රෝග ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වෙද නලාව

රෝග ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වෙද නලාව

හැමදාම ලෙඩ රෝග ගැන කතා කරන අපි අද ලෙඩක් නොවන මාතෘකාවක් තෝරා ගත්තා. පාඨක ඔබ සැමට කුතුහලයක් ඇතිකරලා තියෙන, දොස්තර මහත්තයකුගේ වෘත්තියේ සංකේතයක් බඳු වූ ඔබගේ ලෙඩ දුක් හඳුනාගන්නා ‘වෙද නලාව’ ගැන (Stethoscope) සුලමුල අද අපි විමසලා බලමු.වෙද නලාව ගැන කියලා දෙන්න ඉස්සෙල්ලා මේකේ ඉතාමත් රසවත් වූ ඉතිහාස කතාවක් ගැන කියලා ඉන්නම්. මේක සිද්ධ වුනේ ක්‍රි. ව. 1816 දී ඒ කියන්නේ මීට වසර 200කට පමණ පෙර කාලයේ දී. ඒ කාලේ “වෙද නලාවක්” කියලා උපකරණයක් වෛද්‍යවරුන්ට තිබුණේ නැහැ. වෛද්‍යවරු රෝගින් පරීක්ෂා කළේ පපුවට හා පිටට තමන්ගේ ‘කන’ තියලා, කනට ඇසෙන හෘදයේ හා පෙනහලුවල ශබ්දය මගින්. වර්ෂ 1816 දී දවසක් මේ “වෙද නලාව“ සොයාගත්තු Rene Laennec නම් වූ ප්‍රංශ ජාතික වෛද්‍යවරයා, පැරිස් නුවර පිහිටි තමන් සේවය Necker – Enfants Malades නම් වූ රෝහලේ, රෝගින් පරීක්ෂාවේ යෙදෙන විටෙක, ඇඟපත තරබාරු මහත එක්තරා කාන්තාවක් පරීක්ෂා කිරීමට සිදුවුණා. තමන්ගේ තරබාරු පපුව ප්‍රදේශයට වෛද්‍යවරයා කන තියලා බලනවාට මේ කාන්තාව කැමති වුණේ නැහැ. මඳක් කල්පනා කළ වෛද්‍යවරයා අසල ඇති ඝනකම් කාඩ්බෝඩ් කඩදාසියක් රෝල් කර එක් කොනක් රෝගියාගේ පපුවටත් අනික් කොන තමන්ගේ කනටත් තබා පරීක්ෂා කර බැලුවා. අදහාගත නොහැකි විදියට හෘදයේ ශබ්දය ඒ මගින් ඉතාමත් පැහැදිලි ලෙස ඇසුනා. මෙම වෛද්‍යවරයා මෙම සරල උපකරණය වැඩිදියුණු කළා. ලී වලින් සෑදුනු බටයක් විලසට ඉතාමත් ප්‍රාථමික වූ “වෙද නලාව“ ලොවට බිහිවුණා. එය කෙමෙන් කෙමෙන් දියුණු වී අද අපි වෛද්‍යවරුන්ගේ කරවටා දකිනා නවීන “වෙද නලාව” දක්වා දිගු ගමනක් පැවතියා.

මොකක්ද මේ “වෙද නලාව“ කියලා අපි පැහැදිලි කර ගනිමු. වෙද නලාව සමන්විත වෙන්නේ රෝගියාගේ ශරීරය මත තියනා රවුම් හැඩයේ කොටසත්, එයට දැනෙනා ශබ්දය කන්දෙක වෙත ගෙන යන රබර් වැනි ද්‍රව්‍යයකින් සෑදුනු බට යුගලයක් හා කනට සවිවෙන රබර් හෝ ප්ලාස්ටික් කොටස් දෙකක් මගින් බව සඳහන් කළ හැකියි. මේ කොටස් මගින් රෝගියාගේ ශරීරය තුළ ඇති ශබ්දය වෛද්‍යවරයාගේ කන් දෙක වෙත යොමු කරනු ලබනවා.

