මගේ දරුවාගේ දිව කොටයි බය වෙන්න එපා.

මගේ දරුවාගේ දිව කොටයි බය වෙන්න එපා.

Tongue - tie

සුළු සැත්කමකින් යථා තත්ත්වයට පත්කළ හැකියි

දරුවන්ගේ සෞඛ්‍ය ගැටලු හැමවිටම මවුපියන්ට ප්‍රමුඛව බලපාන බව අපි හොඳින්ම දනිමු. දරුවකුට උපතින්ම ඇතිවන ගැටලුවක් හෝ පසුකාලයේ ඇතිවන ගැටලුවක් ඉක්මනින්ම නිරාකරණය කර ගැනීම මව්පියන්ට හැමවිටම වැදගත් වන්නේ එබැවිනි.

දරුවන්ට උපතින්ම බලපාන සෞඛ්‍ය ගැටලු අතර අංගෝපාංගයන්ගේ වෙනස්කම් හෝ පිහිටීමේ වෙනස්කම් ප්‍රධාන තැනක් ගනී. එවැනි ගැටලු රැසක් අපට හඳුනා ගැනීමටද පුළුවන. අප මෙහිදී අවධානය යොමු කරන තත්ත්වය ද එවැනිය.

Tongue - tie

මේ වචනය සාමාන්‍ය ව්‍යවහාරයේ එතරම් අසා නොමැති වුවද දරුවන් අතර දැකිය හැකි තත්ත්වයකි. ටන්ග් - ටයි ලෙස හඳුන්වන මේ තත්ත්වය දරුවකුට උපතින් ඇතිවන තත්ත්වයකි. එනම් එවැනි දරුවකුට සෙසු දරුවකු තරම් දිව උස් පහත් කිරීමට හෝ එළියට දැමීමේදී යම් ගැටලුකාරී තත්ත්වයක් හෝ අපහසුවක් ඇති වේ. ටන්ග් - ටයි තත්ත්වයේදී දිව තරමක් කෙටිව පිහිටා තිබෙන අතර සියුම් පටලයකින් දිවේ මුල සිට අග දක්වාම මුඛයේ යටි හනුවට සම්බන්ධ වී තිබේ.

මෙහිදී දරුවාට ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්ව මොනවාද?

මෙවැනි දරුවකුට වෙනත් සාමාන්‍ය දරුවකුට මෙන් හොඳින් මුඛයෙන් පිටතට දිව දික් කිරීමට අපහසුවක් ඇති වේ.

තවද දිව ආශ්‍රය කර ගනිමින් කිරීමට සිදුවන ඇතැම් කටයුතුසිදු කිරීම දරුවාට අපහසු විය හැක. නමුත් හොඳින් සපා ආහාර ගැනීමට මින් කිසිදු බාධාවක් ඇති නොවේ.

මේ තත්ත්වය සමඟින් දරුවකුට වර්ධන ගැටලු ඇතිවේද?

එවැනි කිසිදු ගැටලුවක් ඇති නොවේ. නමුත් බොහෝ මව්පියන්ට වැඩිහිටියන්ට මෙමඟින් දරුවෙකුගේ කථනයට හෝ උච්ඡාරණයට බාධාවක් ඇති වේ යැයි බියක් හටගත හැකිය. නමුත් එවැනි ගැටලු හා මේ තත්ත්වය අතර කිසිදු සම්බන්ධතාවක් නැත මෙහිදී දරුවාට උච්ඡාරණය පිළිබඳ ගැටලු පවතී නම් එය වෙනමම පරීක්ෂා කර බලා ප්‍රතිකාර ගත යුතු තත්ත්වයකි. ඊට මේ හා සම්බන්ධයක් නැත.

මෙවැනි තත්ත්වයකදී සැත්කමක් කළ යුතු බවට ඇති අදහස?

මෙවැනි තත්ත්වයකදී අවශ්‍ය නම් ඉතාමත් සුළු සැත්කමකින් එනම් දිවේ මුල සිට අග දක්වා සම්බන්ධ වී ඇති සියුම් පටලය සැත්කමක් මගින් කුඩා කැපුමක් යෙදීමෙන් මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව පවතී. නමුත් සැත්කමක් සිදු කිරීම අනිවාර්ය නොවේ.

නමුත් මෙහිදී පවතින දිවේ බාහිර පෙනුමේ යම් වෙනසක් නිසා එවැනි දරුවන්ට සමාජයේ කටයුතු කිරීමේදී යම් බලපෑමක් ඇතිවිය හැකියැයි සිතෙනවා නම් සැත්කමක් සඳහා යොමුවිය හැකිය.

අනාගතයට මින් බලපෑමක් ඇති වේද?

එවැනි බලපෑමක් ඇති නොවේ. තවද දරුවාගේ මුඛයේ වර්ධන හෝ වෙනත් කථන, උච්ඡාරණ ගැටලුවකට ද මෙයට සම්බන්ධයක් නැත. එවැනි ගැටලුවක් දරුවාට ඇත්නම් ඊට අවශ්‍ය ප්‍රතිකාර සඳහා අදාළ අංශ වෙත දරුවා යොමු කිරීම වැදගත් වේ.


 විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ රචිත ‘මාපලගමයා ටිබෙට් ගියපු හැටි’ ග්‍රන්ථය එළිදැක්වේ

ප්‍රජා විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ වෛද්‍යතුමා විසින් පසුගියදා ඔහුගේ විදෙස් චාරිකා සටහන් ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්විය.

මාපලගමයා ටිබෙට් ගියපු හැටි නමින් නිකුත් කෙරුණු මෙම සංචාරක තොරතුරු ඇතුළත් ග්‍රන්ථය ඔහු විසින් එළිදැක්වූ සංචාරක ග්‍රන්ථ අතර තෙවැනි චාරිකා සටහන් ඇතුළත් ග්‍රන්ථයයි.

අපි ඇලෙස්කාවේ සංචාරය කළෙමු, මාවනැල්ල බසය ඊජිප්තුව හරහා යන ග්‍රන්ථ දෙක මින් පෙර සංචාරක සටහන් ලෙස එළිදැක්වූ අතර ඉදිරියේදී ඔහු විසින් සංචාරය කරන ලද බුරුමයේ චාරිකා සටහන් ඇතුළත් සතරවැනි සංචාරක ග්‍රන්ථය එළිදැක්වීමට නියමිතය.

වෛද්‍ය ආරියසේන ගමගේ විසින් මින් පෙර වෛද්‍ය ග්‍රන්ථ රැසක්ම දැයට තිළිණකර දී ඇති අතර එම ග්‍රන්ථ තුළින් නොයෙකුත් රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අභිලාෂයෙන් මෙම ග්‍රන්ථ එළිදක්වා ඇත.

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්, මට දියවැඩියාව දැන් සුවයි, මට ඇදුම දැන් සුවයි , දොස්තර විස්තර, පුද්ගලිකයි රහසිගතයි යන වෛද්‍ය ග්‍රන්ථයන්ට අමතරව විශ්වවිද්‍යාල සිසුන් සඳහා පෝෂණය පිළිබඳ අත් පොතක් ද එළිදක්වා ඇති අතර අපි දියවැඩියාව ගැන කථා කරමු නමින් පොත් පිංචක්ද එළිදක්වා ඇත.