ආහාරයෙන් පැය 2කට පසු රුධීරගත සීනි මට්ටම පරීක්ෂා කරන HBA1c පරීක්ෂණය

ආහාරයෙන් පැය 2කට පසු රුධීරගත සීනි මට්ටම පරීක්ෂා කරන HBA1c පරීක්ෂණය

ජාතික රෝහලේ සහ නවලෝක රෝහලේ දියවැඩියාව හා හෝර්මෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය

චමින්ද ගරුසිංහ

නිසි පාලනයක් සිදු නොකළහොත් ඕනෑම දේකින් අත්විඳීමට සිදුවන ප්‍රතිඵලය ඉතා භයානක විය හැකියි. ඇතැම් රෝගී අවස්ථා පිළිබඳ සලකා බැලීමේදී මේ පිළිබඳව ඔබට හොඳින්ම අවබෝධ කරගත හැකියි. දියවැඩියාව යනු එවැනි එක් විශේෂිත රෝගී තත්ත්වයක් වන අතර නිසි පාලනයක් නොකිරීමෙන් ඉන් ඇතිවන සංකූලතා නිසා ඔබේ ජීවිත අවදානම ද ඉහළ යා හැකියි. මේ නිසා නිරන්තරයෙන් ඒ පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත් වන අතර ඒ සඳහා සිදු කෙරෙන පරීක්ෂණ හරහා ඒ අවධානය, අවදානමක් බවට පත් නොවේවි. එවැනි දියවැඩියාව සඳහා සිදු කෙරෙන එක්තරා පරීක්ෂණ ක්‍රමයක් වන HBA1c  පිළිබඳ කොළඹ ජාතික රෝහලේ හා නවලෝක රෝහලේ දියවැඩියාව, හෝර්මෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය චමින්ද ගරුසිංහ සමඟ ගෙන එන සාකච්ඡාවක්.

රුධිරගත සීනි ප්‍රමාණය මැන බැලෙන නිර්ණායක මොනවාද?

දියවැඩියා රෝගීන්ගේ රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය මැන බැලීමේ නිර්ණායක කිහිපයක් ඇත. මෙහිදී බහුලව භාවිතා වන්නේ Fasting blood Sugar (FBS)  හෙවත් නිරාහාරව සිට කරනු ලබන රුධිර පරීක්ෂණයයි. මෙම පරීක්ෂණය සඳහා පැය 8 සිට 10 දක්වා කාලයක් නිරාහාරව සිටිය යුතු අතර එම කාලසීමාව තුළ ජලය පානය කිරීම පමණක් සිදු කළ හැකියි.

මීට අමතරව ආහාරයට පැය 2කට පසුව රුධිරගත සීනි මට්ටම ද මැන බැලීමට ද ඉතා වැදගත් වන අතර එම පරීක්ෂණය Postprandial blood sugar (PPBS) ලෙසින් හැඳින්වේ. කෙසේ වෙතත් නිරාහාරව සිදු කරන රුධිර පරීක්ෂණයේ (FBS) අගය 130 ට වඩා අඩුවෙන් හා කෑමට පැය 2කට පසුව සිදු කරන පරීක්ෂණයේ (PPBS) හි අගය 180ට වඩා අඩුවෙන් තිබීම අත්‍යවශ්‍ය වේ. එසේ වුවත් FBS  සහ PPBS අගයන් නිරන්තරව අඩු වැඩි වීම් වලට ලක් වේ. මේ සඳහා පුද්ගලයා ලබා ගන්නා ආහාරයේ ස්වභාවය විශේෂයෙන් ආහාරයේ පවතින පිෂ්ඨ ප්‍රමාණය මෙන්ම ව්‍යායාම මත මෙම අගයන් වෙනස්වීම්වලට ලක්විය හැකියි. උදාහරණයක් ලෙස FBS පරික්ෂණයේ අගයන් එක පිට දින 2 කදී විමසා බැලුවහොත් ඒවා 30% - 40% දක්වා වෙනස් අගයන් විය හැකියි. මේ නිසා පුද්ගලයෙකුගේ සමස්ත සීනි පාලනය පිළිබඳ මැන බැලීම එතරම් නිවැරදි නොවිය හැකියි. එබැවින් ඊට භාවිතා කළ හැකි පරීක්ෂයක් ලෙස HBA1c  පරීක්ෂණය පිළිබඳ හඳුන්වා දිය හැකියි.

