අනේ මාමේ මට යන්න දෙන්න මට බයයි

අනේ මාමේ මට යන්න දෙන්න මට බයයි

ළමා කාලය කියන්නේ සමනළයෙක් වගේ ලස්සන සැහැල්ලු කාලයකට. ඒ වගේම තමයි තරමක් හෝ රළු පරලු යමක වැදුණොත් තුවාල වෙන්නෙ ජීවිතය පුරාවටම මහා ලොකු කැලලක් නැත්නම් තුවාලයක් ඉතිරි කරගෙන. සමහර වෙලාවට අත්තටු කැඩිලා ඉගිලෙන්න බැරි සමනළයෙක් වගේ, ජීවිතයම නාස්ති වෙලා යයි.

මේ වගේ සිද්ධීන් ගැන අපි ඕනෑ තරම් අහලා තියෙනවා. නමුත් ඇතැම් සිද්ධීන් ගැන නොකියාම බෑ. මොකද මේ වගේ සිද්ධීන් ගැන අහලා දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි. කාගේ උනත් පරිස්සම ගැන කලින්ම හිතන්න ඕනෑ නිසයි මේ කතා ඔබ අතරට ගෙන්නේ.

මහනුවර ශික්ෂණ මහ රෝහලේ ලිංගික හා ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගංඟා පතිරණ මහත්මිය සිය අත්දැකීම් අනුව ගෙන ආ තොරතුරුයි මේ.

මනංකල්පිත නම් ගම් සමඟින් තොරතුරු ගෙන එන්නේ තම තමන්ගේ පෞද්ගලිකත්වය කාටත් වැදගත් නිසයි.

කාලයක්ම සුරා සූදුවෙන් තොරව හිටපු තාත්තා ආයෙත් හැමදාම හවසට බොන්න පටන් ගත්තා. උදේ ඉඳන් තේ ගස් අතරේ හිරවෙලා අම්මාත් හවසට ගෙදර එන්නේ හෙම්බත් වෙලා. රෑට පාඩම් කරන්න තියා නිදහසේ කාල බීලා නිදාගන්න පුළුවන් වාතාවරණයක්වත් තිබුණෙ නෑ. මේ නිසාම අම්මා තීරණය කළා රට යන්න. මම අම්මාට පොරොන්දු වුණා මල්ලිලා දෙන්නව බලාගෙන ගෙදර වැඩත් කරගෙන ආච්චි අම්මාත් එක්ක ඉන්නම් කියලා.

අම්මා ගියා. හැම මාසෙම සල්ලි එව්වා. අපි ඉස්කෝලෙ ගියා. තාත්තා පුරුදු විදිහටම හවසට කට ගොන්නක් බීගෙන ආවා. ඒත් අපි අපේ වැඩ කරගෙන හිටියා. අල්ලපු ගෙදර හිටියේ තාත්තාගේ නංගි. එයාලත් අපි ගැන හැමවෙලාවෙම හොයලා බැලුවා. එහෙ පොඩි මාමගේ මල්ලී මටයි මල්ලිලාටයි ගණන් කියලා දුන්නා. අපි නිතරම එහෙ ගියා ආවා. දවසක් මම ඉස්කෝලේ ගියේ නෑ.

“සුරනි එන්න ගණන් කියලා දෙන්න කියලා පොඩි මාමගේ මල්ලී සරත් මාමා කතා කළා. සාමාන්‍ය පෙල විභාගයට තව මාස හයක් විතර තිබුණත් මම හිතාගෙන හිටියේ කොහොමහරි කලින්ම පාඩම් වැඩ ඉවර කරගෙන හොඳට විභාගෙට මුණුණ දෙනවා කියලා. උදේ වරුවෙන් ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන් නිසා මම ගණන් අහගන්න පොඩි මාමලාගේ ගෙදර ගියා.. එදා එහෙත් කවුරුත් නෑ. සරත් මාමා ඉස්තෝප්පුවෙ දොර ජනෙල් ඇරලා එළියට පේන තැනකට මේසේ ඇදලා පාඩම් කියා දෙන්න පටන් ගත්තා. පැය භාගයක් විතර පාඩම කියාදීලා ගණන් වගයක් හදන්න දුන්නා. මම ගණන් ටික හදනකල් එයා පත්තරයක් බැලුවා.

ඒ වෙලාවේ මගෙ කකුලේ සරත් මාමගේ කකුල කීපවරක්ම ගෑවෙනවා දැනුණා. ඊළඟට වුවමානාවෙන්ම එයාගේ කකුලෙන් මගේ කකුල පිරිමදිනවා වගේ දැනුණා. මම ඔලුව ඉස්සුවේවත් නෑ. මං ගණන් හදමින්ම හිටියා. සෑහෙන වෙලාවක් ගියාට පස්සේ මං කිව්වා ගණන් හදලා ඉවරයි කියලා.

