සමාජය විසින් ඔබ ශ්‍රවණාබාධිතයකු ලෙස හඳුන්වනවාට කැමතිද?

සමාජය විසින් ඔබ ශ්‍රවණාබාධිතයකු ලෙස හඳුන්වනවාට කැමතිද?

අපි සෑම කෙනෙක්ම ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් ගත කිරීමට දක්වන්නේ පුදුමාකාර ආශාවක්. නමුත් අවාසනාවට ඇතැම් පුද්ගලයන්, රාජකාරී කටයුතු, විවිධාකාර වූ සිදුවීම් පමණක් නොවේ ඇතැම්විට ඝෝෂාකාරී ශබ්ද පවා ඒ සතුට, නිදහස සුණු විසුණු කර දමන්නට ගත කරන්නේ ඉතාමත් සුළු කාලයක්. මේ හේතු නිසා ජීවිතයේ සැනසුම ද අපට අහිමි කරනවා වගේම ඇතැම් හේතු නිසා ශරීරයේ නිරෝගි භාවයට ද ගැටලු ඇති කරන අවස්ථා ද ඕනෑ තරම්. විශේෂයෙන් ඔබගේ ශරීරයේ වැදගත් කාර්යයක් සිදු කරන කන වැනි ඉන්ද්‍රියයන්වලට ඝෝෂාකාරී ශබ්ද නිසා ඇතිවන බලපෑම ද මෙවැනිම වූ ගැටලුවක්. එබැවින් ශබ්දය සමඟ දිනපතා මුසුවන ඔබ එහි නොදන්නා පැතිකඩ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේවි.

මිනිසාගේ සිරුරේ සංවේදනා ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් පිහිටා ඇති ඉන්ද්‍රියයන් පහකි. මේවා පංච ඉන්ද්‍රියයන් වශයෙන් හඳුන්වනු ලබන අතර ඒ අතුරින් ශ්‍රවණය නැමැති සංවේදනය ලබා දෙන ඉන්ද්‍රිය වන කන, ප්‍රධාන තැනක් හිමිකරගනු ලැබේ. මෙම ඉන්ද්‍රිය සඳහා සංවේදන සපයනු ලබන්නේ “ශබ්දය” යන තොරතුරු මාධ්‍යයයි. ශබ්දය යනු මිනිසා සාමාජික ජීවියෙක් වශයෙන් සලකා බැලීමේදී ඉතාමත් වැදගත් සාධකයකි. මන්දයත් සමූහ වශයෙන් ජීවත් වීමේදී අදහස් හුවමාරුව, නොඑසේ නම් සන්නිවේදන කාර්යයේදී ශබ්දය යන සාධකය ඉතාමත් වැදගත් වන බැවිනි. මිනිසාගේ සන්නිවේදන කාර්යයේදී පමණක්ම නොවෙයි රසවින්දනය සඳහා භාවිතා කරනු ලබන සංගීතය වැනි නොයෙකුත් ශබ්ද ආකාර ද ඉතාමත් වැදගත් වනු ඇති. එසේ වුවත් අවාසනාවන්ත ආකාරයෙන් මිනිසාගේ ශ්‍රවණයට හේතුවන ශබ්දය පිළිබඳ තවත් ඔබ නොදන්නා කරුණු කාරණා ද බොහෝමයි.

විශේෂයෙන්ම ශ්‍රවණ චිකිත්සකවරුන්ගේ පරීක්ෂාවට ලක්වන ශ්‍රවණ සායන වෙත පැමිණෙන පුද්ගලයන් මුහුණදෙන දුර්වලතා එවැනි කරුණු කාරණා අතර ප්‍රමුඛත්වයන් හිමිකර ගනු ලැබේ. එසේ ශ්‍රවණ සායන කරා පැමිණෙන පුද්ගලයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ඉතා අධික ශබ්දවලට නිරාවරණය වීම නිසා ශ්‍රවණය සම්බන්ධ ආබාධ හෝ විවිධාකාරී වූ සංකූලතාවලට නිරාවරණය වීමයි. ඔවුන් මෙසේ දීර්ඝකාලීනව අධික ශබ්ද පරාසයන්ට ගොදුරු වීම මත ශ්‍රවණය සම්බන්ධ ගැටලුවකට මුහුණදී තිබුණ ද අවාසනාවකට ඒ පිළිබඳව දැනුවත් භාවයකින් තොරව කටයුතු කරනු ලැබේ. අවසානයේදී මෙසේ සුළු වශයෙන් ඇතිවන ශ්‍රවණ ආබාධ මෙන්ම සංකූලතා, ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වය දක්වා පත්වන තුරු තමාට යම් ගැටලුවක් ඇති බව එම රෝගී පුද්ගලයන් හඳුනාගනු නොලැබේ.

කෙසේවෙතත් ඉහත සිදුවීම් මඟින් පැහැදිලි වන්නේ ශී‍්‍ර ලාංකික ජනතාවගේ ශ්‍රවණ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් භාවයේ ඇති ඌනතාවයි. සාමාන්‍යයෙන් ශරීරයේ අනෙකුත් ස්ථාන ආශි‍්‍රතව හට ගන්නා රෝගාබාධවලදී ඇතිවන කායික වේදනාවන් නිසා අපි ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළත් ශ්‍රවණය සම්බන්ධව මේ අවධානය යොමු නොකරන්නේ කුමක් නිසාදැයි විමසා බැලීම ද ඉතා වැදගත්.

ඇතැම්විට ඔබ එතරම් අවධානය යොමු නොකළ ඔබටම ඔබේ ශ්‍රවණ ගැටලු පිළිබඳ අවබෝධ වන අවස්ථා ද ඕනෑ තරම්. එදිනෙදා ජීවිතය තුළදී ඒවාට මුහුණ දීමට සිදු වුවද ඒවා පිළිබඳව සැලකිල්ලක් නොදක්වනවා විය හැකියි. එසේ නොමැති නම් සමාජය විසින් ඔබ ශ්‍රවණාබාධිත අයෙක් වශයෙන් හඳුන්වනවාට අකමැති වීම ද ඊට බලපෑ හැකි තවත් හේතුවක් වශයෙන් කථාබහට ලක් කළ හැකියි. එබැවින් ශබ්දය සමඟ එදිනෙදා ජීවිතය ගත කරන අපට එම ගනුදෙනුව ජීවිත කාලය පුරාවටම පවත්වා ගත යුතු වනවා වගේම ශබ්දය පිළිබඳ නොදන්නා කරුණු කාරණා ද බොහෝම තිබෙන බවද ඔබ අවබෝධ කරගත යුතු වේ.