දද - කුෂ්ට - පොතුකබර - සුදුකබර රෝගීන් කළ යුතු සහ නොකළ යුතු දේ

දද - කුෂ්ට - පොතුකබර - සුදුකබර රෝගීන් කළ යුතු සහ නොකළ යුතු දේ

අපගේ ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය සමයි. සම බාහිර පරිසරයට නිරාවරණය වීම නිසා විවිධ විපර්යාසයන්ට ලක්වීමට ඇති ඉඩකඩ වැඩියි. එබැවින් ඇතිවන බාහිර බලපෑම හේතුකොට ගෙන නොයෙක් චර්ම රෝගවලට මුහුණ දීමට සිදුවන නිසා සම ආරක්ෂා කර ගැනීම බොහෝ සෙයින් වැදගත්. ඉක්මනින් සමට විෂබීජ ඇතුළු වීමේ හැකියාව වැඩි බැවින් සමේ රෝග ඇතිවීමේ සම්භාවිතාව වැඩියි. සම ආරක්ෂා කර ගැනීමට උනන්දු වීමෙන් සමේ රෝග වළක්වා ගත හැකියි

හඳුනා ගැනීම

සම මතුපිට ඇතිවන විවිධ රෝග මුලින්ම හඳුනා ගැනීම බෙහෙවින්ම වැදගත් වන්නේ රෝගය කල්තියා හදුනාගැනිම භයානක තත්ත්වයෙන් මුදවා ගැනීමට හොදම මග බැවිණි..

වෛද්‍යවරයෙකුට මෙවැනි රෝග හඳුනා ගැනීම සඳහා රෝගියා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව රෝගියාව හොඳින් පරීක්ෂා කර ඔහුගේ ජීවන රටාව, වයස, පරිසරය හා ජීවත්වන ආකාරය පිළිබඳව තොරතුරු දැන ගැනීමෙන් එය සුවකළ හැකිද යන්න තීරණය කළ හැකියි. සායනිකව ද රෝගය හඳුනාගත හැකි තවත් ක්‍රමයකි.

ප්‍රතිකාරයට වඩා වළක්වා ගැනීම

චර්ම රෝග නිසා ඇතිවන අපහසුතා බොහෝ ඇත. රූපය අවලස්සන වීම ඉන් ප්‍රධානයි. සුමටව දීප්තිමත්ව බැබලෙන සමක් ඇති කර ගැනීමට නම් චර්මය ආශි‍්‍රත රෝග පලවා හැරිය යුතුයි. චර්ම රෝගයේ තත්ත්වය හා චර්මයට බලපානු ලැබූ වෙනත් පාරිසරික හේතු සොයා බලා ඒවාට නිසි පිළියම් යෙදීමෙන් රෝගය වළක්වා ගත හැකියි. මුලින් රෝගය පැමිණෙන විධි සොයා ඒවාට බාධක පැනවීම ද කළ හැකියි. සම මතුපිට මෙන්ම වෙනත් ඉන්ද්‍රියන්වල පවතින රෝග තත්ත්වයන් ද මෙම රෝග ඇතිවීමට බලපානු ලැබේ.

රෝග ගණනාවක්

චර්ම රෝග මහා රෝගයකි. කුෂ්ට රෝග ඝනයට අයත්ය. ප්‍රධාන වශයෙන් කුෂ්ට රෝග 18ක් ඇති බව ආයුර්වේදයේ සඳහන් වේ. මහා කුෂ්ට 7ක් හා ඉතිරි රෝග 11 ක්ෂුද්‍ර කුෂ්ට රෝග ලෙස ගැනේ. මින් සුදු කබර, පොතු කබර (ඵධපඪඵඪඵ) ප්‍රධාන ලෙස සැලකිල්ලට ගනු ලබන චර්ම රෝග තත්ත්වයන්ය.

චර්ම රෝගයක තිබිය හැකි ලක්ෂණ

සිරුරේ සමේ වර්ණයේ වෙනසක් ඇතිවීම, කැසීම, බිබිලි හට ගැනීම, සමහරවිට කලාතුරකින් වේදනා ඇති වේ, දියර බිබිලි හෝ සැරව ඇතිවීම, දද හෝ කුෂ්ට ලෙස ඇති වේ, සම තුළ පොදුවේ ඇතිවන වෙනස්වීම් දැකිය හැකි ලක්ෂණයි.

