සුදයාම තත්ත්වයෙන් ආරක්ෂාවෙමු

සුදයාම තත්ත්වයෙන් ආරක්ෂාවෙමු

ප්‍රදර තත්ත්වය යනු කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් යම් ස්‍රාවයක් වැඩිපුර පිටවීමයි. නමුත් සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයක් ස්‍රාවය වීම ස්වභාවිකයි. එය අධික ලෙස ස්‍රාවයවීම රෝගයක් වගේම රෝග ලක්ෂණයක් ද වෙයි.

සාමාන්‍ය අවස්ථාවේදී ඔසප්වීම කිට්ටු වූ විට ගර්භණී තත්ත්වයන්වලදී යම් යම් සුළු ස්‍රාව තිබිය හැකියි. නමුත් ඒවා ප්‍රදර තත්ත්ව නොවනු ඇත.

පිටවන ස්‍රාවයන්වල වෙනසක් ඇත්නම් එහි සෞඛ්‍යමය ගැටලු මතුවීමට මත්තෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා මුල් අවස්ථාවේදීම සුදුසුකම් ලද වෛද්‍යවරයකු වෙත යොමුවීම වැදගත්වෙයි.

ආයුර්වේදයට අනුව ප්‍රදර තත්ත්ව දෙකකි.

01. දෝෂ තත්ත්ව අනුව(වා, පිත්, සෙම්, සන්නිපාතජ)

02. රක්ත ප්‍රදර සහ ශ්වේත ප්‍රදර

ශරීරය වා, පිත්, සෙම් යන දෝෂයන්ගේ හේතූන් නිසා අසමතුලිතතාවයට පත්වේ. මේ නිසා ඒ ඒ දෝෂවල කෝපවන ප්‍රබලතාවය මත එම පිටවන ස්‍රාවය වෙනස්කම් සහිත වේ.

උදා. වාත දෝෂ තත්ත්වය වැඩි අයෙක් නම් ඇය තුළින් පෙන්නුම් කරන්නේ බොහෝ විට තුනී අවර්ණ දියරමය ගතියකින් වැඩි බොහෝ විට ගන්ධයක් නොමැති ස්‍රාවයකි.

මෙලෙසම සෙම් දෝෂ අවස්ථාවේදී පෙන්නනුම් කරන්නේ ඉතාමත්ම ඝණකම මුදවපු කිරි වගේ ඇලෙන සුළු ගතියක් ඇති කැසීම සහිත ලක්ෂණ ඇතුළුව පවතින ස්‍රාවයකි. මෙහි සමහර අවස්ථාවලදී ගන්ධයක් ඇතිවීමට පුළුවන.

පිත් දෝෂය ප්‍රබල අවස්ථාවේදී දාහය සහිතව වර්ණය කහපාටට හුරුව ගන්ධයක් සහිත ස්‍රාවය වේ.

සන්නිපාතජ දෝෂ තත්ත්වයකදී ඉහත දෝෂ තුනම පවතින දෝෂ ලක්ෂණ අනුව ස්‍රාවයවීම තවත් හේතුවකි. නමුත් මෙය බොහෝ දුරට කොළ පාට අධික ශෝධනය සහිතයි. මෙය අසාධ්‍ය රෝග තත්ත්වවලදී හට ගැනේ.

උදා. ගැබ්ගෙල පිළිකා, ගර්භාෂගත අර්බුද(ගෙඩි)

රක්ත ප්‍රදර

රක්ත ප්‍රදර අවස්ථාව ඇතිවන්නේ ඔසප්වීම් දෙකක් අතරතුර කාලය තුළදී රක්තය අසාමාන්‍ය ලෙස බැහැරවීමයි.

ශ්වේත ප්‍රදර

මේ සඳහා බඩ පැසවා යාම, ඇඟ උණුකරවා යාම යනුවෙන් ගැමි ව්‍යවහාරයේ මේ ශ්වේත ප්‍රදර හඳුන්වයි. මෙහිදී සිදුවන්නේ යෝනි මාර්ගයෙන් අවර්ණ හෝ සුදු පැහැති ස්‍රාවයක් පිටවීමයි. මෙවැනි රෝග තත්ත්ව දැකිය හැකි වන්නේ යෞවනත්වයට පත්වීමෙන් පසුවය.

ප්‍රදර රෝග ඇතිවීමට බලපාන හේතු

ප්‍රධානවම බාහිරින් හා වෙනත් ශාරීරික බලපෑම්ද ඇතිවීමට හේතු වේ.

