විලුඹේ වේදනාවට ආයුර්වේද ප්‍රතිකාර

විලුඹේ වේදනාවට ආයුර්වේද ප්‍රතිකාර

ශරීරයේ මුළු බර නිරන්තරයෙන්ම විලුඹ දරා සිටියත්, විලුඹේ වේදනාවක් නම් දැරිය නොහැකියි. ඒ තරමටම විලුඹ වේදනා සහගත වන බැවිනි. බොහෝ පිරිස් මේ විලුඹේ වේදනාව නිසා පීඩාවට ලක්වීම අද බහුලව දැකිය හැකියි. කාන්තාවක් වන ඔබට නම් මෙය අත්දැකීමෙන් නොඅඩුව ලැබෙන්න ඇති. අද කාන්තාවට මේ පීඩාව අතෝරක් නැතිව නැඟෙන මැසිවිලිවලින් පෙනී යන්නේ විලුඹ දැඩිව වෙහෙසට පත් කරන්නේ මේ වේදනාව නිසා බවයි. සමහරවිට අඩිය තබා ඇවිදීමට පවා නොහැකි තත්ත්ව හට ගනී. ඒ අත්දැකීමෙන් මිදෙන්නට අප කෙසේ ක්‍රියා කළ යුතුද යන්න දැනුවත් වීම වටිනා දෙයක් බැවින් මේ කරුණු ගැන ඔබ සැලකිලිමත් වීම වැදගත්.

විලුඹේ හට ගන්නා රෝග

බහුලවම වේදනා හට ගන්නා රෝග වශයෙන් වළලුකර සන්ධියේ ඇතිවන සන්ධිගත වාත රෝගය දැකිය හැකියි. මෙය බොහෝ තරබාරු බව නිසා හෝ අධික ව්‍යායාම්වල නිරතවීම නිසා වාත දෝෂ කෝප වීම මත හට ගැනෙන රෝගයකි. අධිකව වේදනා සහගත වේ. අනෙක් රෝගය නම් ආම වාත රෝගයයි. මෙම රෝගීන් හට ඉඳිමුම, සම රතු වීම හා උණ ගතිය සන්ධියේ පවතින උණුසුම් බව සහිතව ඇතිවන වේදනාව දැකිය හැකියි.

ඒ සමඟම ඇඳෙන් නැඟිට පාද පොළවේ තබන මොහොතේදී විලුඹේ කටුවක් ඇනෙන්නාක් බදු වේදනාවක් හට ගැනේ. එය වාත කණ්ටක රෝගයයි.

ගම්භීර වාතරක්ත රෝගයේදී පාදයේ ඉදිමුම සහිතව වේදනාව දැනේ.

මෙම විලුඹේ ඇතිවන රෝග අතරින් බොහෝ විට කාන්තාවන්ට ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වන රෝග තත්ත්වයක් ලෙස ගම්භීර වාත රක්ත රෝගය නම් කළ හැකියි.

ඇතිවිය හැකි පුද්ගලයන්

සුව පහසු ජීවිතයක් ගත කරන සුකුමාර ශරීරයක් සහිත අයට මේ රෝග තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි.

මේ රෝගය ඇතිවන්නේ ඇයි?

මෙම රෝග තත්ත්වයේ ලක්ෂණය වන්නේ වේදනාව සහ ඉදිමුමයි. සිරුරට අනවශ්‍ය අපද්‍රව්‍ය කොටස් මුත්‍රා මාර්ගයෙන් බැහැර නොවී එය තැන්පත් වීම නිසා සන්ධියේ ඉදිමුම ඇති වී වේදනාව හට ගැනේ. එය සිදුවන්නේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්ගේ විකෘතිතාවයක් නිසා රුධිරයේ පවතින යූරික් අම්ලය සාමාන්‍ය සාන්ද්‍රණයට වඩා වැඩි වීම මතයි. ඒ නිසා සන්ධිවල සෝඩියම් බයි යූරේට් සංයෝගය තැන්පත් වේ. එම තැන්පත් වීම නිසා සන්ධිවලට සිදුවන බලපෑම මත එහි ඉදිමුම හා වේදනාව ඇති වේ.

නිරෝගි පුද්ගලයකුගේ යුරික් අම්ලය රුධිරය (100 ථත) 1ථත ක නිශ්චිත මාත්‍රාවක් පවතී. එවිට අනවශ්‍ය කොටස් මුත්‍රා මාර්ගයෙන් බැහැරට යයි. නමුත් එසේ නොවේ නම් එය තැන්පත් වී රෝග තත්ත්වය තවත් උත්සන්න කරයි.

