ගංවතුර ඔබේ සෞඛ්‍යයට බැට දෙන හැටි

ගංවතුර ඔබේ සෞඛ්‍යයට බැට දෙන හැටි

දින ගණනාවක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව අප රටට ගෙන දුන්නේ දැඩි විපතකි. සුන්දරව ගලා ගිය කැළණි ගං කොමලිය ප්‍රචණ්ඩ විය. සිරිලක අසිරිය කියා පාමින් කන්ද උඩරට විරාජමානව වැජඹුණු කඳු ගැට නිමේෂයකින් නාය ගියේ ජිවිත ගණනාවක් බිලි ගනිමිනි. දෙගොඩ තලා ගිය ජල රකුසා අපේ පුංචි රටේ මිනිස් ජීවිත 73 බිලිගෙන 127ක් අතුරුදහන් කර 427,918ක් අවතැන් කර හමාරය.

කරක් උසට නැඟුණු ජල කඳේ සැඩ පහර කොතරම් ද කිවහොත් අඩි 10- 15 උසැති නිවාසවල වහලවල් පවා නොපෙනන තරමට වැසී ගියේය. ගැබිණි මව්වරු, දරුවන් ඇකයේ හොවා ගත් මව්වරුන්, වයසක උදවිය, රෝගීන් ඇතුළු සෑම සියලු දෙනාටම ඇදිවත පමණක් උරුම කරදී ඔවුන් අනාථයින් බවට පත් කිරිමට තරම් මේ දිය රකුසා සැහැසි විය.

ශ්‍රී ලංකීකයන් ලෙස මේ විපතේදී හැකි පමණින් අනාථ වූවන්ට පිහිට වන්නට දිගු කල සත්කාරයේ දෑත් සත්තකින්ම ප්‍රසංසනීයය. ත්‍රිවිධ හමුදාව, බෝට්ටු මඟින්, හෙලිකොප්ටර් මඟින් අනාථ වූවන්ට ආහාර පාන මෙන්ම අවශ්‍ය සියලු දෑ ලබා දීමට ඉදිරිපත් වූ අතර පන්සල් , පල්ලි, කෝවිල්, රජයේ ආයතන, මාධ්‍ය ආයතන, ස්වේච්ඡා ආයතන සමස්ථ ජනතාව ස්වේච්ඡාවෙන් මේ සඳහා ඉදිරිපත් විය.

නමුත් අද මා පවසන්නට යන්නේ ගං වතුර නැමැති රකුසා අපේ සෞඛ්‍යයට තර්ජන එල්ල කිරීමට බලා සිටින ආකාරයයි.

ඩෙංගු

ගංවතුර බැස යාමත් සමඟම නොයෙකුත් රෝගී තත්තවයන් හිස එසවීමට පටන් ගැනීම අරුමයක් නොවේ. ගංවතුරෙන් උන් හිටි තැන් අහිමි වී සිටිනන්ට ලෙඩක් දුකක් හැදුණහොත් ඔවුන් කබලෙන් ලිපට වැටෙනවා නොවේද?

ජලය සිඳී ගියද තැනින් තැන ඉතිරි වී ඇති සුළු ජල ප්‍රමාණයක් වුවද ඩෙංගු මදුරුවාට බිත්තර දැමීමට සුදුසු ස්ථානයකි. වැස්ස සහ ගංවතුර අවසන් වනවාත් සමඟම අපට ඉඟි කරන්නේ ඩෙංගු පැතිර යාමේ පූර්ව ලක්ෂණයකි්. ඇතැම්විට ගංවතුරෙන් බැට කෑ ඔබ ඩෙංගු මදුරුවාගේ ගොදුරක් විය හැක. එබැවින් ඉතා සුළු ජල ප්‍රමාණයක් රැඳෙන සියලු ස්ථානවල ජලය ඉවත් කර දැමිය යුතුය. යෝගට් කෝප්ප, ටොනික් මූඩි, පොල්කටු ආදිය වළලා දමන්න. හේතුව මෙවැනි ස්ථාන ඩෙංගු මදුරුවාගේ නවාතැන් වන බැවිනි.

වෛරස් උණ

වැස්සට තෙමී ගංවතුරේ එහා මෙහා යෑම සමඟ කාලගුණය වෙනස්කම් මත වෛරස් උණ පැතිර යාමේ අවදානමක් ද ඇත. වෛරස් උණ සහ ඩෙංගු මුලදී හඳුනා ගැනීම තරමක් අපහසු බැවින් දින 03 නොකඩවා තද උණ පවතින්නේ නම් නොපමාව වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගෙන රුධිර පරීක්ෂාවක් (ජ්ඕඛ්) කර ගන්න. එවිට තමන්ට වැළඳී ඇත්තේ ඩෙංගු ද වෛරස් උණ ද යැයි සැකහැර දැන ගත හැකිය. උණ ගණන් නොගෙන සිටීමෙන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පවා පත් විය හැකි බැවින් සැලකිලිමත් වන්න.

