කොලෙස්ටරොල්, ප්‍රෙෂර් භීතිකාවෙන් මිදෙන මඟ...

කොලෙස්ටරොල්, ප්‍රෙෂර් භීතිකාවෙන් මිදෙන මඟ...

අධි රුධිර පීඩනය (ප්‍රෙෂර්) යනු වර්තමානයේ බොහෝ අය භීතිකාවට පත් කරන තත්ත්වයකි. එයත් සමඟම අපට අසන්නට ලැබෙන්නේ කොලෙස්ටරෝල් වැඩිවීම පිළිබඳවයි.

කොලෙස්ටරෝල් වැඩිවන විට අධිරුධිර පීඩන තත්ත්වයන් ඇතිවිය හැකි බැව් කව්රුත් දනිති.

එමෙන්ම අධිරුධිර පීඩන තත්ත්වය ඇති වීමට බලපානුයේ කොලෙස්ටරෝල් වැඩිවීම පමණක් නොවේ. ඊට වෙනත් හේතු ද ඇත.

ඒවා පිළිබඳව සාකච්ඡා කිරීම පසුවට තබා අධිරුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැඩිවීම අතර සම්බන්ධය පිළිබඳ තවදුරටත් කරුණු සලකා බැලීම වටී.

කොලෙස්ටරෝල් වැඩිවීම නිසා රුධිර පීඩනය වැඩි වන්නේ කෙසේද?

හෘදයෙන් පිටතට රුධිරය ගමන් කරන රුධිර නාලවල (ධමනි) අභ්‍යන්තර බිත්තියේ කොලෙස්ටරෝල් තැන්පත් වේ. මේ නිසා එම රුධිරනාලවල අභ්‍යන්තර කුහරය සිහින් වේ. එවිට එම සිහින් වූ නාලයන් හරහා රුධිරය පෙරට වඩා වැඩි පීඩනයකින් ගලා යයි.

මෙම ක්‍රියාවලිය ශරීරයේ වැඩි රුධිර නාල ප්‍රමාණයක සිදුවීමෙන් ඇතිවන මුළු පීඩනය කෙලින්ම බලපාන්නේ රුධිරය පොම්ප කිරීමේ කාර්යයේ නිරත වන හෘදයටයි.

මෙලෙස කොලෙස්ටරෝල් වැඩි වූ අයෙකුගේ රුධිර පීඩනය කිහිපවිටක් පරීක්ෂා කළ විට එය රසදිය මිලි මීටර් 130/85 ට වඩා වැඩි නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

කොලෙස්ටරෝල් වැඩිවීමෙහි ඇති භයානකම තත්ත්වය ඉන් හෘදයට ඉතා අහිතකර ලෙස බලපෑම් ඇති කිරීමයි. හෘද පේශිවලට රුධිරය සපයන කිරීටක ධමනිවල අභ්‍යන්තර බිත්තියෙහි මෙලෙස කොලෙස්ටරෝල් තැන්පත් වේ.

කාලයක් තිස්සේ හෘදය තුළ ඇති රුධිර නාල බිත්තිවල කොලෙස්ටරෝල් නම් මේදය තැන්පත් වී ඇතරෝමා (Atheroma) නැමැති තෙල් හටගත හැකිය. ඒවා මඟින් රුධිරනාල අවහිර වී ඉන් ඔබ්බට රුධිරය ගලා නොයයි.

ඒ හේතුවෙන් එම රුධිර නාලවලින් රුධිරය සැපයුනු හෘදයේ කොටස්වල සෛල මිය යා හැක. එහි ප්‍රතිඵලය වන්නේ ඒ මොහොතේ පපුවේ තද වේදනාවක් ඇති වීමත් එම වේදනාව උරහිසට, අත්වලට හෝ බෙල්ල දෙසට විහිදී යාමත්ය.

මෙම ක්‍රියාවලියේ දරුණුතම අවස්ථාවේදී හෘදයේ ක්‍රියාකාරීත්වය ඇණහිට මරණයෙන් කෙළවර වන අවස්ථා ද දක්නට ලැබේ. මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවීමට තනි තනිව හිතා තම තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව තම තමන් සැලකිලිමත් විය යුතුය.

