හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල අවහිරතාවය සොයා ගතහැකි ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය

හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල අවහිරතාවය සොයා ගතහැකි ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය

උණුසුම් හදකින් ලෝකය දකින්නට හෝ අතිමහත් මානව පේ‍්‍රමයෙන් යුක්තව ලෝකය පිළිගන්නටත් පිවිතුරු හදවතක් නම් තිබිය යුතුමය. එහෙත් හදවත ගැටලුවලින් පිරී ඇත්නම් හෝ ඒ හදවත නිරෝගි නැත්නම් එය කිසිදාක සැබෑවක් නොවනු ඇත. එබැවින් හදවතේ ඇතිවන නොයෙකුත් රෝගාබාධ අපව අලංකාර වූ ජීවිතයකින් ඔබ්බට ඇද දමන්නට සමත්විය හැක.

හෘදයාබාධ ද එවැනිය.

හෘදයාබාධයක් යනු කුමක්ද?

හෘදය යනු රුධිරයෙන් පිරුණු අවයවයකි. එනමුත් හෘදයට, තමාගේම මාංශපේෂීන් උදෙසා තනිවම රුධිරය සපයා ගැනීමේ හැකියාවක් නැත. එනමුත් අපගේ හෘදය වටා වූ කිරීටක ධමනි නම් පද්ධතියක් පවතී. හෘදයට අවශ්‍ය ලේ සපයා ගැනීමට සහාය වනුයේ මෙම කිරීටක ධමනි මඟිනි.

නමුත් එම කිරීටක ධමනි යම් යම් හේතු මත අවහිර වීමේ හැකියාව ද පවතී. කිරීටක ධමනි තුළ ඇතිවන අධික කොලෙස්ටරෝල් තැන්පතු එවැනි එක් ප්‍රධාන හේතුවකි.

එමඟින් හෘදය වස්තුවට සැපයෙන රුධිර ගමනයට බාධා ඇතිවිය හැකිය. ඒ අයුරින් හෘදයේ මාංශ පේෂියට අදාළ රුධිර සැපයුම මුළුමනින්ම නතර වී ගියහොත් එම මාංශපේෂි මිය යන්නට පටන් ගනී. හෘදයාබාධයක් ලෙස අප හඳුනාගන්නේ මේ තත්ත්වයයි. තවද එවැනි අවස්ථාවක ඉතාමත් ඉක්මනින් කිරීටක ධමනිවල අවහිරතාව ඉවත් කර රුධිර සැපයුම යථා තත්ත්වයට පත් කිරීම ද අවශ්‍ය වේ.

ලාබාල අවධියේ පටන් ම.....

මේ වනවිට හඳුනාගෙන ඇත්තේ කිරීටක ධමනිවල මේදය තැන්පත් වීම අවුරුදු 4-5ක් තරම් ලාබාල වියේ පටන් ඇතිවිය හැකි බවය. එසේ කිරීටක ධමනි සිහින් වීම ටිකෙන් ටික වර්ධනය වී කුමන වයසකදී හෝ සම්පූර්ණයෙන්ම අවහිර වීමේ හැකියාව ද පවතී. එසේම යම් යම් වෙනත් හේතු මතද මේ තත්ත්වය ඉක්මන් වීමේ ප්‍රවනතාවක් ඇතිවිය හැක.

එම හේතු නම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල්, ස්ථුලතාවය, දුම්පානය වැනි සාධකය.

ඊට අමතරව මේ හා සම්බන්ධ පවුල් ඉතිහාසයක් පැවතීම, ආතතිය ආදී සාධක ද මේ සඳහා බලපෑ හැකි කරුණු වේ.

ඒ කුමන හේතුවක් මත හෝ කිරීටක ධමනි සිහින් වීමට පටන් ගැනීමේදී ඒ පිළිබඳ පළ කරන ඉඟි නැතිනම් විවිධ පෙර නිමිති ද අපට හඳුනාගත හැක. එනම් රුධිරනාල සිහින් වීමට පටන් ගෙන රුධිර කැටියක් සෑදීමට පළමුව දක්වන ඉඟි තිබේ.

