් ඇති නොවේ. තවද බොහෝ වේග රිද්ම මේ ක්‍රමයෙන් සාර්ථකව සුව කිරීමේ හැකියාව ද පවතී. එහි ඇති විශේෂත්වය නම් මේ ප්‍ර‍තිකාර ක්‍රමයෙන් සුවය ලැබූ පුද්ගලයකු හට නැවත සිය ජීවිත කාලය පුරාවට ම මේ තත්ත්වය වෙනුවෙන් කිසිදු ඖෂධයක් ලබානොගෙන ජීවත් වීමට ඇති හැකියාවයි. මෙය විශේෂිත තත්ත්වයකි.එමෙන්ම මෙය ඉතා නවීන ප්‍රතිකාර ක්‍රමයකි.

3D Mapping  

ඉහත ප්‍රතිකාරය සඳහා භාවිත වන මේ නවතම ක්‍රමවේදය දැනට භාවිත වනුයේ කොළඹ ජාතික රෝහලේ පමණි.ප්‍රතිකාර සිදු කරන අවස්ථාවේදීී ම හදවතේ ත්‍රිමාණ රූපයක් නිර්මාණය කර ගැනීමට ඇති හැකියාව මෙහි විශේෂත්වයයි. මෙයද සිදු කරනුයේ කැතීටර ආධාරයෙනි.

එම ත්‍රිමාණ ආකෘතියේ ආධාරයෙන් ඉතා නිවැරදිව අදාළ ස්ථානයට ම ප්‍රතිකාර ලබාදීමේ හැකියාව පවතී. විශේෂයෙන් ඉතා සංකීර්ණ වේග රිද්ම ගැටලු සහිත රෝගීන් හට මෙම ක්‍රමය ඔස්සේ ඉතා සාර්ථකව ප්‍රතිකාර ලබාදීමේ හැකියාව පවතී. එහි ඇති තවත් විශේෂත්වයක් නම් එම ත්‍රිමාණ ආකෘතිය හේතුවෙන් ්මෙවැනි ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන එක්ස් කිරණ භාවිතය ද අවම කිරීමේ ඇති හැකියාවයි.

හදවතේ අසාමාන්‍ය ගැස්ම වර්තමානයේ බොහෝදෙනෙකු අත් දකින බහුල තත්ත්වයකි. එවැනි විටෙක ඉතාමත් කඩිනමින් නිවැරදි රෝග විනිශ්චයකට එළැඹීම බොහෝ වැදගත්ය. මෙවැනි පරික්ෂණ හා දියුණු ප්‍රතිකාර ක්‍රම ඊට මනා සහයක් සපයන බැවින් අප ඒ පිළිබඳ වැටහීමක් ලබා තිබීම සුව දිවියට අත්‍යවශ්‍ය සාධකයක් බව ද වටහා ගනිමු.