සෑම බිළිඳුන්  1000ක් අතරින් බිළිඳුන් 2-4ක් උපත ලබන්නේ ශ්‍රවණ ඌණතා ඇතිවයි

සෑම බිළිඳුන්  1000ක් අතරින් බිළිඳුන් 2-4ක් උපත ලබන්නේ ශ්‍රවණ ඌණතා ඇතිවයි

මිහිර වික්‍රමාරච්චි

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයතනය

දස මසක් කුසෙහි හොවා මෙලොවට බිහිකරන දරුවා සෑම අතින්ම නිරෝගි දරුවකු වනු දැකීම සෑම දෙමාපියෙකුගේම අභිලාෂයයි. නමුත් විවිධ හේතූන් නිසා දෙමාපියන්ගේ සිහින බිඳ වැටෙන අවස්ථා අප සුලබව දකිනවා. නමුත් දරුවා නිරෝගී දරුවකු මෙන් සමාජ ගත කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම පිළිබඳ දෙමාපියන් වෙත වැදගත් කාර්යභාරයක් පැවරෙනවා.

මෙලොව උපත ලබන සෑම බිළිදුන් 1000ක් අතරින් බිළිදුන් 2 -4ක පිරිසක් උපත ලබන්නේ ශ්‍රවණ ඌනතාවයක් සහිතවයි. පෙර පැවති ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව ශ්‍රවණ ඌනතාවයක් සඳහා අවදානමක් පවතින තෝරා ගන්නා ලද බිළිඳුන් පිරිසක් පමණක් ශ්‍රවණ පරීක්ෂණ වෙත යොමු කර තිබෙනවා. ගර්භනී අවදියේදී / උපතේදී / උපතින් පසු ඇතිවන සංකූලතා නිසා ශ්‍රවණ ඌනතාවයක් සඳහා අවදානමක් පවතින බිළිඳුන් මෙහිදී පරීක්ෂා කිරීම සිදු කර තිබෙනවා. එවැනි සංකූලතා කීපයක් පහත පරිදි දැක්විය හැක.

පරම්පරාගතව පැවත ගෙන එන කුඩා අවදියේ සිටම පවතින ශ්‍රවණ ඌනතා

ගර්භණී අවදියේදී මවට සෑදෙන ආසාදන (උදා. පැපොල, සරම්ප)

ගර්භනී අවදියේදී කලලය වර්ධනය වීමේදී ඇතිවිය හැකි විෂමතා නිසා කන සම්බන්ධ විවිධ අංගවිකලාත සහිතව දරුවන් උපත ලැබීම (බාහිර කන නොමැති වීම හෝ කුඩා වීම, බාහිර ශ්‍රවණ නාලය නොමැති වීම හෝ සිහින් වීම)

දරුවාට කෘත්‍රිම ස්වසනය පවා ලබා දීමට සිදු වන ආකාරයේ විවිධ සංකූලතා සහිතව දරුවා උපත ලැබීම

උපතින් පසු ශ්‍රවණය සඳහා බලපෑම් ඇති වියහැකි මොළේ උණ වැනි විවිධ ආසාදන දරුවාට වැළඳීම (Meningitis)

දරුවාගේ උපතේදී හෝ උපතින් පසු හිසට හෝ කනට ඇතිවිය හැකි අනතුරු

නමුත් මෙම ක්‍රමය මඟින් 50%ක් පමණ ශ්‍රවණ ඌනතාවයක් ඇති නැති බව ශ්‍රවණ පරීක්ෂණයක් (TEOAE/ DPOAE Hearing Screening/ ABR Hearing Screening) මඟින් හඳුනා ගැනීම(Identification of a hearing loss) සිදු කරනු ලබනවා. යම් හෙයකින් එම ශ්‍රවණ පරීක්ෂණය අසමත් වන්නේ නම් මූලිකව භාවිතා කළ ශ්‍රවණ පරීක්ෂණ මඟින් නැවත වරක් උපතින් මාසයක් ඇතුළත පරීක්ෂා කිරීම වැදගත් වනවා.

දෙවන ශ්‍රවණ පරීක්ෂණයෙන්ද අසමත් වන බිළිඳුන් උපතින් මාස 3ක් වැනි කාලයක් තුළ නැවතත් ශ්‍රවණ පරීක්ෂණයක් මඟින් (Dignostic OAE/ ABR hearing tests)  ශ්‍රවණ ඌනතාවයක් තිබෙන බව නිශ්චය කරගනු ලබනවා Diagnosis of a hearing loss) යම් හෙයකින් මෙම ශ්‍රවණ ඌනතාවයට අදාළ ප්‍රතිකර්ම වෙත යොමු වීම අනිවාර්යවනවා. මෙහිදී ශ්‍රවණ උපකරණ (Hearing aids) වෙත යොමු වීමට සිදුවන අතර එම උපකරණ භාවිතා කළ නොහැකි හෝ ඒවා මඟින් දරුවාගේ ඇහීම නිවැරදි කරගත නොහැකි නම් ශ්‍රවණ ඌනතාවය නිවැරදි කරගත හැකි වෙනත් ක්‍රමෝපායන් වන  BAHA (Bone Anchored Hearing Aids) කර්ණශංඛ බද්ධය (Cochlear implantation),  මැද කන බද්ධ (Middle Ear I mplants), Auditory Brainstem Implants  වෙත යොමු වීමට සිදුවනවා. මෙහිදී දරුවාගේ ශ්‍රවණය පිළිබඳ අවශ්‍යය උපදෙස් ශ්‍රවණ විශේෂඥයෙකුගෙන් (Audiologist / Hearing and Bllance Specialist)  ලබා ගන්නට පුළුවන්. නිවැරදි ශ්‍රවණ උපකරණයක් භාවිතා කිරීමෙන් පමණක් දරුවාගේ කථනය හා භාෂාව දියුණු කර ගැනීම අසීරු කරුණක් වනවා. මෙහිදි නිවැරදි ශ්‍රවණ උපකරණයක් දැමීමෙන් අනතුරුව කථන හා භාෂා චිකිත්සකවරයකු (Speech & Languge Therapist)  වෙත යොමු වී දරුවාගේ කථනය හා භාෂාව දියුණු කර ගැනීම සඳහා අවශ්‍යය චිකිත්සාව ලබා ගත යුතු වනවා. මෙහිලා වැදගත් වන්නේ දරුවෙකුගේ උපතේදී ශ්‍රවණ පරීක්ෂණයක් වෙත යොමු වීම අවශ්‍ය බවත් ශ්‍රවණ ඌනතාවයක් තිබෙන බව කලින් හඳුනාගැනීම මඟින් ඒ සඳහා අවශ්‍ය පිළියම් වෙත ඉක්මනින්ම යොමු වීමෙන් දරුවා සාමාන්‍ය ශ්‍රවණයක් සහිත ක්‍රියාකාරී දරුවකු මෙන් සමාජය තුළ ජීවත් වීමට අවශ්‍ය පසුබිම සැකසීමයි. තවද කථන, භාෂා හා ශ්‍රවණ අවධි (Development / Speech / Languae & Milestones)  නියමිත වයස් සීමාවන් තුළදී වර්ධනය වී ඇතිදැයි නිරතුරු අවදානයෙන් සිටීම මඟින් දරුවාගේ අනාගත සාර්ථකත්වය තහවුරු කරගත හැක.