ඒ මොනවාද?

විඩාවට පත් වනවිට පපුව රිදීම, තරමක මහන්සි වීමකදී පවා හතියක් දැනීම, පපුව මැද හිර කරමින් කැක්කුම වම් අත දිගේ ගමන් කිරීම, යම් අවස්ථාවක ඒ කැක්කුම දකුණු අතේත් හට ගත හැක. උගුර තද කිරිම, (මෙය ස්කීමියාව නම් වූ හෘදයාබාධ තත්ත්වය හා සම්බන්ධ ප්‍රධාන ලක්ෂණයක් වශයෙන් ද සලකයි) ඊට අමතරව දහදිය දැමීම, වමනය වැනි ලක්ෂණ ද හෘදයාබාධයක මූලික ඉඟි වශයෙන් හඳුනාගනු ලැබේ. මෙසේ කිරීටක ධමනි මුළුමනින් අවහිර වී හෘදයේ මාංශපේෂියට මුළුමනින්ම ලේ ගමනය නතර වීමෙන් හෘදයේ මාංශපේෂිය මිය යන්නට පටන් ගැනීම සිදු වේ. එමඟින් හදවතට යම් පමණක හානියක් සිදු වන අතර එය ජීවිත කාලය පුරාම පවතින තත්ත්වයකි. නමුත් ඉක්මනින් කිරීටක ධමනි ප්‍රකෘති තත්ත්වයට පත් කළ හොත්, තවදුරටත් මාංශ පේෂිය මිය යෑමට නොදී පාලනයකට ලක් කිරීමේ හැකියාව පවතී.

ඉක්මනින් හඳුනාගැනීම වැදගත්

ඉහත රෝග ලක්ෂණ ඇති අවස්ථාවක ඉක්මනින් වෛද්‍යවරයෙකු මුණ ගැසී ඊ.සී.ජී. පරීක්ෂණයක් කර බැලීම සුදුසු වේ. තවද එක් ඊ.සී.ජී. පරීක්ෂණයක් වෙනුවට එවැනි විටෙක අවස්ථා කීපයකදී නැවත නැවත ඊ.සී.ජී. පරීක්ෂණයක් කිරීම ද වැදගත් වේ.

ඊට අමතරව මෙවැනි හදිසි අවස්ථාවකදී සිදු කරන වෙනත් පරීක්ෂණ ගනණාවක් ද ඇත. එමඟින් රෝගියාගේ කිරීටක ධමනි සිහින් වීමේ ප්‍රමාණය මෙන්ම ධමනි තුළ ලේ කැටි සිරවීම් පිළිබඳව ද අවබෝධයක් ලබාගත හැකි වේ.

ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය

ඇන්ජියෝග්‍රෑම් යනු, හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි හා රුධිර නාලවල රුධිර සැපයුමේ ගැටලු හඳුනා ගැනීමට සිදු කරන විශේෂ පරීක්ෂාවකි.

හෘදයේ කිරීටක ධමනි වෙත යැවෙන විශේෂිත කැමරාවක් (ජ්තධභපධඵජධනර) ආධාරයෙන්, විශේෂිත ඩයි එකක් යොදා ගනිමින් සිදු කරන මෙම පරීක්ෂණයෙන් වෛද්‍යවරුන්හට කිරීටක ධමනිවල ගැටලු ඉතාමත් හොඳින් හඳුනා ගැනීමේ හැකියාව පවතී.

සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂණයක් සිදු කරනුයේ කැතීටර් ශල්‍යාගාරයෙක් නැතිනම් ඛ්චබඩ තචඡ ලෙස හඳුන්වන ශල්‍යාගාරයක් තුළදීය. මෙහිදී රෝගියාගේ පාදයක හෝ අතක රුධිර ධමනියක් තුළින් කිරීටක ධමනියේ මුලට කැතීටරයක් මාර්ගයෙන් විශේෂ ඩයි එකක් යැවීමෙන් කිරීටක ධමනිවල ගැටලුවක් ඇත්දැයි හඳුනා ගැනීම සිදු වේ. එවැනි ගැටලුවක්, එනම් කිරීටක ධමනි අවහිර වීමක් හෝ ලේ කැටි සිරවීමක් හඳුනාගනු ලැබුවේ නම් කඩිනමින් ඉදිරි ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ.