ඒ සඳහා වඩාත්ම සුදුසුම ක්‍රියාදාමය වනුයේ වයස අවුරුදු 35 -40 ඉක්ම යනවිට ආහාර පාලනය ව්‍යායාම කිරීම සහ එමඟින් අධික තරබාරුව ද වළක්වා ගැනීමත් නිරතුරුවම තම රුධිර පීඩනය පිළිබඳ අවධානයෙන් සිටීමත්ය.

කොලෙස්ටරෝල් මට්ටම අනවශ්‍ය පරිදි ඉහළ යාම කෙරෙහි ද සුවිශේෂි අවධානයක් යොමු කළ යුතුය.

මේ සියලු දෑ පිළිබඳව දැනුවත් වනවා මෙන්ම මෙම තත්ත්වයෙන් මිදීමට නම් ඔබ යොමුවිය යුතු සුදුසුම ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ද දත යුතුය.

ඒ ගැන සොයා බැලීමේදී ඔබට සතුටු විය හැකි කාරණාවක් තිබේ.

එනම් රුධිර පීඩනය වැඩි වීමට හේතුවන කාරණාවන් සොයා බලා එම හේතූන් මුලිනුපුටා දැමීමේ සුවිශේෂී ක්‍රමවේදයන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ තිබෙන නිසාවෙනි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් සිදුවන්නේ රුධිර පීඩනය පමණට වඩා අඩු හෝ වැඩි නම් ඊට හේතුව සොයා බැලීම.

රුධිර පීඩනය වැඩි වූයේ කොලෙස්ටරෝල් නිසා නම් කොලෙස්ටරෝල් වැඩි වූයේ කුමන හේතුවක් නිසා දැයි මෙහිදී සලකා බලයි.

බිත්තර කහමදය, රක්තවර්ණ මස් වර්ග සහ අධික ලෙස සත්ත්ව තෙල් අඩංගු ආහාර ආදිය බහුලව පරිභෝජනය කර සිරුර වෙහෙසා වැඩපලවල නොයෙදී සිටීම ඊට එක් හේතුවක් විය හැකිය. නමුත් ඇතැම් නිර්මාශිකයන්ට ද කොලෙස්ටරෝල් වැඩි වීමේ ප්‍රශ්නය පැන නැඟී ඇත.

එයට හේතුව කුමක්ද?

ආයුර්වේද මතානුකූලව මෙය විස්තර කරනවා නම් මේ සියල්ලටම හේතුව ආහාර ජීර්ණයේ ඇති දෝෂ සහිත බවයි.

අප ගන්නා සත්ත්ව හෝ ශාකමය වූ ඕනෑම ආහාර වර්ගයක විවිධ ප්‍රතිශතවලින් මේද කොටස් තිබේ. කොලෙස්ටරෝල් නිපදවෙන්නේ මෙම මේද කොටස් ජීර්ණයේදී ඇතිවන රසායනික පරිවර්තනයන් ගණනාවකිනි.

කොලෙස්ටරෝල් යනු එක්තරා මට්ටමකින් රුධිරයේ තිබිය යුතු රසායනික පදාර්ථයන්ය. ඒවා හිතකර සහ අහිතකර ලෙසද පවතින ප්‍රමාණයන් අනුව ක්‍රියා කරයි.කෙසේ නමුත් සිරුරට අහිතකර අන්දමින් කොලෙස්ටරෝල් ඉහළ යාමට හේතුව වන්නේ ශරීරයට සැපයෙන මේද කොටස් ජීර්ණයේදී අක්‍රමවත් හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්ථනයන්ට ලක්වීමේ ප්‍රතිඵලයන් ලෙසය. එනම් එය සරලව කිවහොත් මුලින් කී පරිදි ජීර්ණයේ දෝෂ සහිත බවකි.

