වෛද්‍ය ගැටලු
ඔබේ ගැටලු අප වෙත එවන්න (වෛද්‍ය ගැටලු, ආරෝග්‍යා, ලේක්හවුස්, කොළඹ 10)

දියවැඩියාව නිසා සැක්කම් කිරීම අවදානම් ද?

දිල්රුක්ෂි - පේරාදෙනිය

සජෝන් කොතලාවල වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ

විශේෂඥ ශල්‍ය වෛද්‍ය

වසන්ත විජේනායක

ගැටලුව

වෛද්‍යතුමනි, මා මීට අවුරුදු 08කට පමණ පෙර (ඒඉච් ජතධඵඥ) හෘද රෝගයක් සඳහා සැත්කමක් කළා. මා විවාහක කාන්තාවක්. මෑතදී මගේ පපුවේ යම් ගැටිත්තක් ඇති වී තිබූ අතර එය පරීක්ෂාවට ලක් කළත් එය පිළිකා අවදානමක් නොමැති ගැටිත්තක් බව වෛද්‍යවරු පැවසුවා. මා දැනට දියවැඩියා රෝගියෙක්, ඒ සඳහා ඉන්සියුලින් ලබා ගන්නා අතර වෝෆරීන් වැනි ඖෂධ ද භාවිතා කරනු ලබනවා. මා හට ඇති ගැටලුව වන්නේ යම් ලෙසකින් පපුවේ ඇති වූ ගැටිත්ත සැත්කමකට ලක් කිරීමට සිදු වූවොත් මා හට යම් ගැටලුවක් ඇති වේවිද? එවැනි සැත්කමක් සිදු කිරීම අවදානම් සහිතද? යන්නයි.

පිළිතුර

මෙම ගැටලුව සඳහා ඔබට ලබාදිය හැකි හොඳම පිළිතුර වන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමු වීමට පෙර ඔබට අදාළ හෘද රෝග සම්බන්ධ වෛද්‍යවරයා මුණගැසිය යුතු බවයි. එම වෛද්‍යවරයා ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය නම් ඔබට ලබාදී ඇති ඖෂධ වර්ග නැවැත්වීමක් හෝ වෙනස් කිරීමක් සිදු කරාවි. ඔබ “චෝෆරීන්” ලබා ගන්නා බව සඳහන් කර තිබෙන නිසා යම් කාලසීමක් වෛද්‍ය නිර්දේශය මත අදාළ ඖෂධය ලබා ගැනීම නවත්වා අදාළ ශල්‍යකර්මය සිදු කර පසුව නැවතත් ඉදිරියේදී ඒවා භාවිතා කිරීමට නිර්දේශ ලබා දේවි.

ඒ වගේම එසේ පවතින ගැටිති අනිවාර්යෙන්ම ඉවත් කිරීමට සිදු නොවිය හැකියි. ඇතැම්විට එම ගැටිත්ත හානිදායක නොවේ නම් ඉවත් නොකර සිටීමට ද හැකියි.

දියවැඩියාව වැළඳුනු කෙනෙක් කළ යුතු වෙනත් පරීක්ෂණ මොනවාද?

තමලානි - මීගමුව

ජාතික රෝහලේ සහ නවලෝක රෝහලේ දියවැඩියාව හා හෝර්මෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය

චමින්ද ගරුසිංහ

ගැටලුව

මගේ මවගේ වයස අවුරුදු 61ක්. ඇය මේ වනවිට දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගන්නවා. මේ වනවිට දියවැඩියාව වැළඳී අවුරුදු 10ක් පමණ වෙනවා. එසේ වුවත් මේ වන තෙක් දියවැඩියා රෝගය සඳහා සිදු කෙරෙන පරීක්ෂණවලට අමතරව වෙනත් කිසිදු පරීක්ෂණයක් සඳහා ඇය යොමු වී නැහැ. මට දැන ගැනීමට අවශ්‍ය දියවැඩියාව වැළඳුණු අයෙක් එසේ සිදු කළ යුතු අනෙකුත් පරීක්ෂණ මොනවාද? ඒවා කෙතරම් කාලයකට වරක් සිදු කළ යුතු ද යන්නයි.

