ගංවතුරෙන් පසු මී උණ වැළඳී ඇත්දැයි සොයාගත හැකි පරීක්ෂණ

ගංවතුරෙන් පසු මී උණ වැළඳී ඇත්දැයි සොයාගත හැකි පරීක්ෂණ

ලෙප්ටොස්පයිරා (Leptospira) නැමැති බැක්ටීරියාව මගින් මී උණ වැළඳෙයි. එම බැක්ටීරියාව ක්ෂිරපායි සත්ත්වයින්ගේ මුත්‍රා සමඟ පරිසරයට මුදා හැරේ. මෙම බැක්ටීරියාව බහුල වශයෙන් දිය කඩිති, ජලය රැඳුන ස්ථාන, ගං වතුර, කුඹුරු ආදී ස්ථානවල රැඳිය හැකියි. මිනිසාගේ සීරුණු, කැපුණු තුවාල මගින් මෙන්ම නාසය, මුඛය, ඇස්වල ඇති සියුම් පටක මඟින් ශරීරයට බැක්ටීරියාව ඇතුළු විය හැකියි. ඉන් පසු රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වන බැක්ටීරියාව සියලු අවයවවල පටක වෙත ගමන් කරයි. මෙය මී උණ ලෙස හඳුන්වයි.

කෙසේ වෙතත් බැක්ටීරියාව ඇතුළු වූ පුද්ගලයකුගේ රෝග ලක්ෂණ ලෙස තදබල ඇඟ රිඳුම, තදබල මස්පිඬු වේදනාව, ඇස් තද රතු පැහැ වීම හා කහ පැහැ වීම, අක්මාවට හා වකුගඩුවලට හානි වීම සිදුවිය හැකියි. මුත්‍රා පිට වීම අඩු වීම ද දැක ගත හැකිය. රෝගය වැළදීමේ අවදානමක් ඇත්තේ ක්ෂිරපායි සත්ත්වයන්ගේ හා මීයන්ගේ මුත්‍ර සමඟ ගැටෙන පුද්ගලයන් හටය. ඒ අනුව ගංවතුරේ බැස යාම, කුඹුරුපිටිවල වැඩ කිරීම, දියපාරවල්වල බැස කටයුතු කරන පුද්ගලයන්ට මේ තත්ත්වය ඇති වීමේ ඉඩකඩ වැඩි ය.

මෙවන් තත්ත්වයක් ඇති වේ යැයි සැක හැර දැන ගැනීමට හැකි වන්නේ ප්‍රධාන වශයෙන් එකී පුද්ගලයාගේ රෝග ඉතිහාසය දෙස විපරම් කිරීමෙනි. ඒ අනුව රැකියාවේ ස්වභාවය, ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වයන්, ජලාශවල බැස නාන පුද්ගලයන් ද යන වග ඉතා වැදගත්. එසේම රෝග පරීක්ෂාවේ දී වඩාත් වැදගත් තවත් කරුණක් වනුයේ ඇස් තද රතු පැහැ වීම හෝ තද කහ පැහැ වී ඇත්නම් සාමාන්‍යයෙන් මී උණ යැයි සැක කළ හැකිය. ඒ අනුව රෝගයම දැයි ප්‍රත්‍යක්ෂ කර ගැනීමට නම් තවදුරටත් පරීක්ෂා කිරීම් අත්‍යවශ්‍යයි.

පරීක්ෂණ කිහිපයක් කළ ද එහි දී නිර්ණය කළ හැකි වන්නේ මොනයම් සැක කිරීමකට රෝගියා ලක්වේද යන්න පමණකි. ස්ථිර වශයෙන් මී උණ යැයි නිශ්චය කිරීමට මෙකී පරීක්ෂණ වලින් හැකියාවක් නොමැත. කෙසේ නමුත් සාමාන්‍ය උණ තත්ත්වයකදී පවා සිදුකරන FBC (Full blood count) පරීක්ෂාව ද මෙහි දී සිදුකරයි. එහි දී සුදු රුධිරානු වැඩි වීමක් දක්නට ලැබෙන අතර, ප්ලේට්ලට් අඩු වීමක් දැකගත හැකියි. මේ ප්‍රතිඵලයත් සමඟ රෝග ඉතිහාසය අධ්‍යයනයෙන් යම් නිගමනයකට පැමිණ මී උණ යැයි සැක කළ හැකියි.

මේ තත්ත්වය මත අක්මාවට හානි වීමක් ද සිදු වේ. එනිසා liver function test  එක සිදු කරනු ලබයි. මෙහි දී Bilirubin වැඩි වීමක් දක්නට ලැබෙන අතර SGOT - SGPT  අගය වැඩි විය හැකියි. ඒ අනුව ද රෝගය වැළදී ඇතැයි සැක කළ හැකියි. තව ද රෝග තත්ත්වය ඇති වූ පුද්ගලයකුගේ වකුගඩුවලට ද බලපෑමක් එල්ල විය හැකියි. එනිසා Serum creatinine පරීක්ෂාව කළ යුතුයි. කෙසේ නමුත් උණ තත්ත්වයක් තිබෙනවා නම්, ඇඟ රිදුමක් තිබෙනවා නම් ප්‍රතිකාර වෙත යොමු වීම වඩාත් වැදගත්. අනතුරුව (Leptospirosis antibody test) ලෙප්ටොස්පයරෝසීස් ඇන්ටිබොඩි ටෙස්ට් එක සිදු කළ හැකියි. ඒ මගින් ස්ථිර වශයෙන් මී උණ දැයි තීරණය කිරීමට හැකියාවක් ඇත.

කෙසේ නමුත් පසුගිය දිනවල පැවතුණ ගංවතුර සැලකිල්ලට ගෙන මෙකී රෝගය ඉතා වේගයෙන් ව්‍යාප්ත විය හැකිය. එනිසා සෑම විටම ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කිරීම මෙන්ම සෞඛ්‍යාරක්ෂිත කාරණා සම්බන්ධයෙන් වඩා සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත්ය. එසේම පෙර කී රෝග ලක්ෂණ දක්නට ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම ද කළ යුතුය. ඒ තුළින් රෝගය බරපතළ තත්ත්වයට පත්වීමට පෙර සමනය කර ගැනීමේ හැකියාවක් ද ඇත.