ඩෙංගු වෛරසය හඳුනාගැනීමට සිදුකරන ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය

ඩෙංගු වෛරසය හඳුනාගැනීමට සිදුකරන ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය

ඩෙංගු රෝගය අද වනවිට අප රටේ යම් ප්‍රදේශවල වසංගත තත්ත්වයක් ලෙස වර්ධනය වී ඇති බව මේ වනවිට දත්ත මඟින් අනාවරණය කරගෙන තිබේ. තවද මේ රෝගයත් සමඟ කොපමණ දැනුම බෙදා දී තිබුණ ද බොහෝදෙනෙකු අතිශය කලබලකාරී තත්ත්වයකට පත්වන බවද රහසක් නොවේ.

තම සමීපතමයකු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇතැයි හඳුනාගත් සැනින් බොහෝදෙනෙකු විවිධ ප්‍රතිකාර සෙවීමට උත්සාහ දරන බවද රහසක් නොවේ. කෙසේ වෙතත් බොහෝදෙනෙකු තවමත් පටලවා ගෙන ඇති ගැටලුකාරී තත්ත්වයක් වන්නේ ඩෙංගු සඳහා සිදු කරන රුධිර පරීක්ෂණ පිළිබඳ ගැටලුවයි.

ඩෙංගු හැදුනාම ලේ එකක් බලනවා. ඒත් අපි දන්නෙ නැහැ, ඇත්තටම මොකක්ද කරන්න ඕනෙ කියලා..... ඉස්සර කිව්වෙ දවස් තුනකින් ලේ එකක් බලාගන්න කියලා.

දැන් ඒ කතාව වෙනස් වෙලා. ඇත්තටම මොකක්ද කරන්න ඕනෙ?

මේ බොහෝදෙනෙකු මේ පිළිබඳ කියන කතාවයි. ඒ අනුව ඩෙංගු හඳුනා ගැනීමට සිදු කළ යුතු රුධිර පරීක්ෂාවන් ගැන නැවත ඔබ දැනුවත් කිරීමක් කරන්නෙමු.

ඩෙංගු රෝගය සම්බන්ධයෙන් සිදු කරන රුධිර පරීක්ෂණ දෙකක් ඇත. ඒ, ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය හා ඩෙංගු ඇන්ටිබොඩි යන රුධිර පරික්ෂණ දෙකයි.

ඇන්ටිජන් යනුවෙන් හඳුන්වනුයේ රෝගයක් සාදන විසබීජයය. ඇන්ටිබොඩි යනු ඒ සඳහා සිරුරෙන්ම සෑදෙන ප්‍රෝටීනයයි. මෙහිදි එම විසබීජය හඳුනා ගැනීම සඳහා සිදු කරන පරික්ෂණ නම්, NS1  ඇන්ටිජන් පරීක්ෂණයයි.

සාමාන්‍යයෙන් යම්කිසි ආසාදන තත්ත්වයකදී අදාළ විසබීජය සිරුරේ ක්‍රියාකාරීව පවතිනුයේ රෝගී තත්ත්වයේ මුල්ම අවස්ථාවේදීය. ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ද එය අදාළ වන අතර ඩෙංගු වෛරසය හඳුනා ගැනීමට මූලික අවස්ථාවේදී. එනම් උණ ගැනී පළමු දිනයේම ඉහත දැක්වූ NS1  ඇන්ටිජන් පරීක්ෂණය සිදු කළ යුතු වේ.

වෛරස හඳුනා ගැනීමට වැඩි ඉඩකඩක් ඇති අවස්ථාව එම අවස්ථාවයි. නමුත් බොහෝදෙනෙකු පටලවා ගන්නා නැතිනම් වරදවා වටහා ගන්නා අවස්ථාව ද මෙයයි. එනම් ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය හරහා ඩෙංගු වෛරසය ශරීරගත වී නැති බවට එම අවස්ථාවේ පෙන්නුම් කළ ද, එම දත්ත රෝගය වැළඳී නැතැයි සෑහීමට පත් වීමට තරම් ප්‍රමාණවත් දත්තයක් නොවන බවට දැන් අප අවබෝධ කරගත යුතුමය.

එනම් ඔබට උණ රෝගය වැළඳුණේ නම් මෙම ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය කළද, නොකළද දින තුනකට පසුව සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (FBC) අනිවාර්යෙන්ම කළ යුතු වේ. අප ඉහත දැක්වූ අන්ටිජන් NS1  පරීක්ෂණය උණ වැළඳී මුල් දිනයේ සිට දින 2 නැතිනම් 3ක් දක්වාම කළ හැකිය. නමුත් ගැටලුව වනුයේ කාලය ගෙවි යත්ම මේ පරීක්ෂණය තුළින් වෛරසය හඳුනා ගැනීමට ඇති ඉඩකඩ නැතිනම් රෝගය හඳුනා ගැනීමේ ප්‍රතිශතය ක්‍රම ක්‍රමයෙන් අඩු වීමේ හැකියාවයි.

නමුත් උණ වැළඳී දින තුනකට පසුව සිදු කරන ජ්ඕඛ් පරීක්ෂණය හරහා බොහෝ දත්තයන් අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබේ. තවද අප ඉහත සඳහන් කළ ඩෙංගු ඇන්ටිබොඩි පරීක්ෂණය එනම් වෛරසට විරුද්ධව ඇඟෙන් නිපදවන ප්‍රෝටීනය හඳුනා ගැනීමේ පරීක්ෂණය බොහෝදුරට උණ වැළඳී දින පහකින් පසුව සිදු කරන පරීක්ෂණයක් වේ.

එය ඩෙංගු රෝගය වැළඳී තිබුණේ දැයි හඳුනා ගැනීමට සිදු කරන පරීක්ෂණයක් වුවද කලින් සිදු කිරීමෙන් ප්‍රතිඵලයක් අත් නොවේ.

එබැවින් ඩෙංගු වසංගත තත්ත්වයක් සේ පැතිරී යන මේ සමයේ රුධිර පරීක්ෂණයන් සඳහා යොමු වීමේ වැදගත්කම අවබෝධ කර ගැනීම වැදගත් සේම කුමන පරීක්ෂණයන් කුමන අවස්ථාවේදී කළ යුතුද යන්නත් හොඳින් අවබෝධ කර ගැනීම වැදගත්ය.