“ඔබ වෙනුවෙන් අපි”

“ඔබ වෙනුවෙන් අපි”

පිළිකාවක තිබෙන භයානක බව පිළිබඳ අසන විටත් ඇතැම් අය තැති ගත්තත් මේ වනවිටත් ඉන් සුවය ලැබූ දහස් ගණනක් තවමත් ජීවත්වන බව ඔබ දන්නවාද? නමුත් ඔවුන්ට නැවත තම ජීවිතය ආරම්භ කිරීමේදී ඇතිවන ගැටලුකාරී තත්ත්ව පිළිබඳව සිදු කෙරෙන පසු විපරම ප්‍රමාණවත් නොවන බව ඉතා පැහැදිලිව පෙනී යන කරුණක්. ජූනි මස 05 වැනි ඉරිදා පිළිකා වලින් සුවය ලැබූවන්ගේ දිනය සැමරෙන අවස්ථාවේදී ඒ පිළිබඳව අපි අවධානය යොමු කළ යුත්තේ කුමක් නිසාදැයි අපට පැහැදිලි කර දුන්නේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරායි.

පිළිකා සුව වූවන්ගේ දිනය පිළිබඳ යමක් පැවසුවොත්?

ලෝකය පුරා සෑම වසරකම ජූනි මස පළමුවැනි ඉරිදාව පිළිකාවලින් සුව වූවන්ගේ දිනය ලෙස සැමරේ. මේ වසරේ එනම් 2016 වසරේ පිළිකා සුව වූවන්ගේ දිනය යෙදී තිබෙන්නේ ජූනි පළමු ඉරිදා වන ජූනි 05 වෙනිදාටයි. ජාතික පිළිකා මර්දන වැඩසටහන මඟින් ද “පිළිකා සුව වූවන්ගේ දිනය සමරනු ලබන” අතර මේ වනවිට ලංකාව තුළත් පිළිකාව කල්තබා හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගෙන සුවය ලැබූවන් ඕනෑ තරම් සමාජයේ ජීවත් වන බවද සඳහන් කළ යුතුයි. විශේෂයෙන් පියයුරු පිළිකා පිළිබඳ කථාබහ කිරීමේදී පියයුරු පිළිකාවෙන් සුවය ලැබූවන් මේ වනවිටත් දස දහසකට ආසන්නව සිටිනු ලැබේ. ඔවුන් දේශපාලන, කලා ක්ෂේත්‍රයේ, හෙද ක්ෂේත්‍රයේ වගේම ගෘහණියන් වැනි විවිධ සමාජ ස්ථර නියෝජනය කරනු ලබන බවද විශේෂයෙන් පැවසිය යුතුයි.

පිළිකාවෙන් සුවවූවන් සැමරිය යුත්තේ ඇයි?

පිළිකාවලින් සුව වූවන් සැමරිය යුත්තේ කුමන කරුණු නිසාදැයි විමසා බැලුවහොත්, පිළිකාවෙන් ජය ගැනීමම එය සැමරීමට හේතු වන පළමු කරුණ හැටියට සැලකිය හැකියි. ඒ වගේම පිළිකාවකින් සුවපත් වූවා යන්න සමාජයේ සිටින අනෙකුත් අයටත් විශාල පණිවිඩයක් වශයෙන් ද සැලකිය හැකියි.

ඊට හේතුව ඇතැම් අය පිළිකාවක් වැළදුණු පසුව තමාගේ ජීවිතය මරණය වැළඳ ගත්තා හා සමානව සලකනු ලබන අතර ඉන් ජය ගත් ජීවිත සැමරීම සැබැවින්ම ඔවුන්ට ආශිර්වාදයක්.

මේ මඟින් පිළිකාවක රෝග ලක්ෂණ කල්තබා හඳුනා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ කරා යොමු වීමට පවතින බය, හඳුනාගත් වහාම පිළිකාවකට ප්‍රතිකාර ලබා ගැනීමට පෙළඹවීම වැනි යහපත් පෙළඹවීම් කරාද රෝගියාව යොමු කරවිය හැකියි.

"මිතුරු කළණය" ලෙසින් හඳුන්වන්නේ කුමක්ද?

අනෙක් සංකල්පය වන්නේ මිතුරු කළණයයි (Be friending). මෙමඟින් අදහස් වන්නේ පිළිකා වලින් සුව වූවන් සතු විශාල යුතුකමකි. ඔවුන් අලුතින් පිළිකාවක් වැළදුණු අයට සහනයක් සැලකිය යුතුයි.

