ෆේස්බුක්, ට්විටර් යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් ඇබ්බැහි වීමේ ව්‍යාධිය

ෆේස්බුක්, ට්විටර් යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් ඇබ්බැහි වීමේ ව්‍යාධිය

අසීමාන්තික සයිබර් අවකාශය තුළ මහා ජංජාලයක් වී ඇති සමාජ මාධ්‍ය, පුද්ගල ජීවිතයට සිදු කර ඇති බලපෑම සමාජයීය විද්‍යා පර්යේෂණ සිදු කිරීම දක්වාම දැන් ඔඩු දුවා තිබේ.

මොකක්ද ප්‍රශ්නෙ?

අපිට නම් ප්‍රශ්නයක් නෑනෙ? මේ සම්බන්ධයෙන් බොහෝ පිරිස් දෙන පිළිතුර මෙයයි. මෙලෙස තරුණ කණ්ඩායම් ප්‍රමුඛව විවිධ සමාජ ස්ථරයන් නියෝජනය කරන පිරිස් ප්‍රශ්න කිරීමම මේ ජංජාලය තව තවත් පටලවා තබන්නට හේතුවක් වී තිබේ.

විකාර කියවන්න එපා - සෝෂල් මීඩියා නැතිව මොනවා කරන්නද?

මහජන සබඳතා ආශ්‍රිත කාර්යයන්වල නියැළෙන තරුණ කණ්ඩායම්, වෘත්තීයවේදීන්, විශ්ව විද්‍යාල සිසුන්, ආචාර්යවරුන් ඇතුළු බොහෝ පිරිස් සමාජ ජාල අත්‍යවශ්‍යය යන්න වූ ඉතාමත් සාධනීය තර්කය ශක්තිමත් කිරීමට දායක වන ප්‍රබලම පිරිසයි. සමාජ ජාල සමඟ බැඳී සිටීම ඔබට වැදගත් ඇයි? පැය 24 පුරා අලුත්වන රැකියා වෙළඳපල පිළිබඳ අවදියෙන් සිටීමට, වෘත්තීය පුහුණු අවස්ථා පිළිබඳ තොරතුරු දැන ගැනීමට, ඔබේ රැකියා ස්ථානයේ කටයුතු සමඟ සම්බන්ධීකරණය වීමට එසේත් නැතිනම් පුද්ගල සබඳතා පවත්වා ගැනීමට, ඕපාදූප, ප්‍රවෘත්ති මේ ඕනෑම හේතුවක් ඔබට බලපෑ හැක.

මේ අතර සැල්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලය මඟින් සමාජ ජාල ඇසුරු කරන්නන් පිළිබඳ කළ සමීක්ෂණයකින් අනාවරණය කරගෙන ඇත්තේ කවුරුන් කෙසේ කීවද ෆේස්බුක්, ට්විටර් වැනි අතිශය පුද්ගල බද්ධ සමාජ මාධ්‍ය ඇසුරු කරන බහුතරයකගේම ජීවිත සාධනීය වෙනසකට ලක් වී නැති බවයි.

ඒ ඇයි?

සමීක්ෂණයට පාත්‍ර වූ අයගෙන් 45%ක්ම කියා ඇත්තේ මේ ඇසුර ඔවුන්ව වේදනාවට, වෙහෙසට හෝ අසහනකාරී තත්ත්වයකට පත් කළ බවයි.

සමාජ මාධ්‍ය නූතන රැකියාවට බද්ධ වූ ඉතා වැදගත් අංගයක් ලෙස සැලකුවත් එය දිගුකාලීනව බලපෑ හැකි ආතතීන් දක්වා ඔවුන්ව ගෙන ගොස් ඇති බව සමීක්ෂණයන් තහවුරු කර තිබුණි.

සති අන්තයෙන් පටන් ගෙන සතියේ දින පහේමත්, දිවා කාලයේත්, රෑ නොනිදාත් බහුතරයක් පරිගණකයේ හෝ තම අයි ෆෝනයේ ඇලී සිටින බව ලොවට රහසක් නොවේ. විටින් විට තම ටයිම් ලයිනය පිරික්සා බැලීමටත් වෝල් මත එළා ඇති තොරතුරු දැන ගැනීමටත් මා පෙළෙන කුතුහලය මා නම් හොඳින්ම දනිමි. මේ මත් වීම නවතම මෘදුකාංග නිපදවන්නන්ට ප්‍රමාණවත් උත්තේජනයකි. නමුත් දිනෙන් දින හඳුන්වා දෙන නව මෘදුකාංග ද මිනිසාගේ පිරිසුදු මනසට ගෙනදී ඇත්තේ වේදනාවක්ම පමණි.