එතකොට එයා මා දිහාම බලාගෙන ඉන්නවා.

“ඔයා හරි ලස්සනයි සුරනි හොඳට ඉගෙන ගන්න මං ඔයාට උදව් කරන්නම්” සරත් මාමා කිව්වා.

ඒ ගමන් එයා පුටුවෙන් නැගිටලා ගේ ඇතුළට ගියා. “සුරනි මෙන්න බිස්කට් තියෙනවා කන්න එන්න” මාමා කතා කළා. මං කුස්සිය පැත්තට යද්දී ඒ ළඟ තිබුණ කාමරයක ඉඳලා සරත් මාමා මාව ඇදලා අරං තුරුළු කරගත්තා.

“අනේ මට යන්න දෙන්න මාමේ මට බයයි” මම සිය සැරයක් කියන්න ඇති. ඒත් සරත් මාමා “බයවෙන්න එපා ළමයො මං ඉන්නවානේ” කියලා කියන ගමන් මගේ මුළු ඇඟම අතගාන්න ගත්තා. ඊට පස්සේ සිද්ධ වුණ කිසිම දෙයක් කාටවත් කියන්න එපා කියලා සරත් මාමා මාව පොරොන්දු කරගත්තා. ආයේ කවදාවත් එහෙම වෙන්නෙ නෑ කියලත් එයා කිව්වා.

ඔය පසුගිය මාර්තු මැද හරියෙ දවසක්

ඊට පස්සේ සාමාන්‍ය විදිහට දින සති මාස ගෙවිලා ගියා.

දැන් දවස් කීපයක ඉඳලා මට කැරකිල්ල වගේ. පාඩම් කරන්න ගන්නකොටම නිදිමතයි. කන්න පිරියකුත් නෑ. ඒකයි බෙහෙත් ගන්න ආවේ.” සුරනි කියාගෙන කියාගෙන ගියා. ඒ වෙලාවේ බාහිර ප්‍රතිකාර ඒකකයේ හිටපු වෛද්‍යවරයා සුරනිව ලිංගික හා ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ වෛද්‍යවරයාට යොමු කළා.

ඇය සියලු තොරතුරු විමසා බලා සුරනිව වෛද්‍ය පරීක්ෂණයට යොමු කළා. මූලික පරීක්ෂණයේදීම සනාථ වුණා. ඇය ගැබ්ගෙන ඇති වග. රෝහලට පැමිණ සිටියේ ඇයගේ බාල සහෝදරයා සමඟ නිසාවෙන් ඉදිරිය පිළිබඳ තීරණ ගැනීම ගැටලු සහගත වුණා.

“පුතේ ඔයා ගැබ්ගෙන සිටිනවා” කියා වෛද්‍යවරිය පැවසූ මොහොතේ ඇය කියා සිටියේ “අනේ ඩොක්ටර් මට දෙසැම්බර් විභාගෙ ලියන්න ඕනෑ. අම්මා රට. එයා දැනගත්තොත් දුක උහුලගන්න බැරිවෙයි ඒ නිසා මේක අයින් කරලා දෙන්න...”

ලංකාවේ නීතිය හැටියට කලලයක් ඉවත් කරන්න රෝහලකට වෛද්‍යවරයෙකුට කොහෙත්ම ඉඩක් නෑ. මේ රටේ දරුවෝ නැතුව පසුතැවෙන වැඩිහිටියො ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ ගැන සාකච්ඡා කරන්න පියා සමඟ හෝ පවුලේ වගකිව යුතු වැඩිහිටියෙක් සමඟ මා ළඟට එන්න. වෛද්‍යතුමිය පැහැදිලි කළා. ඒ අතර අවශ්‍ය උපදේශන ලබා දුන්නා.

ගැහැණු දරුවෙකුගේ ජීවිතයේ වැදගත්ම වටිනාම දෙය වන පතිවෘත්තාවය ආරක්ෂා කර ගැනීමට ගැහැණු ළමයෙක් හිතට ගන්නම ඕනෑ. තමන්ගේ ලිංගික ප්‍රදේශය ආරක්ෂා කරගන්න ඕනෑම දරුවෙකුට පුළුවන්. මව්පිය රැකවරණය අවම නම්, තනිවම තමන්ගේ අනාගතය සැලසුම් කරන්න වයස අවුරුදු පහලොවක දරුවෙකුට පුළුවන්.

පවුලේ දරිද්‍රතාවය, ජීවිතය කෙලෙසා ගැනීමකට හේතු වන්නේ නෑ. ගෑණු දරුවෙක් කිසිම පිරිමියෙකුගේ වචනයකට, ස්පර්ශයකට වහ වැටිලා ජීවිතේ නාස්ති කරගන්න එපා.