එහිදී අලුතින් පිළිකාව වැළදුණු අය වෙනුවෙන් "අපි ඉන්නවා" යනුවෙන් හැඟීමක් ඔවුන්ට ඇති කරවීම මෙමඟින් අදහස් වේ. වෙනත් රටවලත් මෙවැනි පිළිකා සුව වූවන්ගේ සමාජ ඕනෑ තරම් පිළිකා රෝහල් ආශි‍්‍රතව සිටිනු ලබන අතර අලුතින් පිළිකාවක් ඇති වූ අයෙකු රෝහලට පැමිණි පසු එම සංගමයේ පිළිකාව සුව වූ අයෙක් ඒ රෝගියාට මුණ ගස්වනු ලැබේ. ඒ හරහා රෝගියාට තිබෙන බිය සහ පවුලේ සමාජිකයන්ට තිබෙන බිය සුව වූ පිළිකා රෝගියාගේ අත්දැකීම් පිළිබඳ දැනුවත් වීම හරහා නොමැති වී යනු ලැබේ.

දැනට ලංකාවේ රෝහල් ආශි‍්‍රතවත් මෙවැනි කණ්ඩායම් කිහිපයක් සිටින බවද සඳහන් කළ යුතුයි.

පිළිකා සුව වූ පසුව පුද්ගලයෙකු මුහුණදෙන ගැටලු

පිළිකාවලින් සුව වූවන් ද ඊට පසුකාලීනව වෛද්‍යමය නොවන ගැටලු වලින් පීඩාවට පත්විය හැකියි. ඔවුන්ගේ ගැටලුවලට සමාජයේ සිටින අනෙකුත් අයගේ සහයෝගය ද අවශ්‍ය බව පිළිකා සුව වූවන්ගේ දිනයේදී අවධානයට ගත යුතු කරුණක්.

උදාහරණ වශයෙන් පිළිකාවලට ප්‍රතිකාර ලබා ගැනීමේදී ඒ ප්‍රතිකාර නිසා හිසේ කෙස් නොමැති අයෙකුට නම් කෘත්‍රිම කොණ්ඩයක් ලබාදීම, පියයුරක් ඉවත් කළ අයෙකුට නම් ඊට ගැලපෙන කෘත්‍රිම ඇඳුම් ලබාදිම, පිළිකාවක් නිසා පාදයන් අහිමි වූවා නම් කෘත්‍රිම පාදයක් ලබා දීම ආදී පිළිකා සුව වූවන් නැවත සමාජගත වීමෙදී ඔවුන්ගේ ජීවන තත්ත්වයේ ඇතිවන ගැටලුවලට සහනයක් ලබා දීම මෙමඟින් අදහස් වේ.

තවද ඔවුන් පෙර සිදු කරන ලද රැකියාව පිළිකාව සුව වූ පසුව නොලැබී යා හැකියි. එවිට ඔවුන්ගේ ආර්ථිකය යහපත් කිරීමට වගේම පවුලේ අනෙකුත් අයට ඇති වී ඇති ගැටලුවලට උපකාර කිරීම ද වගබලා ගත යුතුයි.

මීට අමතරව පිළිකා සුව වූ අයෙකුට පෙර දී ලබා දුන් ප්‍රතිකාර නිසා ඇති වූ අතුරු ආබාධ පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර ඒවාට මැදිහත් වී අදාළ පුද්ගලයාගේ ජීවිතයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම පිළිකා රෝගියෙක් නිතරම තමාට පිළිකාව නැවත ඇති වේවි යන බියකින් පසු වේ.

මේ නිසා පිළිකාව නැවත ඇති වීමේ අවදානමක් තිබෙනවා නම් ඒ පිළිබඳව පසු විපරමක යෙදීමත් අත්‍යවශ්‍ය කරුණක්. පිළිකා රෝගයෙන් සුව වූවන් රැකබලා ගැනීම සෞඛ්‍ය සේවා මණ්ඩලවල කාර්ය භාර්යක් පමණක්ම නොවන බවත් සඳහන් කළ යුතුයි.

ස්වේච්ඡා සංවිධානය, ආගමික සංවිධාන, විවිධාකාර රාජ්‍ය නොවන හෝ රාජ්‍ය ආයතනවල සහයෝගය ද පිළිකා සුව වූ රෝගියෙකුගේ ජීවිතයට එකසේ වැදගත් වන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.