නාසය සහ කනේ අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි Rigid Nasal Endoscopy සහ Microscopy

නාසය සහ කනේ අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි Rigid Nasal Endoscopy සහ Microscopy
 

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

සීතා අරඹේපොල

අනේ අම්මපා මෙහෙමත් ලෙඩක්. උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා නහය බ්ලොක් වෙලා. සමහර වෙලාවට නහයෙන් ලේ යනවා. වෙලාවකට බයත් හිතෙනවා. පිළිකාවක්ද? කියලා. මෙවැනි මැසිවිලි නගන බොහෝ දෙනෙක් ඔබ දැක ඇතුවාට සැක නැත. නහයට වද දෙන ලෙඩ අතර සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, මස්දළු, සොටු දියර ගැලීම, සයනසයිටීස් (කෝටර ප්‍රදාහය) ගෙඩි වර්ග, පිළිකා මෙන්ම ඇඩිනොයිඩ් ග්‍රන්ථියේ ඇති වි තිබෙන ගැටලු ආදිය විශේෂිතය.

අපේ අත් පා හෝ සිරුරේ පෙනෙන යම් කිසි ඉන්ද්‍රියයකට, යම් ගැටලුවක් මතුවු විට එහි ස්වභාවය, එහි තත්ත්වය අපේ පියවි දැසට දැක ගන්නට හැකියාවක් තිබුණද, නාසය හෝ කන ඇතුලේ යම් කිසි ආබාධයක් ඇතිවුවහොත් එය අපේ පියවි දෑසට දැක ගැනිමට නොහැකිය. නමුත් හාස්කම් පාන ෙවෛද්‍ය විද්‍යාව තුළ උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයෙකුට මෙවැනි තත්ත්ව ඇතිවිමට හේතුව ඔවුන්ගේ අත්දැකීම් සම්භාරය තුළ සහ නාසය සහ කන අභ්‍යන්තරය බැලිය හැකි කන්නාඩියක් උපයෝගි කරගනිමින් දැක ගත හැකිය.

නමුත් තාක්ෂණයේ දියුණුවත් සමග වර්තමානයේ මේ තත්ත්වය වැඩිදුරටත් සොයා බැලිය හැකි කැමරාවක් සහිත උසස් මට්ටමේ තාක්ෂණික මෙවලමක් ඇතැම් රෝහල්වල් අද ENT. ට්‍රිට්මන්ට් යුනිට් හි දක්නට ඇත. මෙම නවතම තාක්ෂණික මෙවලමේ තිබෙන විශේෂත්වය වනුයේ මේ මගින් නාසය හෝ කන අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි විමයි. නාසය අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි ක්‍රමය හඳුන්වන්නේ Rigid Nasal Endoscopy  නේසල් එන්ඩොස්කොපි ලෙසයි.

රෝගියාගේ නාසයේ සැක සහිත ගැටලුකාරි තත්ත්වයක් ඇත්නම් එය හරියාකරව දැක ගැනිමට මෙම Rigid Nasal Endoscopy  ක්‍රමයට හැකිවි තිබෙනවා.

තවත් විශේෂත්වයක් වනුයේ මෙම.. Rigid Nasal Endoscopy . පරික්ෂණය කිරිමේදි රෝගියාට තමාගේ නාසයේ අභ්‍යන්තරයේ තිබෙන මස් දඵ, ගෙඩි හෝ නාසය ඇදව පිහිටීම, වෙනයම් ආගන්තුක ද්‍රව්‍යයක් නාසය තුළ තිබේ නම් එය මොනිටර් දෙකක් මගින් තමාටම දැක ගත හැකි විමයි.පෙර ක්‍රමයට වඩා සාර්ථක අන්දමින් නිවැරදිව පැහැදිලිව නාසය තුළ තිබෙන ගැටලුව වෛද්‍යවරයාට මේ ක්‍රමය මඟිනි හඳුනාගත හැකියි.

මෙම Rigid Nasal Endoscopy . සිදු කරන්නේ දිග කුරක් භාවිතයෙන්. මෙම කුර කෙළවර කැමරාවක් සවිකර තිබෙන බැවින් මෙම කුර නාසය තුලට යැවු විට නාසයේ, මස්දඵ, ගෙඩි, තුවාල රුධිර ගලනය ආදිය තිබේනම් එය හොඳාකාරව වෛද්‍යවරයාට දැක ගත හැක.