පිළිතුර

ඔබගේ මවගේ රුධිරගත සීනි මට්ටම හොඳින් පාලනය වී ඇති දැයි නිරාහාරව සිට කරනු ලබන රුධිර පරීක්ෂණ, ඩ්ඕඒ1ඛ් වැනි පරීක්ෂණ මඟින් මූලිකව විමසා බැලීම ඉතාමත් අත්‍යවශ්‍යයි. ඊට අමතරව කොලෙස්ටරෝල් මට්ටම ද පරීක්ෂා කර බැලීම වැදගත්. ඒ වගේම අවුරුද්දකට වරක් ඇස් පරීක්ෂා කර බලාගත යුතුයි. ඒ වගේම හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි නිසා පපුවේ මහන්සිය, කැක්කුම වැනි ගැටලුවක් තිබේ දැයි විමසා බැලිය යුතුයි. තවද වකුගඩු සඳහා වන පරීක්ෂණ, පාද පරීක්ෂාව ආදී අමතර වශයෙන් සිදු කළ යුතු පරීක්ෂණයන් අවම වශයෙන් වසරකට වරක්වත් සිදු කළ යුතුයි.

දිනපතා ස්නානය කළත් හිස්හොරි අඩුවක් නෑ

ආරෝග්‍යා පාඨකයෙක්

වරකාපොල මූලික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ජනුකා ගලහිටියාව

ගැටලුව

මම වයස අවුරුදු 28ක තරුණියක්. මගේ හිසේ අධික ලෙස හිස්සොරි තත්ත්වයක් පවතිනවා. ෂැම්පු හෝ වෙනත් කිසිවක් යොදා හිස සේදීමට නොහැකි අතර එසේ කළහොත් අධික ලෙස කැසීමක් ඇති වී හිස්සොරි තත්ත්වය තවත් උග්‍ර අතට පත් වේ. දිනපතාම මා ස්නානය කරන අතර එසේ නොකර සිටීමෙන්ද හිසේ කැසීම් තවත් වැඩි වේ. මේ ආකාරයට මුහුණ, බෙල්ල, කන් පිටුපස ආදී තැන්වල ද කැසීම් ඇති වේ. මෙය යම්කිසි බරපතළ රෝගී තත්ත්වයක් ද? නිට්ටාවටම සුව කරගත හැකිද?

පිළිතුර

ඉහත ගැටලුවේ සඳහන් කර ඇති ආකාරයට මෙම රෝගී තත්ත්වය “සෙබරීක් ඩර්ම ටයිටීස්” වැනි රක්තයා කාණ්ඩයේ රෝගී තත්ත්වයක් විය හැකි බවයි. එසේත් නැත්නම් පොතු කබර හෙවත් “සොරයිසීස්”රෝගයේ මුල් අවස්ථාවද විය හැකියි. නමුත් මේ කුමන ගැටලුවකට හෝ ඔබ විසින් ඇති කරගත යුතු වන්නේ නැහැ. හේතුව මෙම රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.

එසේ වුවත් රෝගියා පරීක්ෂාකර බැලීමකින් තොරව කුමන රෝගී තත්ත්වය දැයි නිවැරදිව තීරණය කළ නොහැකියි. ඒ නිසා ළඟම ඇති රෝහලේ චර්ම රෝග සම්බන්ධ වෛද්‍යවරයා මුණගැසී රෝගී තත්ත්වය නිවැරදිව හඳුනාගෙන සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

කනෙන් දියරයක් ගලනවා

හිරුණි - දංකොටුව

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

සීතා අරඹේපොල

ගැටලුව

මගේ වයස අවුරුදු 20යි. තවමත් අධ්‍යාපන කටයුතුවල නිරත වන අයෙක්. කාලයක සිට මගේ කන්වල නිතරම යම් දියරයක් පිරී ඇති බව දැනෙනවා. ඒ නිසා කන හොඳින් පිරිසුදු කරන අතර මේ වනවිට කන අවට දියර ගලන ස්වභාවයක් ද ඇති වී තිබෙනවා. එම දියර තරමක් ගඳින් ද යුක්තයි. මා නේවාසිකව අධ්‍යාපනය ලබන බැවින් නිසි ප්‍රතිකාර ලබා ගැනීමට වේලාවක් වෙන් කර ගත නොහැකිය. මට දැන ගැනීමට අවශ්‍ය මෙය යම්කිසි බරපතළ රෝගී තත්ත්වයක් ද යන්නයි. මේ නිසා ඉදිරියේදී මගේ ශ්‍රවණයට බාධාවක් සිදු වේවිද? ප්‍රතිකාර ඉක්මනින් ලබාගත යුතුද?

