දියවැඩියාවට සුවයක්

දියවැඩියාවට සුවයක්

අප කවුරුත් අසා ඇති පරිදි නිට්ටාවටම සුවකළ නොහැකි රෝග ගණනාවක් තිබෙනවා. ඒ අතර දියවැඩියාවට වඩා වැදගත් ස්ථානයක් හිමිවන අතර වර්තමානය වනවිට බාල මහලු බොහෝ දෙනෙක් මේ වනවිටත් ඉන් පීඩාවට පත් වී සිටිනවා. එසේ වුවත් පාරම්පරාවෙන් ලද උරුමය නවීන විද්‍යාවේ දැනුම හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මූලික හරයන් ඔස්සේ මුසු කරමින් බෝ නොවන රෝගවලට පිළියම් මේ වනවිටත් හඳුන්වා දී අවසන්. එවැනි වෙද පරපුරකට උරුමකම් කියන ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක දියවැඩියාව රෝගය පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසක්.

දියවැඩියාව කිසිවිටෙකත් සුව කළ නොහැකි පාලනය කළ හැකි යැයි පවසන කාලෙක නිට්ටාවට සුව වන බව කියන පදනම කුමක්ද?

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිර්මාණය වෙන්නේම රෝග නිට්ටාවටම සුව කරන්නටයි. රෝග බාගෙට සුව කරන ක්‍රමයක් මෙම වෛද්‍ය ක්‍රමය තුළ නැහැ. නිවැරදිව රෝග මූලය (රෝග නිදානය) හඳුනාගෙන ප්‍රතිකාර තුළින්ම එම හේතූන් මුලිනුපුටා දැමූ විට නැවත එම රෝග හටගන්නේ නැහැ. එය රෝග නිට්ටාවටම සුව කිරීමක්.

දියවැඩියාව සුව කළ නොහැකියි කියන මතය හැමවිටම සත්‍ය වන්නේ නැහැ. එය පොදුවේ කිවහැකි කාරණයක් නෙවෙයි. නිවැරදි ප්‍රතිකාර, ආහාර සහ විහරණයන් ඇසුරින් දියවැඩියා රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නිට්ටාවටම සුවකළ හැකියි.

දියවැඩියා රෝගයේදී ශරීර අභ්‍යන්තරයේ සිදුවන්නේ කුමක්ද?

සරලව ගතහොත් දියවැඩියා රෝගයේදි බොහෝවිට සිදුවන්නේ අග්න්‍යාශය දුර්වල වෙන එක. මේ නිසා අග්න්‍යාශයෙන් සිදුවන සියලු ක්‍රියාවන් අඩපණ වෙනවා. අග්න්‍යාශය විසින් සිදු කරන මූලිකම කාර්යය තමයි, ඉන්සියුලින් නැමැති හෝර්මෝනය නිපදවීම, එමඟින් ඉන්සියුලින් නිෂ්පාදනය කළොත් තමයි රුධිර ප්ලාස්මාවේ ඇති ග්ලූකෝස්, දේහ සෛලවලට ප්‍රයෝජනයට ගත හැකි වන්නේ. මෙම ක්‍රියාවලිය ග්ලූකෝස් පරිවෘතිය ලෙස හඳුන්වනවා. ග්ලූකෝස් පරිවෘතීය අඩාල වීමේ ප්‍රතිඵලය ග්ලූකෝස් දේහ සෛල වලට ඇතුළු වීමෙන් සිදුවන ශක්තිය සහ පෝෂණය සැපයීමේ ක්‍රියාවලිය ඇණහිටීමයි. එනම් මෙම අවස්ථාවේදී රුධිර ප්ලාස්මාවේ ග්ලූකෝස් වැඩි වැඩියෙන් එක්රැස් වෙනවා. මෙසේ රුධිර ප්ලාස්මාවේ ග්ලූකෝස් ධාරිතාවය වැඩිවීම දියවැඩියාව ලෙස හඳුනා ගන්නවා.