බාහිරින් හා ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව

01.බාහිර හා අභ්‍යන්තරව ඇතිවන අසාත්මිකතා.

02.ගැබ් ගෙලෙහි ඇති විය හැකි තුවාල

03.විවිධ සබන් වර්ග, අලේපන වර්ග, විවිධ ක්‍රිමි රෝග සහ එම ස්ථානය පිරිසිදු කිරීමට ගන්නා උපකරණ නිසා (shaving blade, Cream)

04.අපිරිසුදු කම

05.නයිලෝන් මිශ්‍රිත ඇඳුම් භාවිතය.

06.උපත් පාලන ක්‍රම (කොණ්ඩම්, ලූප්)

07.වැරදි ලිංගික චර්යා නිසා.

08.ලිංගික ඇසුර එක් අයකුට පමණක් සීමා නොවීම නිසා.

වෙනත් ශාරීරික හේතු

01.මධු මේහය.

02.මන්ධපෝෂණය.

03.පාණ්ඩුව.

04.හෝමෝන අසමතුලිතතාවය.

05.සමාජ රෝග(ගොනෝරියා, සිපිලිස්)

06.ඍතු චර්යා පිළි නොපැදීම.

07.මානසික ආතතිය.

08.අධික ලෙස කාමුක සිතිවිලි ඇතිවීම.

ප්‍රදර රෝග වළක්වාගත හැකි

ක්‍රම.

01.පිරිසුදුව සිටීම.

02.ප්‍රදර රෝග ඇතිවීමට බලපාන හේතුවලින් ඈත්වීම.

03.යට ඇඳුම් සඳහා කපු ඇඳුම් භාවිතය වඩාත් සුදුසුයි.

04.ඇඳුම් හොඳින් තද හිරු එළියේ වේලා ගැනීම.

05.අධික ලුණු සහ අධික අම්ල සහිත ආහාරපාන නොගැනීම.

උදා. ජාඩි, චට්නි වර්ග, බල මාළු, අච්චාරු වර්ග, විනාකිරි, තක්කාලි, සෝස් වර්ග, රසකාරක, අධික කුලුබඩු යෙදී ආහාර, ඉස්සො, දැල්ලො.

ප්‍රතිකාර

ඔබගේ සිරුරේ පවතින විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රදර රෝග තත්ත්වය ඇත්නම් මඟහැරී යනු ඇත. ඒ අතර ගර්භාෂගත ගෙඩි, පණු රෝග, ආසාදන, පිළිකා වැනි රෝගවලදී නම් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. එවිට මෙවැනි ප්‍රදර රෝග ස්වභාවයෙන්ම ඉවත්වෙයි.

ආයුර්වේද ප්‍රතිකාරවලදී බාහිර සහ අභ්‍යන්තර වශයෙන් ඖෂධ දෙනු ලබයි. ඒ අනුව සමන හා තර්පන ප්‍රතිකාරවලට යොමුවෙයි. අභ්‍යන්තර ප්‍රතිකාර ලෙස පහත සඳහන් ඖෂධ භාවිතා කළ හැකියි.

අළුකෙසෙල් අල, මාදම් පොතු, තැඹිලි පොල්මල්, හාතාවාරිය අල, රටඉඳි, වැල්මී, කූර තම්පලා වැනි ද්‍රව්‍යවලින් සාදන ලද ක්ෂාය, කල්ක, ගුලි අභ්‍යන්තරිකව(මුඛයෙන්) පානයට දෙනු ලැබේ.

බාහිරින් ප්‍රතිකාර කිරීමේදී පංචවල්කල හෙවත් නුග පොතු, බෝ පොතු, ගංසූරිය පොතු, අට්ටික්කා පොතු, කුඹුක් පොතු තම්බා එම ප්‍රදේශය සේදීමට ලක් කරයි.

ආහාර

ප්‍රදර රෝග සඳහා සිරුර සිසිල් ආහාර සුදුසුයි. එළකිරි, කොළකැඳ, අළුකෙසෙල් අල ව්‍යංජනය, තැඹිලි, දියලබු, දියබත්, නෙළුම් දඬු, දෙළුම්, පොලොස් සුදුසු ආහාර වේ. මුං ඇට තැම්බූ වතුර පානය කිරීම සුදුසුයි. කොළ පැහැති එළවළු, කරවල, පළා වර්ග, බාර්ලි, සවු, අලිගැටපේර, මිදි සුදුසු ආහාරය.