අම්මෝ ! බැරල් සයිස්

අම්මෝ ! බැරල් සයිස්

මම අවුරුදු 25ක් වයසැති ගුරුවරියක්මි. උදේ කඩිමුඩියේ බස් එකට දුවන කොට “අන්න බැරල් එකක් පාරේ ඇවිදිනවෝ” කියල කොල්ලෝ වගයක් විහිළු කළා. ලැජ්ජාවේ බෑ. කවුරුත් කියනව මම මහත වැඩියි කියල. ඇත්තටම දොස්තර මහත්තයො මම තරබාරු පුද්ගලයෙක් ද කියල විද්‍යාත්මකව තීරණය කරන්නෙ කොහොමද?

හොඳයි..... තරබාරුකම හෙවත් ස්ථුලතාවය තීරණය කරන්න පුළුවන් මිනුම් වර්ග කිහිපයක්ම තියෙනවා. ඒවා අතරින් වැඩිපුරම භාවිතා කරන කවුරුත් නිර්දේශ කරන මිනුම නම් Body Mass Index හෙවත් BMI දර්ශකයයි. මෙය සිංහලෙන් “දේහ ස්කන්ධ දර්ශකය” ලෙස හැඳින්විය හැකියි. ඔබේ බර කිලෝ ග්‍රෑම්වලින් ද, උස මීටර්වලින් ද මැනගන්න. දැන් ඔබේ බර (Kg) උසේ වර්ගයෙන් (ර්2වලින්) බෙදන්න. එවිට ලැබෙන උත්තරය ඔබේ දේහ ස්කන්ධ දර්ශකයයි.

මේ අනුව BMI = බර (කිලෝග්‍රෑම්) /උස2 (මීටර්2)

මගේ බර රාත්තල් 160යි. උස අඩි 5යි අඟල් 2 (ඒ කියන්නේ අඟල් 62යි) ඒක කිලෝග්‍රෑම් හා මීටර් බවට පෙරළන්නේ කොහොමද?

හරිම ලෙහෙසියි. රාත්තල් එකසිය හැට 2.2 න් බෙදන්න. එවිට ඔබේ බර කිලෝග්‍රෑම්වලින් ලැබෙනවා. රාත්තල් 160/2.2 = 73 Kg වෙනවා. දැන් ඔබේ උස අඟල්වලට පෙරළන්න. අඟල් 62නේ. මෙය 30න් බෙදන්න එවිට 62/30 = 1.55ර් ලැබෙනවා. දැන් ඔබේ BMI ගණනය කරන එක හරිම ලෙහෙසියි නේද? බර ප්‍රමාණය උසේ වර්ගයෙන් බෙදන්න.

BMI = 73/(1.55 * 1.55) = 30.

මේ අනුව ඔබේ දේහ ස්කන්ධ දර්ශකය 30යි.

ඉතින් ඒකෙන් අදහස් වන්නේ කුමක්ද?

යමෙකුගේ BMI අගය 20 - 24.9 ත් අතරට වැටුණොත් ඔහුට ස්ථුලතාවයක් නැහැ. උසට තිබිය යුතු බර තියෙනවා.

BMI  අගය 25ත් 29.9 අතර නම් ඔහු I  ශ්‍රේණියේ ස්ථුලතාවයෙන් පෙළෙනවා කියා කියන්න පුළුවන්. BMI අගය 30ත් 40ත් අතර නම් ඔහු පෙළෙන්නේ II ශ්‍රේණියේ ස්ථුලතාවයෙන්.

BMI අගය 40ට වැඩි නම් තත්ත්වය ඉතාමත් බරපතලයි. ඔහු පෙළෙන්නේ ධ්ධ්ධ් ශ්‍රේණියේ ස්ථුලතාවයෙන්. දැන් ඔබ අයත් වන්නේ කිනම් ශ්‍රේණියට දැයි පැහැදිලියි නේද...? ඔබ ධ්ධ් වන ශ්‍රේණියේ ස්ථුලතාවයෙන් පෙළෙන්නෙක්. ඔබ තරබාරු අයෙක්.

ඇයි මට එහෙම වුණේ. මම අහන්නේ මේ අහිංසක මම නිකම් නිරපරාදේ ඇයි තරබාරු කෙනෙක් වුණේ.....?

නිතර එක තැනකට වී සිටින අක්‍රිය පුද්ගලයන් ක්‍රියාකාරී පුද්ගලයන් ගන්නා ප්‍රමාණයටම ආහාර ගැනීමත් නුසුදුසුයි. ඔබ දන්නවනේ අපේ ශරීරයට අවශෝෂණය වන ශක්ති ජනක ආහාර (පිටි, සීනි, තෙල්, මාංශ, වර්ග හා මධ්‍යසාර) ශක්තිය ලෙස ප්‍රයෝජනයට නොගත්තොත් වෙන දේ. ඒවා තෙල් හැටියට හම යට තැන්පත් වෙනවා.

