උපත් පාලන පෙති නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද?

උපත් පාලන පෙති නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද?

ලිංගික ජීවිතය හා උපත් පාලනය අතර ඇත්තේ සමීප සබඳතාවක් බව අපි දනිමු. නිවැරදි උපත් පාලනය සාර්ථක ලිංගික ජීවිතයකට ඉතා වැදගත් සාධකයකි. විවිධ උපත් පාලන ක්‍රම අතුරින් උපත් පාලන පෙති, ඉතාමත් සුලබ හා බහුලව භාවිතයේ පවතින උපත් පාලන ක්‍රමයක් බවද අපි දනිමු.

නමුත් උපත් පාලන පෙති භාවිතය සම්බන්ධයෙන් ද බොහෝදෙනෙකු තුළ පවතින ගැටලු කීපයකි.

උපත් පාලන පෙති නිවැරදිව ලබා ගන්නේ කොහොමද? දිනපතාම ගත යුතුමද ඒවායේ යම් අතුරු ආබාධ පවතී ද, ආදී ගැටලු බොහෝ කාන්තාවන්ට පවතින පොදු ගැටලුය.

උපත් පාලන පෙති

උපත් පාලන පෙති යනු නිවැරදිව පාවිච්චි කරනවා නම් ඉතාම නිවැරදි හා සාර්ථක උපත් පාලන ක්‍රමයකි. තවද මේ ක්‍රමය අතුරු ආබාධ අඩු ක්‍රමයක් වන අතරම කාන්තාවන් වැඩි පිරිසකට ගැටලුවක් නැතිව දීර්ඝකාලීනව භාවිත කළ හැකි උපත් පාලන ක්‍රමයකි.

සැලකිලිමත් විය යුතු කරුණු කීපයක්

ඔබ උපත් පාලන පෙති පාවිච්චි කරන අයෙකු නම් එය දිනපතාම පාවිච්චි කළ යුතුය. අමතක වීම් මෙහිදී ගැටලු ඇති කරන ප්‍රධාන කරුණකි. එය උපත් පාලන පෙති භාවිතයේ ඇති දුර්වලතාවක් වශයෙන් ද සැලකිය හැකිය. තවද සමහර රෝගී තත්ත්ව වලින් පෙළෙන කාන්තාවන් හට මෙය නුසුදුසු විය හැක. එය උපත් පාලන පෙති භාවිතයට ඇති තවත් ගැටලුවකි. එසේම උපත් පාලන පෙති භාවිතයට යොමු වීමට පෙර වෛද්‍යවරයෙකු හමු වී තමාට යෝග්‍ය උපත් පාලන පෙති වර්ගය කුමක්දැයි දැන ගැනීම අවශ්‍ය වේ. තවද වසරකට වතාවක්වත් මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු මුණගැසී සාකච්ඡා කිරීම වැදගත්ය. ඊට අමතරව යම් යම් අවධීන්වලදී සෞඛ්‍යයේ ඇතිවන විවිධ වෙනස්කම් හෝ ගැටලු සහිත තත්ත්ව වලදීත් උපත් පාලන පෙති භාවිතය පිළිබඳ නැවත නැවත වෛද්‍යවරයා වෙත යොමු වී උපදෙස් ලබා ගැනීම ද අවශ්‍ය විය හැක.

මේවා උපත් පාලන පෙති ගැනීමේදී එහි පවතින අඩුපාඩු වශයෙන් හඳුනාගත හැක. එහෙත් උපත් පාලන පෙති අඩුපාඩුවලින් පිරුණු එකක්ම නොවේ.

උපත් පාලන පෙති භාවිතයේ ඇති වාසි

මෙමඟින් ඔසප් චක්‍රය ක්‍රමවත් කරයි. ආර්තවයේදි ඇතිවන අධික රුධිර වහනය මෙමඟින් අඩුවන අතර, ඇතිවන වේදනාව ද අඩු කරයි.

තවද උපත් පාලන පෙති භාවිතය යම් කතුන්ට විශාල වාසියක් ගෙන දෙන්නට ද සමත් වේ. එනම් සමහර රෝග තත්ත්ව පාලනය කරන ස්වභාවයක් මෙහි පැවතීම විශේෂත්වයයි. විශේෂයෙන් මෙමඟින් ඩිම්බකෝෂ පිළිකා හා ගර්භාෂ බිත්තියේ පිළිකා තත්ත්ව ඇතිවීම අඩුවන බව හඳුනාගෙන තිබේ.

උපත් පාලන පෙති භාවිතයේ අවාසි

ඊස්ට්‍රජන් හෝර්මෝනය නුසුදුසු කාන්තාවන්ට ද උපත් පාලන පෙති පාවිච්චිය සුදුසු නොවේ.

එමෙන්ම උපත් පාලන පෙති මඟින් රුධිර කැටි ගැසීමේ තත්ත්වයක් ඇති කිරීමේ හැකියාවෙන් යුතුය. එබැවින් එවැනි තත්ත්ව වලට අනාවරණය වීම නුසුදුසු කාන්තාවන්ට ද මෙය උපත් පාලන ක්‍රමයක් ලෙස සුදුසු නොවේ. තවද උපත් පාලන ක්‍රමයක් වශයෙන් උපත් පාලන පෙති භාවිතයේදී අමතක වීම් වැනි තත්ත්ව වලට පත් වුවහොත් උපත් පාලන පෙති පාවිචිචිය යම් විටෙක අනවශ්‍ය ගැටලු ඇති කළ හැකිය. එබැවින් එවැනි තත්ත්වයේ සිටින අය වෙනත් උපත් පාලන ක්‍රමයකට යොමුවීම සුදුසු වේ.

ලෝකයේ සෙසු රටවල උපත් පාලන පෙති භාවිත වන ක්‍රම ගණනාවක් ඇතත් ලංකාවේ පාවිච්චි වන ක්‍රම දෙකක් වේ.

එනම් පෙති 21ක් වශයෙන් හා පෙති 28ක් වශයෙන් ගන්නා ක්‍රමය වේ. එහිදී ඔබ දවස් 21ට ගන්නා පෙති ගන්නේ නම් දවස් 21 අවසානයේ දින හතක කාලයක් පෙති පාවිච්චි නොකර සිට 8 වැනි දිනයේ පටන් අලුත් පෙති පැකැට්ටුවක් ගෙන භාවිතයට ගත යුතු වේ.

එසේම පෙති 28 උපත් පාලන පෙති පැකැට්ටුවක් පාවිච්චි කරන්නේ නම් දිනපතා එක් පෙත්තක් බැගින් පාවිච්චි කර දින 28 අවසානයේ 29 වැනි දිනයේ සිට නැවත අලුත් පැකැට්ටුවක් ගෙන භාවිතයට ගැනීම කළ යුතුය.

ඒ අනුව නිවැරදිව, අවබෝධයෙන් යුතුව හා අදාළ ගැටලු හඳුනාගෙන භාවිත කරන්නේ නම් උපත් පාලන ක්‍රමයක් ලෙස උපත් පාලන පෙති, සාර්ථක උපත් පාලන ක්‍රමයක් වශයෙන් හඳුනාගත හැක.