මෙම මේද කොටස් නිවැරදි ලෙස ජීර්ණය වූයේ නම් ශක්තිය ලෙස දේහ ක්‍රියාකාරීත්වයට වැඩදායක වන අතර ඉතිරි ඒවා මල කොටස් ලෙස සිරුරෙන් බැහැර විය යුතුය. ශරීරයට අහිතකර ලෙස බලපාන මෙම ඇතැම් කොලෙස්ටරෝල් වර්ග ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ හැඳින්වෙන්නේ පිත්තස්නේහ ලෙසය. සැබැවින්ම මේවා නිවැරදි ආකාරයට දිර වූ මේද කොටස් නොවේ. එනම් බාගෙට දිරවූ ආහාර රසයකි. ඒවා ආම (අමු ආහාර රසය) රසය නම් වේ. මෙම අහිතකර කොලෙස්ටරෝල් තත්ත්වය හමු වේ ශරීරයට ඇතිවන උපද්‍රව ලෙස රුධිර පීඩනය වැඩි වීම අනවශ්‍ය ලෙස තරබාරු වීම, සුළු වැඩක් කළ විට හෝ කෙටි දුරක් පයින් ගියවිට අධික මහන්සියක් දැනීම අලස බව, නිදිමත වැඩි විම හෝ නින්ද නොයාම, ඇඟපත රුදාව ආදී ලක්ෂණ පහළ වේ.

මෙවැනි අවස්ථාවලදී අප අනුගමනය කරන නිවැරදි ආයුර්වේද ප්‍රතිකර්ම පහත පරිදිය. ආමපාචක නම් වූ ඖෂධ යෙදීමෙන් රුධිර නාල හෝ ශරීරයේ ඕනෑම තැනක ඇති අහිතකර කොලෙස්ටරෝල් නැවත ජීර්ණය වීම හෙවත් දියවීම ආරම්භ වේ.

මෘදු විරේචන ඖෂධ මඟින් ඒවායේ ඇති අහිතකර පදාර්ථ මල, මුත්‍රා හා දහඩිය මාර්ග වලින් නිරන්තරයෙන්ම පිටකර හරිනු ලබයි. ඒ අතරම යොදන ජීරක එන්සයිම සමබර කරවන ඖෂධ මඟින් ශරීරයට අලුතින් ලැබෙන මේද කොටස් නිවැරදි ආකාරයට ජීර්ණය වී ශක්තිය ලෙස සිරුරට ලබාදෙයි. මෙම ක්‍රියාදාමය මඟින් කෙටි කලකින්ම රෝගීන්ට ඉතා සුවදායක තත්ත්වයක් උදා වේ. මීට අමතරව මේ මඟින් තවත් බොහෝ ක්‍රියාවන්ද සිදු වේ. එනම් රෝගියෙකු රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් වැඩියි කියා පැමිණිය ද ඔවුන්ට ප්‍රතිකාර කිරීමට පෙර මේවාට අමතරව පවතින අනෙක් රෝග තත්ත්වයන් පිළිබඳව ද පූර්ව විමසීමක් පූර්ණ ආකාරයෙන් සිදු කිරීමයි.

එවිට රෝගීන් පවසන බොහෝ දෑ ඇත. ඇතැමුන්ට ඉහත තත්ත්වයන්ට අමතරව දියවැඩියාව, ගැස්ට්‍රයිටීස්, අර්ශස්, පීනස, තුනටියේ අමාරුකම්, හිසේ කැක්කුම්, ඇඟපත රුදාව, අත්පා හිරිවැටීම්, අධික ලෙස කේන්තියාම, මලබද්ධය, වාතරක්ත සහ විවිධ සමේ රෝග වැනි තත්ත්වයන් ද අඩු වැඩි වශයෙන් ඇත.

එවිට නිවැරදිව ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරමින් එකවිට එක තත්ත්වයන් ගැන පමණක් සැලකීමකින් තොරව සියලු තත්ත්වයන් පිළිබඳව සලකා බලා ඒ ඒ පුද්ගලයින්ටම ආවේනික වූ ඖෂධ රටාවන්ට යොමු කිරීම මඟින් එම තත්ත්වයන් නිට්ටාවටම සුව කළ හැකිය.

ඖෂධ ගොනුවට ක්ෂාය වර්ග තිබේ නම් ඒවා තම්බා, පිළියෙල කළ බෝතල් ලෙසත් අනෙකුත් ඖෂධ පහසුවෙන් ඕනෑම කාර්යබහුල තත්ත්වයකදී වුවද භාවිතා කළ හැකි ලෙස සැකසූ පෙති, ගුලි, කල්ක, චූර්ණ ආදී ලෙසත් ලබා දෙන්නේ රෝගියාගේ පහසුව තකාය.