දියවැඩියාව කියල හඳුනාගත්විට හැමදෙනාම කරන්න උත්සාහ ගන්නේ ලේවල ග්ලූකෝස් මට්ටම අඩු කිරීමට ප්‍රතිකාර කරන එක.

රුධිරයේ ඇති ග්ලූකෝස් අඩු කිරීමට පමණක් ප්‍රතිකාර කිරීම, රෝග හේතුවට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණය සදාකාලිකවම යටපත් කරන්නට ගන්නා උත්සාහයක්.

මෙවැනි රෝගියෙකුට සිදුකරන ප්‍රතිකාර මොනවාද?

දියවැඩියා රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී මා සිදු කරන්නේ දුර්වල වී තිබෙන අග්න්‍යාශය සුවපත් කරන එකයි. අග්න්‍යාශය සුවපත් කළ විට එමඟින් ඉන්සියුලීන් නියමිත ආකාරයට නිපදවෙනවා. එවිට ස්වාභාවිකවම රුධිරයේ ග්ලූකෝස් පරිවෘතිය සිදුවෙනවා. එය තමයි දියවැඩියාව නිට්ටාවටම සුව කරන සාර්ථක ක්‍රමය.

අග්න්‍යාශයේ සුවපත් භාවය සඳහා සිදු කරන ප්‍රතිකාර මොනවාද?

අග්න්‍යාශය සුවපත් කරන්න නම් ප්‍රථමයෙන් අග්න්‍යාශය දුර්වල වෙන හේතු හඳුනාගෙන එවා වළක්වන්න ඕනේ.

අපි කව්රුත් දන්නේ මධුර රසය බහුල සීනි අධික, පිෂ්ඨය සහිත ආහාර වැඩිපුර ගත්විට ලේවල සීනි මට්ටම වැඩිවෙලා එය පාලනය කරන්න වැඩි වැඩියෙන් අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් නිපදවලා වැඩ අධික වීම නිසා අග්න්‍යාශය දුර්වල වීම පමණයි. නමුත් වර්තමානයේදී අග්න්‍යාශය දුර්වල වෙන්න හේතු වන වැඩිදෙනෙකු නොසලකාහැර ඇති නොදන්නා කාරණා ගණනාවක් තියෙනවා.

ඒ කරුණු මොනවාද?

ඒවා තමයි. මධ්‍යසාර ගැනීම, අම්ල රසැති ආහාර අධිකව සේවනය කිරීම, උෂ්ණ කටුක ආහාර අධිකව සේවනය කිරීම, අනවශ්‍ය පරිදි රසකාරක වැනි රසායනික පදාර්ථයන් මිශ්‍ර කෘත්‍රිම ආහාර බහුලව සේවනය කිරීම සහ මේ සියල්ලෙන්ම තොර වුවත් ආහාර ජීර්ණ පද්ධතියේ පවතින විවිධ විෂමතා/දුර්වලතා හෝ ගැස්ට්‍රයිටීස් ප්‍රධාන තැනක් ගන්නවා.

මෙහිදී ගැස්ට්‍රයිටීස් ගැන අවධානය වැඩිපුර යොමු වෙනවාද?

දියවැඩියාව පමණක් නෙමෙයි අනෙකුත් සියලුම කායික රෝග වලත් ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන විවිධ දුර්වලකම් කෙලින්ම බලපානවා. එය නවීන විද්‍යාවට ගැලපෙන්න කියනව නම් “ආහාර ජීර්ණයට අවශ්‍ය ජීරක යුෂයන්හි වෙනස්වීම හෝ අනුපාතය වෙනස් වීම” ලෙස හඳුන්වන්න පුළුවන්. මේ නිසා අප ගන්නා ආහාර හරිහැටි දිරවන්නේ නැහැ. ගැස්ට්‍රයිටීස් කියන්නෙත් මෙවැනි තත්ත්වයන්.