සාමාන්‍යයෙන් වෙද නලාවක් මගින් විවිධ ප්‍රයෝජන අත්කර ගනු ලබනවා.

මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කෙරෙන්නේ “හෘදය වස්තුවේ” ඇති ශබ්දයයි. නිරෝගි හෘදය වස්තුවක් එහි තුළ ඇති කපාට (Valve) ඇරීමේදී හා වැසීමේදී හා ඒ තුළින් රුධිරය ගමන් කිරීමේ දී කිසියම් ආකාරයක ශබ්දයක් නඟනවා. ඒ වාගේම එම නිරෝගි හෘදය වස්තුවේ රිද්මය වෛද්‍යවරයා හොඳින් අඳුනනවා. සමහර රෝගී අවස්ථාවලදී හෘදය වස්තුවේ ගැහෙනා වේගය, රුධිර ගමනය අඩු වැඩිවීම කපාටවල වෙනස් වූ හෝ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය ඒ ඒ අවස්ථාවල ශබ්දයේ ඇතිවන වෙනස්කම් මගින් වෛද්‍යවරයාට නිගමනය කළ හැකි වෙනවා.

මේ මගින් එහි ඇති ලෙඩ රෝග අඳුනා ගනු ලබනවා. මීට අමතරව අපි හුස්ම ගැනීමේ දී හා හුස්ම පිට කිරීමේ දී පෙනහලු වලින් ද රිද්මයානුකූල ශබ්දයක් නැඟෙනවා. පෙනහලුවල ඇති සෙම් රෝග, විෂබීජ ආසාදන, වතුර හෝ එවැනි දියර එකතුවීම, හුස්ම ගමන් කරනා නාල අවහිර වීම ආදී වෙනස් වූ හෝ අසාමාන්‍ය තත්ත්වයන්වලදී ඇතිවන වෙනස් වූ රිද්මයන් “වෙද නලාව” මගින් හඳුනා ගත හැකි වනවා. මේ මගින් වෛද්‍යවරයා ඉතා පහසුවෙන් අදාළ රෝග හඳුනා ගනු ලබනවා. බඩවැල්වල ශබ්ද ද මේ ආකාරයට ඇසිය හැකි වනවා.

මීට අමතරව රුධිර නහරවල ඇති සාමාන්‍ය රුධිර ගලනය කිසියම් හේතුවක් නිසා වැඩිවූ විට හෝ අසාමාන්‍ය වූ විට එම නහරගත ආබාධ ද වෙද නලාව තුළින් ග්‍රහණය කර ගත හැකි වනවා. රුධිර පීඩනය (Blood Pressure) මැනීමේ දී ද වැලමිට ඉදිරිපස ලේ නහරය තුළ ලේ ගමනාගමනය ‘වෙද නලාව‘ මගින් ඇසීමට සැලැස්වීමෙන්, රුධිර පීඩනය මැනගනු ලබනවා. ඔබගේ වෛද්‍යවරයා, ඔබගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමේ දී, තමන්ගේ ‘වෙද නලාව‘ වැලමිට ඉදිරිපස තබා අසන්නේ එම ශබ්දය යි.

අද දවසේ ඉතා දියුණු වූ විද්‍යාව මගින් නොයෙකුත් තාක්ෂණික උපක්‍රම හා විධික්‍රම (උදා. X-RAY,  ස්කෑන් පරීක්ෂණ, CT SCAN ආදිය) මගින් රෝග හඳුනා ගත්තද, අතීතයේ දී නොදියුණු තාක්ෂණික ක්‍රම හමුවේ “වෙද නලාව” ඉටුකළ කාර්යභාරය සුළුපටු නොවන බැව් සඳහන් කළ යුතු වෙනවා.