ඇතැමුන් පරාජිත සිතුවිලි සමඟ ජීවත් වන්නේ ඇයි?

ඇතැමුන් පරාජිත සිතුවිලි සමඟ ජීවත් වන්නේ ඇයි?

ජීවිතයේ විවිධ කාලවලදී අප ලබන අත්දැකීම් එය නිසිපරිදි පවත්වාගෙන යාමට මනා පිටිවහලක්. එසේ වුවත් ඇතැම්විට දරුණු ඛේදවාචක කරාද මෙවැනි අත්දැකීම් ඇතැම් ජීවිත මෙහෙය වනු ලැබේ. නමුත් ගුණාත්මක මෙන්ම සෞඛ්‍ය සම්පන්න මානසික සුවතාවක් තිබෙන බොහෝදෙනෙකුට තමාගේ ජීවිතවලට කුමන ගැටලුවක් ඇති වුවද ඊට සාර්ථක ආකාරයෙන් මුහුණ දීමට ඇති හැකියාව පුදුමාකාරයි. විශේෂයෙන් ළමා කාලය තුළ පුද්ගලයෙකු ලබන අත්දැකීම්, අවබෝධයන්, සිතුවිලි ආදී වූ දේ ජීවිතයේ ඉදිරිය ශක්තිමත් කර ගැනීමට හේතුවනවා වගේම ඉදිරි ජීවිතයේ නොසිතූ ආකාරයේ මානසික ගැටලු ඇති කිරීමට ද හේතුවිය හැකි බවට උදාහරණ අවස්ථා ඕනෑතරම් සමාජය තුළ දැකගත හැකියි. එසේ කුඩා කලදී මනසට ඇතිවන බලපෑම් ඉදිරි ජීවිතයේදී ඇතැම්විට කායික වශයෙන් ගැටලු ඇති කරන මට්ටමට පවා පත්විය හැකියි. ඔවුන් එවැනි ශාරීරික අපහසුතාවලට, කෙතරම් කායික රෝග පිළිබඳ වෛද්‍ය සහාය පැතුවත් අවාසනාවට එම රෝගයේ හේතුව වන්නේ මානසික වශයෙන් ඇති වූ ගැටලුවක් බව අවබෝධ කර ගන්නේ නැහැ. මෙවර මානසික රෝග පිළිබඳ ලිපිය යටතේ සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවට “ජයන්තගේ කථාව“ ඉතා හොඳ පූර්විකාවක් වේවි.

“ජයන්ත විවාහ වන වයසේ තරුණයෙක්. ඒ පමණක්ම නොවෙයි. ඔහු විධායක නිලධාරියෙක්. විවිධාකාරවූ ශරීරික අපහසුතා වලින් පීඩා විඳි ජයන්ත, විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට පවා ලක් කළ ද කිසිම රෝග හේතුවක් හඳුනා ගැනීමට නොහැකි විය. වෛද්‍යවරු ඔහුට පැවසුවේ මෙම රෝගී තත්ත්වයට හේතුව මානසික වශයෙන් ඇතිවන බලපෑමක් බවයි. එසේ වුවත් තමා මානසික රෝගියෙකු ලෙසින් පිළිගන්නට ජයන්ත කැමති නොවුණි. තාවකාලිකව සුවපත් භාවයක් හිමිවන වේදනා නාශක මඟින් තමාගේ අපහසුතා යටපත් කරගත් ඔහුගේ මෙම හැසිරීම ඔහුගේ මවට දැඩි ගැටලුවක් ඇති කරවීය. අකමැත්තෙන් වුවත් මනෝ වෛද්‍ය සායනයකට යොමු කළ ජයන්තගේ මානසික ගැටලුවට හේතුව ඔහු කුඩා කල සිට මුහුණ දුන් විවිධාකාර මානසික පීඩනයන් බව ප්‍රතිකාර කිරීමේදී පැහැදිලි කරගත හැකි විය.