මී උණ

ගංවතුර නිසා මී උණ ඇතිවන භයානක රෝගී තත්ත්වයක් වනුයේ මී උණ තත්ත්වයයි. මීයන් පමණක් නොව වෙනත් සතුන්ගේ අසූචි ජලයත් සමඟ මිශ්‍ර වී ඇසට නොපෙනෙන තුවාලයකින් පවා විෂබීජ ශරීරගත වේ. ඹ්ඥනබධඵනඪපධඵඪඵ හෙවත් මී උණට නිසි ප්‍රතිකාර නොකළහොත් ඇතැම්විට මාරාන්තික තත්ත්වයක් උදාවිය හැක.

මී උණ ඍජුලෙස අක්මාවට, වකුගඩුවලට බලපෑම් සිදු කරන බැවින් රුධිර පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ මඟින් මී උණ වැලඳි ඇත්දැයි තහවුරු කරගත හැක.

රෝගය උග්‍ර වනවිට තද උණ, හිසරදය, මාංශපේෂි වේදනාව තදින් දැනේ.

ඩෙංගු, මී උණ, වෛරස් උණ හි මූලික ලක්ෂණය එක හා සමානය. පසුව රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වේ. එබැවින් මේ දිනවල ගංවතුරින් පීඩා විදි ඔබට උණක් වැළඳුනහොත් ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වන අතර ඔබ ගංවතුරින් බැට කෑ පුද්ගලයෙකු බව වෛද්‍යවරයාට පවසන්න. ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු හෝ මී උණ නම් මුල් අවදියේදීම ප්‍රතිකාර ගත් විට රෝගය සුව කර ගත හැකි නමුදු රෝගය උත්සන්න වන තෙක් සිටියහොත් මාරාන්තික තත්ත්වයට පවා පත්වීමට ඉඩ ඇත.

පාචනය,

ගංවතුරට පසු සුලභව දක්නට ලැබෙන තවත් රෝග නම් පාචනය, උණ සන්නිපතය, සෙංගමාලය (හෙපටයිටීස් ඒ) මේ රෝග තුනටම බලපාන ප්‍රධාන සාධකය වන්නේ අපිරිසිදු ජලය පානය හා අපිරිසිදු ආහාර අනුභව කිරීමයි. මෙම අවදානමෙන් බේරීමට නම් පිරිසිදු ජලය පානය කළ යුතු අතරම පිරිසිදුව පිළියෙල කළ ආහාර පමණක් ආහාරයට ගත යුතුය. ජලය හොඳින් නටවා පානය කළ යුතුය. නැවත නිවසට පදිංචියට යාමට ප්‍රථම විෂබීජ නාශක යොදා මුළු නිවසම පිරිසිදු කර ගන්න.

විශේෂයෙන් මුළුතැන්ගෙයි බඩු භාණ්ඩ, වැසිකිලිය ආදියෙහි විෂබීජ තිබෙන බැවින් විෂබීජ නාශක ද්‍රව්‍ය යොදා පිරිසිදු කර ගැනීම අත්‍යවශ්‍යය. එසේ නොමැති නම් විෂබීජ සහිත භාජන භාවිතා කළහොත් පාචනය ඇතිවීමට ඉඩ ඇත. කෑම උණුසුමේම ආහාරයට ගන්න.

එවිට ආහාර පිළුණු විමට ඇති ඉඩකඩ අවම වේ. පාචනය බෝවන රෝගයක් බැවින් මළපහ වැඩි වාර ගණනක් පිටවෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

ඇදුම-හතිය

ඇදුම හතිය විශේෂයෙන් කුඩා දරුවන්ට වැළඳීමට බෙහෙවින් ඉඩකඩ ඇත. සෙම් රෝග වලින් පීඩා විඳින අයට වැස්ස, ගංවතුර කොහෙත්ම අගුණය. හතිය, ඇදුම, පීනස් ආදී රෝගයන්ගෙන් පෙළෙන උදවියට තෙතමනය නිසා රෝගී තත්ත්වය වැඩිවිය හැක. කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට ඇදුම, හතිය තිබේ නම් තත්ත්වය උත්සන්න වීමට ඉඩ ඇත. එබැවින් වෛද්‍යවරයෙකු වෙත ගොස් වහාම ප්‍රතිකාර ගත යුතුය.

සෙලියුලයිටීස් සමේ රෝග

ගංවතුර අපවිත්‍රය. මේ අපවිත්‍ර ජලය සමඟ නිතර ගැටීම නිසා සම මතුපිට කැසීමක් හටගත හැකිය. මෙම තත්ත්වයේදී සමේ ඇතුළත පටකවල ආසාදනයක් හටගැනීමට ඉඩ ඇති අතර සෙලියුලයිටීස් තත්ත්වයක් ඇතිවිය හැක. සතුන්ගේ අසූචි, පණු බිත්තර මඟින් සමේ රෝග (හොරි) ඇතිවිමට පුළුවන. විශේෂයෙන් කුඩා දරුවන් අතර පැතිර යා හැකි මෙම තත්ත්වය දරුවන් ආරක්ෂා කර ගැනිමට නිතරම ඔවුන්ගේ දෙපා සබන් හා සනීපාරක්ෂ දියර යොදා නිතරම පිරිසිදුව තබා ගත යුතුය. එක් අයෙකුට මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්ය. හේතුව මෙය බෝ විය හැකි බැවිනි. මේ කරුණ පිළිබඳ දැඩි අවධානයෙන් සිටීමෙන් ගං වතුරෙන් ඔබේ සෞඛ්‍යයට වන හානිය වළක්වා ගත හැක.