විලුඹේ වේදනාව ඇතිවීමට හේතු

මස් ආහාරයට ගැනීම වැඩිවීම (හරක් මස්, ඌරු මස්, කුකුළු මස්)

සියලුම උෂ්ණාධික මාළු වර්ග ගැනීම

විනාකිරි වැනි කාඩි වර්ග සීමාව ඉක්මවා ගැනීම

මත්පැන් අධික ලෙස පානය කිරීම

දිනපතාම මේ සිදුවන අසාමාන්‍යතාවය ජය ගැනීමට වකුගඩු සමත් නොවීම. නිසා යූරික් අම්ලයේ අධික බව නිසා රක්තය දූෂණය කරයි. මේ අනවශ්‍ය යූරික් අම්ලය නිසා සෝඩියම් බයි යූරේට් ස්වරූපයෙන් සන්ධි ස්ථානවල මෙන්ම අස්ථිවල,(කාටිලේජ) ස්නායුවල හා ඛණ්ඩරාවල තැන්පත් වේ. මේ අනුව මෙහි එන එක් ප්‍රතිඵලයක් වශයෙන් විලුඹේ වේදනාව දැක්විය හැකියි. මෙබඳු රෝගීන් තමාගේ මේ තත්ත්වය නොසලකා හැරියොත් රෝගය දරුණු තත්ත්වයට පත්විය හැකියි.

මෙහි පවතින රෝග ලක්ෂණ

විලුඹේ හම තුවාල වී ස්‍රාවයක් ගැලීම සමහරෙකුට දැකිය හැකියි.

ඩහදිය දැමීම අධික ලෙස පවතී

සිරුරේ මාංශ නලියන ගතිය දැනීම

වෙව්ලීම

සන්ධිය හැකිලීම

සන්ධියේ බර ගතිය දැනීම

රතු පැහැවිම

විලුඹේ සම සිනිදු වීම

සන්ධියේ දැවිල්ල ගතිය දැනීම

පුපුරු ගහන ගතිය දැනීම

විලුඹ තඹ පාටට හැරීම

කැසීම (කලාතුරකින්)

හිරියක් දැනීම

සමහරුන්ට සම වියළි ගතියක් දැනීම

ප්‍රතිකාර

මෙහි පවතින රෝග තත්ත්වය නිසා ආයුර්වේදයේ සඳහන් දෝෂ තත්ත්වය බැහැර කළ යුතුයි. ඒ නිසා පංචකර්ම සිදු කිරීම ඉතා යෝග්‍ය වේ. විශේෂයෙන්ම විරේචන කර්ම හා ස්නේහ කර්ම සිදු කිරීම යෝග්‍ය වේ.

වේදනාව හා රතු පැහැවීම බහුල නම් කූඩැල්ලන් මඟින් රක්ත මෝක්ෂණය කිරීම ඉතාම සුදුසුයි.

තදබල වේදනාවක් පවතී නම් ස්නේහයක් (ඖෂධීය පානයක්) පානයට දී විරේචනය කළ හැකියි.

මෙබඳු රෝගීන්ට සම්පූර්ණ සුවය ලබා ගැනීමට වස්ති කිරීමට ඉතා සුදුසු බව පර්යේෂණය මඟින් තහවුරු කර ඇත. එසේම ස්ථානීකව විවිධ ඖෂධ වර්ග ආලේප කිරීම සහ පානය කිරීම, තෙල් ආලේප කිරීම ඉතාම සුදුසුයි.

මානසික ආතතියෙන් මිදී සිටීම ඉතාම සුදුසුයි

ගම්භීර වාත රක්තයට ප්‍රතිකාර

මෑ දළු පොල් කිරෙන් තම්බා අඹරා ගාන්න

නිවිති කොළ අමු කහ එළකිරිවලින් අඹරා ගාන්න

ගොටුකොළ තලතෙල් වලින් අඹරා ගාන්න

මදුරු තලා කොළ මිටකට රතුළූණු ස්වල්පයක් දමා අඹරා තල තෙලන් මලවා ගාන්න

රණවරා මල්, රණවරා දළු, මිටිකිරි වලින් තම්බා අඹරා ගාන්න

පානයට

අරළු ගෙඩියක් කුඩුකර එයට උක් හකුරු දමා පානය කිරීම.

රසකිඳ තම්බා පානය කිරිම

මෙය පාරම්පරික රෝග තත්ත්වයක් නිසා එවැනි අයට මේ රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි. එවැනි අය උපතේ සිට ආහාර පාන වලින් ප්‍රවේසම්කාරී ලෙස පරිහහරණය කිරිම තුළින් මෙම රෝගය ඇතිවීම වලක්වා ගත හැකියි.

පළමුව කුඩා සන්ධිවල රෝග තත්ත්වය ඇතිකර ක්‍රම ක්‍රමයෙන් ලොකු සන්ධි කරා පැතිරී යාමේ හැකියාවක් මෙම ගම්භීර වාත රක්ත රෝගය තුළ පවතී. ඒ නිසා මෙහි භයානකම වන්නේ අවසානයේ එය දණහිස් සන්ධිය දක්වා වර්ධනය වීමයි. මෙහිදී ඇතිවන ඉදිමුම, රතුවීම, තදබල වේදනාව, දැවිල්ල, නැමීමේ අපහසුව නිසා රෝගියා දැඩි අපහසුතාවකට පත්විය හැකියි. මේ තත්ත්වයෙන් මිදීමට සුදුසු පරිදි ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.