HBA1c  පරීක්ෂණය පිළිබඳ හැඳින්වුවොත්?

මෙම පරික්ෂණය හරහා පසුගිය මාස 03ක කාලය තුළ රුධිරයේ පවතින සීනි ප්‍රමාණය පිළිබඳ වැටහීමක් ලබාගත හැකියි. සරලව පැහැදිලි කළහොත් HBA1c  යනු රුධිරයේ පවතින රතු රුධිර සෛලවල තැන්පත් වී ඇති සීනි ප්‍රමාණයයි. රතු රුධිරානුවක් සාමාන්‍යයෙන් දින 120 ක් ජීවත් වන නිසා මෙම පරීක්ෂණය මඟින් පසුගිය දින 120 තුළ ශරීරයේ පැවති ග්ලූකෝස් ප්‍රමාණ පිළිබඳව හොඳ වැටහීමක් මේ හරහා ලබා ගත හැකි වේ.

HBA1c  අගය පැවතිය යුතු සීමාවන් මොනවාද?

දියවැඩියාව නොමැති සාමාන්‍ය නිරෝගී අයෙකුගේ මෙම පරීක්ෂණයේ අ ගය 4.5% - 5.5% අතර අගයක පැවතිය යුතුයි. නමුත් මෙම තත්ත්වය 5.7% - 6.4% දක්වා අගයක පැවතුණහොත් එය පූර්ව දියවැඩියා තත්ත්වයක් ලෙස හඳුන්වනු ලැබේ. මෙසේ යම් අයෙකුගේ මෙම පරීක්ෂණයේ අගය 6.4% ට වඩා වැඩි නම් එම පුද්ගලයාට දියවැඩියාව වැළඳී ඇති බව නිගමනය කළ හැකියි. ඉහත අගයන් දියවැඩියාව හඳුනාගැනීමේදී විමසා බැලෙන අතර දියවැඩියා පාලනයේදී මෙම අගය 7% ට වඩා අඩු මට්ටමේ පවත්වා ගැනීම බොහෝදෙනෙකුට ඉතාමත් සුදුසුය. නමුත් සමහර අවස්ථාවලදී ඊට වඩා වැඩි අගයක් වුවත් ප්‍රමාණවත් යැයි වෛද්‍යවරයා විසින් නිගමනය කළ හැකියි.

මෙම පරික්ෂණය සිදු කිරීමේ වැදගත්කම් මොනවාද?

HBA1c  ඉතාමත් සූක්ෂමව සිදු කළ යුතු පරීක්ෂණයක් බැවින් ඉතාමත් නිවැරදිව උසස් තත්ත්වයේ රසායනාගාරයක් මඟින්ම එය සිදු කල යුතුය. එසේ නොවුණහොත් නිවැරදිව රෝගී තත්ත්වය වෛද්‍යවරයාට නිර්ණය කිරීමට පවා අපහසු විය හැකියි. තවද මෙම පරීක්ෂයේ අගය සමහර රෝගී තත්ත්ව වලදී වෙනස් විය හැකියි. නීරක්තිය, රුධිර වහනය වන රෝග සහ රුධිර සෛල විනාශ වන රෝගී තත්ත්ව නිසා එසේ මෙම පරීක්ෂණයේ දත්ත නිවැරදි නොවීමට හැකියි. ඒ නිසා මෙම පරීක්ෂණ වාර්තා එවැනි රෝගී තත්ත්ව පවා සියුම් ලෙස හඳුනාගත හැකි වෛද්‍ය අධීක්ෂණයක් යටතේ සිදු කිරීම ඉතා වැදගත්.

ඒ වගේම මෙම පරීක්ෂණය අවුරුද්දකට දෙවරක් වත් සිදු කළ යුතු අතර දියවැඩියාව නිසි පාලනයක් සිදු වී නොමැති නම් අවම වශයෙන් මාස 03කට වරක් වත් මෙම පරීක්ෂණය සිදු කළ යුතුයි.