සෙම් රෝග නිට්ටාවට සුවකළ හැකියි

සෙම් රෝග නිට්ටාවට සුවකළ හැකියි

ආයුර්වේදීය වෛද්‍ය ක්‍රමයට අනුව ඕනෑම රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝග නිධානය හඳුනා ගැනීම ඉතා වැදගත්. එසේ හඳුනාගත් රෝග නිධානයට ප්‍රතිකාර කිරීමේදී අදාළ රෝගී තත්ත්වය පමණක්ම නොව ඒ හා සම්බන්ධ සෙසු රෝගී තත්ත්වයන් ද නිරායාසයෙන්ම සමනය වී යනු ලැබේ. එවැනි ප්‍රතිකාර විධි අනුව සමනය කළ යුතු සමාජයේ සුලබව දැකගත හැකි රෝගී තත්ත්වයක් වන සෙම් හා ඊට සම්බන්ධ අනෙකුත් රෝගී අවස්ථාවන් පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක සමඟ කළ සාකච්ඡාව මෙවර ලිපිය යටතේ විමසා බලමු.

සෙම් රෝග

සෙම් රෝග පිළිබඳ විමසා බලන විට පීනස් රෝග මූලිකත්වයක් ගනු ලැබේ. උදෑසන අවදි වූ විට සොටු දියර ගැලීම, කිවිසුම් යාම, නාසයෙන් ඇතිවන දුඟද, හිසෙහි බර ගතිය ආදිය රෝග ලක්ෂණ ලෙස හඳුන්වාදිය හැකියි.

බලපාන හේතු

සෙම් පදාර්ථ ජීර්ණ පද්ධතියේ නිපදවනු ලබන අතර සෙම නිසා ඇතිවන කරදරකාරී තත්ත්ව බොහෝදුරට දැකගත හැක්කේ නළල, මුහුණ ආදී ප්‍රදේශ ආශි‍්‍රතවයි. එම වේදනාකාරී බව නිසා බොහෝදෙනාට අවශ්‍ය වන්නේ එසේ ඇතිවන සෙම කොටස් ශරීරයෙන් ඉවත් කර දැමීමටයි. නමුත් මූලික වශයෙන් මෙහිදී සෙම ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන හේතුව හඳුනාගත යුතුයි.

උෂ්ණාඅධික ශරීරය හා සෙම් රෝග අතර ඇති සම්බන්ධය

ශි‍්‍ර ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල ජීවත් වන මිනිසුන්ගේ ශරීර අධික උෂ්ණ සහිතයි. මෙම උෂ්ණ අධික බව සාමාන්‍ය දේහ සෛලවලට දරා ගැනීමට හැකි වුවත් මොළය ආශ්‍රිත සියුම් ස්නායු සෛලවලට දරා ගැනීමට නොහැකි වේ. එබැවින් ශරීරය විසින් ඊට උපක්‍රමයක් ලෙස ස්වයං ශීතකරණ ක්‍රමයක් (Auto cooling system) අනුගමනය කරනු ලැබේ.

මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මොළය විසින් නිකුත් කරනු ලබන සංඥා අනුව ක්‍රියාත්මක වන ආහාර ජීර්ණ පද්ධතිය සෙම නිෂ්පාදනය කර මොළය දෙසට ගමන් කරවයි. ඊට හේතුවන්නේ ශරීරයේ උෂ්ණ අධික බව වළක්වා ගැනීම හා ස්නායු සෛල වියළීම වළක්වා ගැනීමයි. කෙසේ වෙතත් මේ ආකාරයට පැමිණෙන සෙම පදාර්ථ නළල ආශි‍්‍රත ප්‍රදේශයේ කෝටර (හිස්කබල නාසය හා ඇස් ආශ්‍රිත කුහර) තුළ එක්රැස් වීමෙන් කෝටරක ප්‍රදාහ තත්ත්වයක් ඇති වේ. පසුව එම සෙම් කොටස් නාසය හරහා වාතයට නිරාවරණය වීම හේතුවෙන් ක්ෂුද්‍ර ජීවීන්ගේ ආක්‍රමණයට භාජනය වේ. එම ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා සෙම පැසවීමට ලක් වී සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය ඇති කරනු ලැබේ. එවිට නාසයෙන් සොටු දියර ගැලීම ආදී වූ සෙම්ප්‍රතිශ්‍යාව ආශි‍්‍රත රෝග ලක්ෂණ ඇති කරනු ලැබේ. කාලයත් සමඟ මේ තත්ත්වය පවතින විට ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා යම් දුර්ගන්ධයක් ඇති කරනු ලැබේ.