එම පුද්ගලයා තරබාරු වෙනවා. සමහරු මානසික අසහනය, කාන්සාව නිසා නිතර නිතර ආහාර ගන්නව. සමහර අය තෙල් සහිත, බැදපු වගේම ගොඩක් මිටිකිරි දාපු ආහාරවලට කෑදරයි. තවත් සමහර අය පැණි රස, චොක්ලට්, කේක්, ටොෆි, පුඩිං, වටලප්පන් සහ කැවිලිවලට කෑදරයි. අවසාන ප්‍රතිඵලය තරබාරුවයි. ශක්තිජනක ආහාරයක් ලෙස මධ්‍යසාරය (රා, කසිප්පු, බියර්, අරක්කු, විස්කි, බ්‍රෑන්ඩි, වයින්) ඉහත සඳහන් වුණා. ඒවායේ ශක්තිජනක අගය සීනිවලටත් වඩා අධිකයි. දෙවැනි වන්නේ තෙල්වලට පමණයි. වැඩිපුර බොන අය නොකෑවත් මහත් වෙන්නේ ඒකයි. සමහර අයගේ ශරීරයේ ශක්තිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන ජීව ක්‍රියාවලිය (තෙල් හා කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය) අඩාල වී තිබෙන්නටත් පුළුවනි. එය තරබාරුවට තවත් හේතුවක්. තයිරොයිඩ් ග්‍රන්ථිය නිසිලෙස ක්‍රියා නෙකරන අය මහත් වෙන්නේත් ඒ නිසයි.

හොඳයි දැන් මම තරබාරු පුද්ගලයෙක් කියල පිළිගන්නව, තරබාරු වීම නිසා මගේ සෞඛ්‍යයට තර්ජනයක් වෙයිද....?

ඔව්. තරබාරු පුද්ගලයින් බොහොම සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙනව.

මෙන්න හැදෙන ලෙඩ

පොදුවේ ගතහොත් තරබාරු අය සාමාන්‍ය බර ඇති අය තරම් කල් ජීවත් වෙන්නෙ නෑ. නොයෙක් හේතු නිසා අකාලයේ මිය යනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග තරබාරු පුද්ගලයන් අතර සුලබ රෝග. තරබාරු මවක් ගර්භනී වුවහොත් ඇයට බොහෝ සංකීර්ණ ප්‍රශ්න ඇති විය හැකියි. ප්‍රසූතිය අපහසු විය හැකියි. බර වැඩි අයගේ හන්දිවලට (කොඳු ඇට පෙළ, දණහිස වළලුකර වැනි) වැඩිපුර බර දැනෙන දණහිස නිසා හන්දිපත් රුදාව, දණහිස් කඩුත්තුව, නැත්නම් ආතරයිටීස් හෙවත් වාත රෝග බොහෝ විට ඇති වෙනව. කකුලේ නහර ගැට ගැසීම හෙවත් (විස්තාරික ශිරා) නම් රෝගයත් ට්ධභබ (ගවුට්) නැමැති හන්දි ඉදිමීමේ රෝගයත් හර්නියා (ඩ්ඥපදඪච) රෝගයත් මහත අය අතර සුලබයි. ශල්‍යකර්මයක් කරන්නට ගියත් තරබාරු අයට සාමාන්‍ය අයට වඩා සංකූලතාවලට මුහුණ දීමට සිදු වෙනවා. ඇඟේ තෙල් වැඩි නිසා සැත්කම කිරීමත් අපහසුයි.

දැන්නම් මට නිකම් බයයි වගේ, කොහොමද තරබාරුව අඩු කරගන්නේ.....?

තරබාරුව අඩු කර ගැනීමේ එකම ක්‍රමය නම් අඩුවෙන් කෑමත්, ව්‍යායාම කිරීමත්, තවත් විදිහකින් කීවොත් අඩුවෙන් ශක්තිය ලබාගෙන වැඩියෙන් ශක්තිය වැය කිරීමයි.

අපේ ශරීරයේ බර අඩු වැඩි වීමට බලපාන ප්‍රධාන ද්‍රව්‍යයන් 3ක් තියෙනවා. ජලය, මාංශ හෙවත් පේශි හා තෙල් හෙවත් මේදය බර අඩු කිරීමේදී අපේ අවධානය යොමු විය යුත්තේ ජලය හා පේශි නොවන මේදය අඩු කිරීමටයි. දවසක් ජලය නොබී හිටියොත් බර රත්තල් පහක් විතර අඩු වේවි. ඒත් ජලය පානය කළ වහාම ඒ බර යළි වැඩි වෙනවා.

දවසක් දෙකක් නිරාහාරව හිටියොත් බර අඩු වෙයිද?

බර නම් අඩුවෙයි. නමුත් යමෙක් නිරාහාරව සිටින විට ශරීරනේ වැය වන්නේ තෙල් පමණක් නොවේ. ජලය හා පේශි ද නැති වෙයි. මෙය සිරුරට හිතකර නෑ.

ආහාර පාලනය කළොත් (Dieting) මොනව වෙයිද.....?

ආහාර පාලනය කළ විට තෙල් මෙන්ම පේශිද ක්ෂය වී යයි. එමෙන්ම ආහාර පාලනයෙන් පමණක් බර අඩු කරන අයගෙන් දීර්ඝකාලීන සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත්තේ සියයට 20 කට පමණි. අනෙක් අය යළි මුල් තත්ත්වයටම පත් වෙනවා.

එහෙම නම් බර අඩු කරන හොඳම ක්‍රමය මොකක්ද? ආහාර පාලනය හා ව්‍යායාමයද.....?

හරියට හරි. ව්‍යායාමයේදී ඇඟේ තිබෙන තෙල් දියවෙනවා. නමුත් පේශීන් වැඩෙනවා. ඒ නිසා බර අඩු කරන හොඳම ක්‍රමය තමයි අඩු ශක්තිජනක ආහාර අනුභවයත් ක්‍රමානුකූලව ව්‍යායාමයත්.

ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ආරියසේන යූ. ගමගේ