නිරෝගී බව සුරකින යෝග මුද්‍රා ආසන

නිරෝගී බව සුරකින යෝග මුද්‍රා ආසන

යෝග ක්‍රමය තුළ මුද්‍රා ක්‍රම රාශියක් දැක ගැනීමට ලැබේ. ආසනයක් සහ මුද්‍රාවක් එකට එකතු කර යෙදෙන බැවින් යෝග මුද්‍රා ආසාන ලෙස නම් කෙරේ.

උදරය එල්ලා වැටීම පාලනය කරන එක් පාද ජටර පරිවට්ටානාසනය

උදරයේ එල්ලා වැටීමේ ස්වභාවය පාලනය කර, මාංස පේෂින්වල ශක්තිමත්භාවය ඇති කරයි. ස්නායු ආබාධවලට සුව සහනය ගෙන දේ. කොන්දේ කැක්කුම් වේදනා සමනය කිරීමට උපකාර වේ. ඉඟටිය දෙපස තැන්පත් වන අතර මේදය දහනයට උපකාර වේ.

1 වන ඡායාරූපයෙන් දිස්වන ආකාරයට ආස්තරණය මත උඩුකුරු අතට සයනය කරන්න. එසේ සිටිමින් දෑත් ශරීරය දෙපස තබාගන්න. පාද දෙකද ළං කර තබාගන්න. මනස සංසුන්ව තබා ගනිමින් නාස්පුඬු තුළින් ප්‍රශ්වාස කරමින්,

2 ඡායාරූපයේ දැක්වෙන ආකාරයට දෑත් දෙපසට විහිදා කුරුසයක් ආකාරයට තබාගන්න. මෙසේ තත්පර දෙකක් පමණ සිට,

3 ඡායාරූපයේ ලෙසට ඔබගේ දකුණු පාදය ඉහළට ඔසවා තත්පර දෙකක් පමණ රඳවා තබාගන්න.

ඉහත 3 වන ඡායාරූපයෛ් ඉරියව්වෙන් මඳ වේලාවක් සිට 4 ඡායාරූපයේ දැක්වෙන ලෙස,

දකුණු පාදය වම් පාදයේ දණහිස අසලින් ගෙන බිම තබන්න. එසේ සිටීමින් ගෙල වම්පසට හරවා වම්පස බලන්න. මේ ආකාරයෙන් තත්ත්පර තුනක් පමණ සිට ආසනයෙන් නිදහස් වන්න. යළි යළිත් දෙවරක් පමණ එම පසටම මෙම ආසනයේ යෙදෙන්න. මෙලෙස අනෙක් පසට ද ආසනයේ යෙදෙන්න.


මානසික ආතතිය දුරු කරන යෝග මුද්‍රා ආසන

6 වන ඡායාරූපයේ දිස්වන ආකාරයට පාද දෙක ළං කොට පිටිපතුල් මත ඉඳගන්න. (වඡ්‍රාසනය)

7 වන ඡායාරූපයේ පරිදි ඔබගේ දෑත් පිටුපසට ගෙන වම් අතෙන් දකුණු අතේ මැණික් කටුව ප්‍රදේශයෙන් අල්ලා ගනිමින් ඉදිරිය බලා නාස්පුඩු තුළින් ආශ්වාස කර එම වායුව තත්පර දෙකක් පමණ රඳවා තබාගෙන සිට,

8 වන ඡායාරූපයේ දිස්වන ආකාරයට ශරීරය ඉදිරියට නවා නළල බිම තබන්න. මෙසේ තත්පර තුනක් පමණ සිට ආසනයෙන් නිදහස් වන්න.

මානසික ඒකාග්‍රතාව වැඩි දියුණු කර ගැනීමට උපකාර වේ. මානසික ආතතිය, වෙහෙස දුරු කර ගැනීමට ඉවහල් වේ. මොළයේ ඇති සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වේ. මතක ශක්තිය වැඩි දියුණු වේ. මුහුණේ පැහැපත් බව වර්ධනය වේ. දෙනෙත්වල දීප්තිමත් භාවය වැඩිදියුණු වේ.