ශරීරය අධික උෂ්ණ වීමට බලපාන හේතු

ඇතැම් පිරිසකගේ ශරීර ස්වභාවයෙන්ම (උපතින්ම) උෂ්ණ අධික බවින් යුතු වන අතර තවත් සමහර පිරිසකට උෂ්ණ අධික ශරීරයක් හිමිවන්නේ ඔවුන් ලබා ගන්නා වැරදි ආහාර නිසාවෙනි. එවැනි ආහාර සඳහා උදාහරණ ලෙස ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, බල මාළු වැනි උෂ්ණ අධික ආහාර මෙන්ම අන්නාසි, තක්කාලි වැනි අම්ල අධික ආහාර පිළිබඳව ද පැහැදිලි කළ හැකියි.

ඉරුවාරදය

ඉහත රෝගී තත්ත්වයන්ට සමගාමීව ඇතැම් රෝගීන් මුහුණ දෙන තවත් රෝග අවස්ථාවක් ලෙස ඉරුවාරදය පිළිබඳ හඳුන්වා දිය හැකියි. මේ සඳහා මූලික හේතුව බවට පත්වන්නේ ශරීරය තුළ හටගන්නා අධික වූ පිත් ප්‍රභවයන්ය. කෙසේ වෙතත් මෙම අධික වූ පිත ස්වභාවය නිසා මොළය ආශි‍්‍රත ශ්ලේෂ්මල පටලවලට දැඩිලෙස හානි සිදු වේ. මෙම රෝගී තත්ත්වය සඳහා ද ප්‍රමුඛතම හේතුව වන්නේ ශරීරයේ පවත්නා උෂ්ණ අධික බවයි.

උෂ්ණාධික බව සමඟ ඇතිවන වෙනත් රෝග තත්ත්ව

ඉහත රෝගී තත්ත්වලට අමතරව අර්ශස් වැනි රෝග තත්ත්ව කැසීම් පළු දැමීම් ආශි‍්‍රත සමේ රෝග, අධික නිදිමත හෝ නින්ද නොයාම පවතින ගැස්ට්‍රයිටීස් තත්ත්ව මළබද්ධය, ඇතැම්විට මළ බුරුල්ව පිට වීම, අධික කේන්තිය ආදී රෝගී තත්ත්ව සඳහා ඇතැම් අයට අඩු වැඩි වශයෙන් මුහුණ දීමට සිදු වේ.

ප්‍රතිකාර

පොදුවේ ඉහත පැහැදිලි කළ සියලු රෝගී තත්ත්ව සඳහා පිළියම් යෙදීමට පෙර ශරීරයේ උෂ්ණ අධික බවට පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ. එහිදී ශරීරය ශෝධන කර්මවලට ලක් කරන ඖෂධ ලබාදිය යුතුයි. ඒ වගේම වා පිත් සෙම් පදාර්ථවල සමතුලිත භාවය ඇති කරන ප්‍රතිකාර ද සිදු කළ යුතු වේ.

විශේෂයෙන් සෙම් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී බොහෝ රෝගීන්ට අවශ්‍ය වන්නේ බලෙන් ශරීරයෙන් සෙම් කොටස් බැහැර කරවීම වුවත් ස්වභාවිකවම ශරීරය විසින්ම ඒවා බැහැර කරන බව ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඒ අනුව මෙහිදී සිදු කළ යුතු වැදගත්ම ප්‍රතිකර්මය වන්නේ ශරීරයෙන් සෙම බැහැර කර වීමට වඩා රෝග නිධානය වන ශරීරයේ උෂ්ණ අධික බව සමනය කිරීමයි.

කෙසේ වෙතත් ඉහත ප්‍රතිකර්ම හරහා අදාළ රෝගී තත්ත්වයන් නිට්ටාවටම සුව කර ගැනීමට හැකියාව ලැබේ. ඒ වගේම මෙවන් රෝග තත්ත්ව වලට සුලබව මුහුණ දෙන්නේ විවිධ රැකියාවන් සිදු කරන අය හා පාසල් දරුවන් නිසා ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි ඖෂධ නිර්මාණය විය යුතුයි. එසේ ආයුර්වේදීය වෛද්‍ය විද්‍යානුකූලව නූතන ශිල්පීය ක්‍රම හරහා නිපද වූ ඖෂධ අප විසින් භාවිතා කරන නිසා ඕනෑම අයෙකුට කිසිදු ගැටලුවකින් තොරව ප්‍රතිකාර ලබා ගත හැකියි.