වැඩිහිටි පිටගැස්ම

වැඩිහිටි පිටගැස්ම

දරුවකු මෙලොව බිහි වූ දා සිට ආරක්ෂිතව හදා වඩා ගැනීමට මව්පියවරුන්ට මෙන්ම සෞඛ්‍ය අංශයට ද මනා වගකීමක් පැවරේ. එබැවින් අවශ්‍ය කාල නිර්ණයන් අනුව එන්නත් කිරීම ඉතාමත් වැදගත් කාරණයකි. ඒ අනුව බැලූ කල පිටගැස්ම සඳහා ලබා දෙන එන්නත සම්බන්ධයෙන් මව්පියවරුන් මෙන්ම දරුවන් රැක බලා ගන්නා සියලු පාර්ශවයන් දැනුවත් විය යුතු බව එන්නත් හා වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය පෙන්වා දෙනවා. වෛද්‍යවරියගේ අදහස් විමසුමෙන් පිටගැස්ම එන්නත භාවිතා කළ යුතු ක්‍රමවේදය කවරේ ද යන්න පහදා ගත හැකිය.

පිට ගැස්ම කියන්නේ බැක්ටීරියාවක් මඟින් වැළඳෙන රෝගයක්. එය ස්නායු පද්ධතියට සංවේදීතාවයක් ඇති කරයි. ඉන් පසු මාංශපේශිවල තද ගතියක් ඇති වී ගැස්මක් ඇති වේ. කොන්ද ආශ්‍රිත මාංශ පේශිවල ගැස්මක් ඇතිවීම හේතුවෙන් මෙය පිට ගැස්ම ලෙස සලකනු ලබයි. සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ පිට ගැස්ම එන්නත දරුවන්ට ලබා දෙන ත්‍රිත්ව එන්නතට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව දරුවකුට මාස 2, 4, 6 සහ 18 ලෙස ත්‍රිත්ව එන්නතත් සමග ලබා දෙනවා.

පිටගැස්ම විෂබීජය තිබෙන්නේ පස තුළයි. යම් පුද්ගලයකුට තුවාලයක් වූ පසු තුවාලය හරහා මෙකී බැක්ටීරියාව ශරීරයට ඇතුළු වී විෂක් ඇති කරවීමට සමත් වෙනවා. ඒ මගින් රෝග ලක්ෂණ පහළ විම ආරම්භ වෙනවා. මාස 18 දී පිට ගැස්ම එන්නතෙහි 4 වැනි මාත්‍රාව ලබා දුන් පසු නැවතත් එම ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා අවු. 5 දී ද්ව්ත්ව එන්නත සමග පිටගැස්ම එන්නත ලබා දීම සිදු කරනවා.

ඊට පසු අවු. 10 – 13ත් අතර කාලයේ දී නැවතත් ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා එන්නත ලබා දීම සිදුකරනවා. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය මගින් පාසල් මට්ටමින් ක්‍රියාත්මක වැඩසටහනක් අනුව සිදු කරන්නකි. පාසල් සමයේ දරුවන් එතරම් සැලකිල්ලක් තැකීමක් සෞඛ්‍ය සම්බන්ධයෙන් නොමැති නිසා මෙය ක්‍රියාත්මක කරයි. බොහොමයක් දරුවන්ගේ ක්‍රියාශීලීත්වය අනුව වැටීම්, තැලීම්, සීරීම් සිදුවිය හැකි අතර ඒ මගින් විෂබීජය ඇතුළු වීමේ අවදානමක් ද ඇත. එම අවදානම අවම කරවීමේ අරමුණෙන් මෙම එන්නත් කිරීම සිදුකරනු ලබයි.

මෙලෙස දෙවරකදී ලබා දෙන පිටගැස්ම එන්නත් සංඝටකයේ වෙනසක් නොමැත. එහෙත් වැඩිහිටි පිටගැස්ම එන්නත ඒඛ්ච් ලෙස හඳුන්වනවා. මේ තුළ ගලපටල රෝගයේ සංඝටකයකුත් ඇත. ළදරු කාලයේ ලබා දෙන ත්‍රිත්ව එන්නතෙහි සංයුතියෙහි වෙනසක් සිදු වන්නේ ගලපටල සංඝටක ප්‍රමාණය අඩුවීම ය. අවු. 10 දී එන්නත ලබා දුන් පසු නැවත අවු. 20 වනතුරු දරුවකුට කිසිම අවස්ථාවක පිටගැස්ම එන්නත ලබා දීම සුදුසු නැත.

විශේෂයෙන් දක්නට ලැබෙන කාරණයක් වන්නේ අවු. 10ට පසු එන්නත ලබා දී ඇති දරුවාට අවු. 20ට පෙර එන්නත ලබා දෙන අවස්ථා තිබීමයි. එය සිදු වන්නේ නොදැනුවත්කම නිසා විය හැකියි. පාසලේ දී දරුවාට අනතුරක් වූ විට වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීමේ දී වෛද්‍යවරයා නොදැනුවත් වුවොත් එන්නත ලබා දීමේ අවදානමක් තිබෙනවා. එනිසා මේ පිළිබඳ සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍යයි. කෙසේ නමුත් අවු. 10 සීමාවේ දී එන්නත ලබා නොගත් දරුවන්ට පමණක් යම් අනතුරක් සිදු වූ අවස්ථාවක එන්නත ලබාදිය යුතුයි.

අනවශ්‍ය ආකාරයට එන්නත ලබා දීමෙන් අතුරු ආබාධ මතුවීමේ ඉඩකඩක් ද තිබේ. එනිසා වෛද්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම ලබා ගැනීම අත්‍යවශ්‍යයි. පිටගැස්ම එන්නත කුඩා දරුවකුට ලබා දීමේ දී කලවට ලබාදිය යුතුයි. එය දරුවාගේ අතේ උඩ බාහුවට නොදිය යුතුයි.

නිවැරැදි ක්‍රමයට එන්නත් නොකිරීම තුළත් ආබාධ මතුවිය හැකියි. දියර එන්නතක් ලෙස සැලකෙන පිටගැස්ම එන්නත අයිස් වන තුරු නොතැබිය යුතුය. අවශ්‍ය උෂ්ණත්වය එන්නතට ලබාදිය යුතුයි. එසේ නොවුණහොත් එන්නතේ ක්‍රියාකාරීත්වය ද අඩුවිය හැකියි. ගර්භණී අවස්ථාවේ දී මාස 3 පසු වූ පසු එන්නත් මාත්‍රා දෙකක් ලබා දෙනවා. ඒ මගින් උපදින්නට සිටින දරුවාට හොඳ ආරක්ෂිත ආවරණයක් ලැබෙනවා. එනිසා පිටගැස්ම තත්ත්වය ළදරුවන්ගෙන් වාර්තා වන්නේ නැත.