මොළේට මොනව වෙලාද?

සමීක්ෂණයට බඳුන් වූ තරුණ තරුණියන් සැලකිය යුතු පිරිසක් අවංකව ප්‍රකාශ කර ඇත්තේ මේ විපරීතය නිසා ඔවුන්ට මතක ඇති කාලයකින් රාත්‍රියේ සුව නින්දක් නොලැබුණු බවයි. තවද තම දුරකථනය නාද වෙනු ඇසෙන්නාක් මෙන් දැනෙන බවද එයින් සිය මානසික ඒකාග්‍රාතාව බිඳ වැටෙන බවද එය පීඩාවක්ව ඇති බව ද ඔවුන් හෙළි කර තිබුණි. මින් පෙර, නින්දට යන්නට මත්තෙන් අතීතයේ දරුවන්ව පුරුදු පුහුණු කර තිබුණේ ආගම දහම සිහිකර පී‍්‍රතිමත්ව නින්දට යන පිළිවෙළටය.

නමුත් මේ සමීක්ෂණයටම නතු වූ කණ්ඩායම්වල වැඩි පිරිසක් රාත්‍රියේ නින්දට පෙර දහවලේ ආතතිය බිඳ වෙහෙස නිවා ගැනීමට යොදාගෙන තිබුණේ ෆේස්බුක් ට්විටර් යූ ටියුබ් ඉන්ස්ටර්ග්‍රෑම් ආදී වූ ඇසුරකි. ඒ ව්‍යාධිය කොයිතරම් බරපතළ වී තිබෙනවාද කියතොත් මේ වනවිට බහුතරයක් දෙනා පසුවනුයේ තම අයි ෆෝනය නැති වුණොත් නම් මං ඉවරයි. වැනි වූ මාරාන්තික භීතිකාව සමඟ බවද සමීක්ෂකයින් හෙළි කරගෙන තිබේ.

තවද පුද්ගල පෞරුෂය ප්‍රවර්ධනය කර ගැනීමේ වෙහෙසකාරී අරමුණෙන් හා පුද්ගල සබඳතා අත් නොහැර ගැනීමට ඇති ලෝභකමේ අන්තයටම ගොස් කාංසාමය නම් වූ රෝගී තත්ත්වය ද පසාරු කරගෙන සිය දිවි නසා ගැනීම තෙක්ම පාලනය කළ නොහැකි තත්ත්වයට පත් වී ඇතැයි ද සමීක්ෂකයින් අනාවරණය කරගෙන තිබේ.

කෙසේ නමුත් ඔවුන් මේ සඳහා යම් විසඳුමක් ද ඉදිරිපත් කොට තිබුණි. එනම් අඩු ආතතියකින් තමන්ගේ එදිනෙදා කටයුතු මේ ජංජාල මාධ්‍ය සමඟ සමබර කරගත හැකි ක්‍රම කීපයක් ඔවුන් ඒ සමඟ හඳුන්වා දී තිබුණි. එනම් මෙසේය. ඔබ සමාජ මාධ්‍යයට ඇබ්බැහි වී ඇති අයෙකු නම් සමාජ ජාලයෙන් ටිකකට විවේක ගෙන ඇවිදින්න නැතිනම් ටෙලිවිෂනය ටිකක් බලන්න නැතිනම් හොඳ චිත්‍රපටියක් බලන්න. ඊමේල් බැලීමට පිළිවෙලක් - කලාවක් සකසා ගන්න.

විශේෂයෙන්ම ඊමේලයක් දුටු පමණින් පිළිතුරු යවන්නට කලබල නොවී (අත්‍යවශ්‍ය අවස්ථාවක හැර) අඩු තරමින් ටික වේලාවක් එය පමා කරන්න.

එසේත් නැත්නම්,

ඔබ රැකියාවේ යෙදෙන විට හෝ දේශනවලට සහභාගී වී සිටින විට හෝ මහජන සබඳතා ආශි‍්‍රත කටයුතු වල නියැලී සිටින විට සමාජ ජාල පිටු, ගිණුම් සියල්ල වසා තබන්න.

අන්තර්ජාලයෙනි