මේ නිසා ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන්ට අවශ්‍ය පෝෂණය නිසිලෙස ලැබෙන්නේ නැහැ. ඒ වගේම වැරදි ලෙස හෝ අර්ධ වශයෙන් ජීර්ණය වූ ආහාර රසය ශරීරයට විෂක් ලෙස ක්‍රියා කරනවා. මෙවැනි හේතු නිසා කාර්යබහුල ඉන්ද්‍රියයක් වන අග්න්‍යාශය දුර්වල විමට තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා තමයි ගැස්ට්‍රයිටීස් වැනි ආහාර ජීර්ණ පද්ධතියේ ඇති දුර්වලතා ඉක්මනින් සුවකළ යුතු වන්නේ.

මේ සඳහා පවතින ප්‍රතිකාර මොනවාද?

මම ආරම්භයේ පටන් රෝගියෙකුගේ ආහාර ජීර්ණයේ ඇති දුර්වලතා මඟහරවන්න ප්‍රතිකාර කරනවා. එවිට රෝගියාට සුදුසු පරිදි බඩගින්න වැඩෙනවා. ගන්නා ආහාර හොඳින් ජීර්ණය වෙනවා. මලබද්ධය හෝ විටින් විට මල පිටවීම වැනි විෂමතා සම්පූර්ණයෙන්ම සුව වෙනවා.

මේ අතරම විවිධ හේතු (ඉහතින් සඳහන් කළ පරිදි ආහාර, මධ්‍යසාර හෝ ජීර්ණයේ දුර්වලතා) නිසා ශරීරය එකතු වී ඇති විෂ කොටස් ශරීරයෙන් බැහැර කරවන ඖෂධ යොදනවා. එතකොට ප්‍රතිකාර ගන්නා රෝගීන් පවසන්නේ ඔවුන්ගේ ශරීරවල මෙතෙක් පැවති තදබව, බර බව ඉවත්වෙලා, නිදිමත හෝ නින්ද නොයාම වැනි තත්ත්වයන් මඟ හැරිලා. හිසේ කැක්කුම්, බඩ පුරවා දැමීම වැනි අපහසුතාවයන්, ඇඟේ පතේ අමාරු, කේන්ති යාම නුරුස්සන ගතිය, හන්දිපත් අමාරුව, තුනටියේ අමාරුව, අත් පා හිරිවැටීම් සුව වෙලා ශරීරයට පුදුම සැහැල්ලුවක් සුවයක් දැනෙනවා කියලයි.

මේ විදිහට රක්ත ශෝධන ඖෂධ යොදන අතරෙම ශරීරයට

අවශ්‍ය ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය සහ විටමින් සහිත ආයුර්වේදීය

විශිෂ්ට රසායන ඖෂධ ලබාදෙන නිසා ඒවායේ ගුණයෙන් දුර්වර්ණ වූ සම පැහැපත් වීම සහ මානසික ඒකාග්‍රතාවය වැනි හිතකර තත්ත්වයන් ඇති වෙනවා.

ඖෂධ භාවිතා කරන ක්‍රමය පිළිබඳවත් විස්තර කළොත්?

මා මෙහිදී සිදු කළේ පාරම්පරික අත්දැකීම මතින් ගොඩනැඟුණු ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රමයන්ට නවීන තාක්ෂණික භාවිතයන් මුසු කරමින් ගුණාත්මකව ඖෂධ නිපදවීමයි.

බෙහෙත් වට්ටෝරු ලියා දිමෙන් බැහැරව තම්බා පිළියෙල කළ ක්ෂාය වර්ග බෝතල් ලෙසම ලබා දෙනවා. ඇතැම් ක්ෂාය වර්ග පෙති ලෙස සකස් කරල තියෙනවා. මීට අමතරව ගුලි වර්ග චූර්ණ වර්ග, කල්ක වර්ග, ක්වාථ වර්ග නිපදවෙලා තියෙන්නෙත් ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි ලෙසයි.