පිළිතුර

ඔබ අත්දැක ඇති ලෙස මීට මද කාලයකට පෙර කනේ දියර ගතියක් තිබෙන බව දැනීම බොහෝවිට මැද කන තුළ දියර එකතු වීම නිසා ඇතිවිය හැකියි. නමුත් මෙවැනි දියර එකතු වීම සඳහා නිසි ප්‍රතිකාර නොකළ විට මැද කන තුළ පවතින දියර ආසාදනයට ලක් වී කන් බෙරය සිදුරු කරගෙන පිටතට පැමිණීමට පටන් ගනියි. මෙවැනි තත්ත්වයකට ප්‍රතිකාර නොකිරීම නිසා මැද කන තුළ ඇති ආසාදන ඇසීමට බාධා ඇති කරනවා සේම ඒවා මොළය දක්වා ද පැතිරිය හැකියි. ඒ නිසා නිසි ප්‍රතිකාර කිරීම තුළින් ඇසීම ආරක්ෂා කර ගැනීමටත් අනවශ්‍ය ආසාදන නිසා ඇතිවිය හැකි සංකූලතාවන්ගෙන් බේරීමටත් හැකිය. නමුත් මෙය මඟහැරිම තුළින් ඔබට නොයෙකුත් සංකූලතාවන් කනේ පමණක් නොව අනෙකුත් අවයව වලද හටගත හැකියි.

දුම්වැටියට ඇබ්බැහි වූ නිසා පෙනහැල්ල දුර්වල වේවිද?

විජේසිංහ - කඩවත

මහනුවර මහ රෝහලේ ස්වසන රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

දුෂ්‍යන්ත මැදගෙදර

ගැටලුව

වයස අවුරුදු 65ක් වන මා තදින්ම දුම්පානයට ඇබ්බැහි වී සිටි අයෙක්. නමුත් දැනට අවුරුදු 05 ක පමණ සිට මා එතරම් දුම්පානය නොකරන අතර මට ඇති ගැටලුව වන්නේ සෙම්ප්‍රතිශ්‍යාවක් ඇති වූ විට මා හට දරාගත නොහැකි කැස්සක් ඇති වීමයි. නමුත් තරමක කාලයක් එය පැවතුනත් එය පසුව නැති වී යනු ලැබේ. මා දීර්ඝ කාලයක් පුරා දුම්වැටි භාවිතා කළ නිසා මගේ පෙනහැල්ල දුර්වල වීම මීට හේතුවක් ද මේ තත්ත්වය මඟහරවා ගැනීමට මා කුමක් කළ යුතුද?

පිළිතුර

දුම්බීම ප්‍රධාන වශයෙන් පෙනහැල්ලට හානි ඇති කරනු ලබනවා. දුම්බීම නතර කළ පමණින් පෙරදී ඇති වූ හානිය යථා තත්ත්වයට පත් වන්නේ නැහැ. පෙරදී ඇති වූ හානි නිසා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට වඩා මෙවැනි අයෙකුට ප්‍රතිශ්‍යාව සුව වීමට යම් කාලයක් ගත වෙනවා. ඒ වගේම ඇතැම් බැක්ටිරියා සහ වෛරස් වර්ග අනුව ද සුව වීමේ කාලය වෙනස් විය හැකියි. ඒ නිසා ඔබ මෙවැනි රෝගයක් ඇති වූ වහාම ප්‍රතිකාර ලබා ගත යුතු අතර දුම්බීම නිසා පෙනහැල්ල ආශි‍්‍රත වෙනත් රෝගී අවස්ථා ද තිබිය හැකි බැවින් ළඟම ඇති රෝහලේ ස්වසන රෝග සම්බන්ධ වෛද්‍යවරයා මුණගැසී ඒ බව පරීක්ෂා කර ගන්න.