යම්කිසි සැකයකට තුඩු දෙන ගෙඩියක් හෝ ගැටිත්තක් තිබේ නම් එයින් කොටස් ලබා ගෙන බයොප්සි පරික්ෂාවකට යොමු කළ හැකියි. විශේෂයෙන් මෙම කුර සහිත උපකරණය නාසයේ අභ්‍යන්තරයට ගැඹුරු ලෙස යැවීමේදි ස්ප්‍රේ වර්ගයක් යොදා රෝගියාට වේදනාවක් නොදැනෙන පරිදි ඒ කාර්ය සිදු කරනවා. ශල්‍යාගාරය භාවිතා නොකොට මේ කටයුත්ත සිදු කළ හැකි අතර වෛද්‍යවරයා විසින් මෙය සිදු කරන්නේ රෝගියාගේ රෝග ලක්ෂණ අනුවයි.

මෙයින් ලැබෙන වාසි

ඇතැම් අවස්ථාවල නාසයෙන් රුධිරය ගැලිමක් යැයි රෝගයා පැවසු විට එයට මෙම ක්‍රමය භාවිතයෙන් නාසයේ රුධිරය ගැලිම සිදුවන ස්ථානය සිල්වර් නයිට්‍රෙට් යොදා පුඵස්සා රුධිර ගලනය නවතා දැමිය හැකියි.නාසයේ සැරව ගැලීමක් සිදුවන රෝගින්ගේ සැරව ගැලීම සිදුවන්නේ කුමන කෝටරයෙන්ද යන්න මේ මගින් මනාව දැක ගත හැකි අතර ප්‍රතිකාර සඳහා ද එය පහසුවේ.

කන අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි මයික්‍රස්කෝප් උපකරණය

කන අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි සහ කන විශාලකර බැලිය හැකි මයික්‍රස්කෝප් උපකරණය භාවිතා කෙරේ. මෙම මයික්‍රස්කෝප් උපකරණය මගින් කනේ සියුම් තැන් විශාල කර පෙන්වන අතර තුවාලයක් හෝ ගෙඩියක් තිබේ නම් එහි දුර, ප්‍රමාණය ආදිය මනාව දැක ගත හැකිය.

සමහර දරුවන් කනට පබුලු, රෙදි, බොත්තම් වැනි ආගන්තුක දුව්‍ය දැමිම සිදු කරති. එවැනි අවස්ථාවකදි ශල්‍යාගාරයක් භාවිතා නොකොට රෝගියාගේ කන තුළ තිබෙන ආගන්තුක දුව්‍යය මයක්‍රස්කෝප් මගින් ඉවත් කළ හැකියි. මයික්‍රස්කෝප් මගින් සියුම් ස්ථාන විශාල කර බැලිය හැකි නිසාත් එහි ඝනත්වය, දුර ප්‍රමාණය ආදිය පිළිබඳ පූර්ණ අවබෝධයක් මේ මයික්‍රස්කෝප් මගින් ලබා ගත හැකි නිසා ඉතා සියුම් දේ පවා ඉවත් කිරිමට හැකියාවක් ඇත. එසේම කෘමින්, කුහුඹි වර්ග කන ඇතුළතට ගිය විටකදි ඒවා පහසුවෙන් ඉවත් කිරිමට හැකියාවක් ඇත්නේ මේ කැමරාවෙන් කන අභ්‍යන්තරය විනිවිද පෙනෙන බැවිනි. මෙලෙස අභ්‍යන්තරය විනිවිද නොපෙනෙන්නේ නම් ඇතැම් විට ආගන්තුක ද්‍රව්‍ය ඉවතට ගැනිමේදි කන්බෙරය පවා සිදුරුවීමට ඉඩ ඇත.මෙම මයික්‍රස්කෝප් ක්‍රමය මගින් කනේ අපිරිසිඳුතාවයක් ඇත්නම් ප්‍රවේශම් සහිතව එය ශුද්ධ කිරිමට පවා හැකියාවක් පවතී.විශේෂයෙන් කනේ සැරව ගැලීමක් සිදුවුයේ නම් එම ස්ථානය පිළිබඳව සොයා බලා නිසි ප්‍රතිකාර කළ හැක.