ඇන්ජියෝප්ලාස්ටි

ඇන්ජියෝප්ලාස්ටි යනු හෘදයට ලේ සපයන කිරීටක ධමනි නම් වූ නාලවල ඇති වූ පටු වීම් හෝ අවහිරවීම් නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියකි.

එහිදී රෝගියාගේ පාදයේ රුධිර වාහිනියක් තුළින් සිහින් වයරයක් මාර්ගයෙන් යවන බැලුනයක් ලෙස දිගහැරිය හැකි කම්බි දැලක් ආධාරයෙන් ගැටලුවට පත් වූ රුධිර නාල පුළුල් කිරීමක් සිදු කරයි. අනතුරුව ස්ටෙන්ට් නමින් හැඳින්වෙන දැල් ආකාර කුඩා ලෝහමය ටියුබයක් වැනි කොටසක් අවහිර වූ ස්ථානයට යෙදීම සිදු කරයි. මෙය “ස්ටෙන්ට්” කිරීම යනුවෙන් හඳුන්වයි. මෙමඟින් සිහින්ව තිබූ රුධිරනාල පුළුල් වී නැවත හෘදයේ මාංශපේෂියට රුධිර සැපයුම ආරම්භ වේ.

මෙම ප්‍රතිකර්මය ඉතා සාර්ථක ප්‍රතිකර්මයක් වශයෙන් පිළිගැනේ. තවද මෙම ප්‍රතිකර්මයෙන් අනතුරුව විවිධ ඖෂධ වර්ග රෝගියාට නියම කරන අතර ඒවා වෛද්‍ය නියමයෙන් දීර්ඝකාලීනව භාවිතා කළ යුතු වේ. තවද කුමන අවස්ථාවකදීවත් වෛද්‍ය නියමයෙන් තොරව හිතුමතයේ හෝ වෙනත් අයෙකුගේ කීම මත එම ඖෂධ භාවිතයෙන් වැළකීම නොකළ යුතුය. මන්ද එමඟින් යෙදූ ස්ටෙන්ට් එක නැවත අවහිර වීම සිදුවිය හැකි බැවිනි. ඒ මන්දයත්,

ඉහත දැක්වූ අයුරින් ස්ටෙන්ට් එකක් යනු ලෝහමය කොටසක් වන අතර එය බාහිරින් ශරීරයට ඇතුළු කරන්නාවූ දෙයකි. මෙහිදී කිරීටක ධමනි ඔස්සේ ගමන් කරන රුධිර පට්ටිකා ඒ මත තැන්පත් වීමෙන් නැවත එම රුධිර නාල අවහිර වීමේ හැකියාවක් ඇත. ස්ටෙන්ට් එකක් යෙදූ පසු වෛද්‍යවරුන් විසින් යම් ඖෂධ නියම කරනුයේ එම තත්ත්වය ඇතිවීම වැළැක්වීම සඳහාය. එබැවින් එම ඖෂධ වර්ග දීර්ඝකාලීනව ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ.

මීට අමතරව මෙම ප්‍රතිකර්මයෙන් පසු අනිකුත් අවදානම් සාධක එනම් දියවැඩියාව, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් ඇතිවීම පාලනය කර ගැනීම වැදගත් වේ. තවද ස්ථුලතාවය, දුම්පානය වළක්වා ගැනීම ද වැදගත් වේ. ඊට අමතරව නිවැරදි ජීවන රටාවකට යොමු වීම හා නිසි ව්‍යායාම් ද වැදගත් සාධකයන් ලෙසින් සැලකිය යුතුය.

එසේ නිවැරදි වූ වත් පිළිවෙත් තුළින් මෙවැනි ප්‍රතිකර්මයකින් සාර්ථක ප්‍රතිඵල ලබා, සුව දිවියකට උරුමකම් කීමට වැඩි ඉඩකඩක් පවතී.