මේ සඳහා හේතු වන කරුණු කාරණා මොනවාද?

මෙවැනි රෝග තත්ත්වයන්ට හේතුවන කරුණු කාරණා රාශියක් පැවතිය හැකි අතර යම් අයෙකු කුඩා කාලයේදී ලබන අත්දැකීම්, පීඩනයන්, මේ අතර ප්‍රධාන වේ. එහිදී තමාගේ බලාපොරොත්තු කඩවීම්, පරාජය, අවශ්‍යතා ඉෂ්ඨ කර ගැනීමට නොහැකි විම, තර්ජනයන්, බලපෑම් ආදිය මූලික වේ. තවද සිතේ ඇතිවන විවිධාර වූ අස්වාභාවික සිතුවිලි, මතිමතාන්තර ද මේ හේතු අතරට එකතු කළ හැකියි. මීට අමතරව සිත තුළ තැන්පත්ව පවත්නා සිතුවිලි ද ඊට බලපාන අතර ඒවාට මුල් වන්නේ තමා ලද අත්දැකීම්, අවබෝධ, වැරදි මති මතාන්තර ආදියයි.

මෙවැනි රෝගීන්ගේ හැසිරීම

මෙම තත්ත්වයට පත් වූ අය නිරන්තරයෙන්ම අශුභවාදී පරාජිත සිතිවිලි සමඟ දිගින් දිගටම ජීවත් වේ. ඉතාම සරල බාහිර කරුණක් වුවද ඔවුන්ගේ ජීවිතවලට දැඩිලෙසට බලපෑමක් ඔවුන් විසින්ම ඇති කර ගන්නා අතර ඒවා පසුව රෝග ලක්ෂණ වශයෙන් ඉස්මතු වේ. මෙසේ ජීවත්වීම තුළින් මෙම මානසික ආතතිමය තත්ත්වය පසුකාලිනව කායික රෝග බවට පත්විය හැකියි. මෙවැනි ගැටලුකාරී තත්ත්වයන්ට පත් වූ අය මේ වන විට සමාජය තුළ බහුලව දැකගත හැකියි.

නමුත් අවාසනාවට ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති විය හැකි අතර තමාට මානසික රෝගී තත්ත්වයන් ඇති බව පිළිබඳවත් ඔවුන්ට අවබෝධයක් ඇත්තේ නැහැ. මෙවන් මානසික ගැටලුවකට මුහුණ දී ඇති තැනැත්තන් ගත කරන ජීවිතයේ ගුණාත්මක බව පිළිබඳව දෙවරක් සිතිය යුතු වේ. නිරෝගිමත් මානසික සෞඛ්‍යයක් හිමි දිවියකට උරුමකම් කියන්නට ඔවුන්ට නොහැක.

මෙවැනි රෝගී තත්ත්වයෙන් පීඩා විදින අයට සිදු කෙරෙන ප්‍රතිකාර කුමන ආකාරද?

මෙවැනි අයට ප්‍රතිකාරමය වශයෙන් ඉතාම සාර්ථක ප්‍රතිකාර වන්නේ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරයයි. (Psychological Treatments මෙය හුදෙක්ම උපදෙස් පමණක්ම ලබාදෙන ප්‍රතිකාර ක්‍රමයක් නොවේ.

යම් අයෙක් මෙවැනි මාසනික ගැටලුවකට ප්‍රතිකාර ලබා ගන්නවා නම් සෑම අවස්ථාවකදීම ඒ සඳහා විශේෂිත පුහුණුවක් ලැබූ විශේෂඥවරුන් මඟින් ප්‍රතිකාර ලබා ගත යුතුයි. මෙහිදී මනෝ විද්‍යාත්මක විශ්ලේෂණය, ඇගයීම මෙන්ම මනෝ විද්‍යාත්මකව රෝග විනිශ්චය සමඟ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර හරහහා ගුණාත්මක ජීවිතයක් කරා රෝගීන් යොමු කරනු ලැබේ.