පරීක්ෂා කිරීම හා සැලසුම් කිරීම

චර්ම රෝග පරීක්ෂාවේදී භාවිතා වන ක්‍රම දෙකට ආයුර්වේදය ප්‍රතිකාර ක්‍රමය සැලසුම් කර ඇත. ඒ,

රසායනික පරීක්ෂාව හා ස්ථානික පරීක්ෂාවයි. මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී විවිධ ලෙස සිදු කිරීමට යොමුවන්නේ, රෝග තත්ත්වය එක් එක් රෝගියාගෙන් රෝගියාට වෙනස් වන නිසයි. ආයුර්වේද රෝහලක සිදු කරනවා නම් බරපතල රෝග තත්ත්ව හමුවේ රෝගියා නේවාසික විය යුතුයි. මෙහිදී පංචකර්ම උපක්‍රම භාවිතා කළ හැකියි. එසේ නම් ඔබට නේවාසිකව ප්‍රතිකාර කිරීම වඩාත් සුදුසු බව සැලකේ. සුව කළ හැකි තත්ත්වයේ නම් සාමාන්‍ය පරිදි සිදු කළ හැකියි.

ආහාර රටාව

වෙනත් ලෙඩ රෝග මෙන් නොව මෙහිදී රෝගය උත්සන්න වීමට ආහාර ද බලපාන බව නම් පැහැදිලියි. උෂ්ණාධික ආහාරවලින් වැළකී සිටීම බෙහෙවින් වැදගත් වේ.

එළවළු මිශ්‍ර ආහාර, සුදුසු වන අතර සත්ත්ව ප්‍රෝටීනවලින් එන ආහාර එනම් මස්, මාළු, කිරි, බිත්තර සුදුසු නැත. රෝග තත්ත්වය සුව වන තෙක් මෙවැනි ආහාර නොගත යුතුයි. සැහැල්ලු ආහාර හා සිරුරට හානි කරනොදෙන ආහාර ලබා දීම සුදුසු වේ.

මඤ්ඤොක්කා, හතු වර්ග, අන්නාසි, මැංගුස්, රඹුටන්, අච්චාරු, මෙවැනි රෝග තත්ත්ව හමුවේ ආහාරයට නොගත යුතුයි. හාල්මැස්සන් පවා උෂ්ණාධික ආහාරයක් ලෙස ගැනෙන නිසා චර්ම රෝගවලදී භාවිතා වන්නේ නැත. චර්ම රෝගවලදි සත්ත්ව ප්‍රෝටීන් අගුණ වෙයි.

චර්යා රටාව

සමේ රෝගවලදී නොකළ යුතු චර්යා රටාවන් කිහිපයක් ඇත. නිදි වැරීම සුදුසු නැතිබව කිව යුතුයි. අඩුම වශයෙන් පැය 6ක් වත් නිදාගත යුතුයි. මෙම තත්ත්වය මැදිවයසේ කාණ්ඩවල අයට විශේෂ වේ. බාල හා මහළු අය හැර මෙම චර්යා රටාව අනුගමනය කළ යුතුයි. අධිකව වෙහෙසීම හා බර වැඩ කිරීම එනම් අධික ලෙස දහඩිය දැමීම සුදුසු නැත. දියර පානය කිරිම සුදුසුයි. කුෂ්ට රෝගියෙකු නම් දියර පානය අත්‍යවශ්‍යයි. අව්වෙන් වැස්සෙන් වැළකී සිටිය යුතුයි. එසේම රැකියා කරන අවස්ථාවලදි සමට ඇතුළු වන විෂබීජ හෝ අපද්‍රව්‍ය ඇතුළු විමට ඉඩකඩ (සිමෙන්ති කම්හලක අයෙක් නම් සිමෙන්ති වැදීම) වැඩි බැවින් ඉන් වැළකීමට උනන්දු වන්න.

මානසික ආතතිය නැති කිරීම සන්සුන් මනසක් ඇති කිරීම. පමණ දැන ආහාර ගැනීම, ආහාර ගත් විගස නැවත ආහාර නොගැනීම එසේම නොගැලපෙන ආහාර ගැනීමෙන් වැළකිය යුතුයි. උදා. මාළු, මුදවපු කිරි, තක්කාලි, අන්නාසි වේ.

ප්‍රතිකාර

වෛද්‍යවරයා විසින් රෝගියාගේ තත්ත්වය අනුව පූර්ව කර්මයක් සිදු කරයි. මෙය ශරීර ශෝධනයකි. මෙය සිදු කරනුයේ රෝගියා තුළ පවතින විෂ පදාර්ථ ඉවත් කිරීම සඳහා එක් තැනකට එක්රැස් කිරීමයි. පසුව මෙම විෂ කොටස් ඉවත් කිරීම සඳහා පංචකර්ම මඟින් බැහැර කිරීම සිදු වේ. ඉන් පසු රෝගියාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා පශ්චාත් කර්ම සිදු වේ. මෙහිදී සිදුවන්නේ ආහාර රටාව, චර්යාව යළි යථා තත්ත්වයට පත් කර ගැනීමයි. ඒ කියන්නේ මෙම ප්‍රතිකර්මය යන අතරතුර මෙම රටාවන් වෙනස්වන නිසයි. කුඩා දරුවන් හා වැඩිහිටියෙකු නම් ඖෂධ මඟින්ම ශෝධනයක් සිදු කෙරේ.